ඒකාධිපති හෝ රාජවංශ පාලනයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකදී අපේ නායකයින්ගේ හිමිකම ජනතාව වෙත පැවරෙන අවස්ථාව වැඩිය. ඔවුන් කවර හෝ කලක ඒ අදාල තානාන්තර වලට තෝරා පත් කර යවන්නේ අපි විසින්මය. රටේ දේශපාලනය ගැන බොහෝ දෙනාගේ තිබෙන්නේ යහපත් අදහස් නොවේ. ඒ නිසාම විශාල පිරිසක් දේශපාලනය ගැන කලකිරීද තිබෙනවා.ඒ කෙසේ වෙතත් ඇත්තටම මැතිවරණයක් තිබෙන අවස්ථාවකදී අපේ අය මන්ත්‍රීවරයෙකුට කතිරය ගහන්න යොදාගන්න හේතු මොනවද? අපි කිහිපයක් සරලව බලමු.
1. කුලය
තවමත් ගම්බදව නම් අපේ කුලේ මනුස්සයාට කතිරේ ගහන්න ඕනිය කියා මතයකි. ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ ලැයිස්තු සකස් කිරීමේදී මෙම කුල පදනම අනුව දේශපාලන ලැයිස්තු හදන්න උත්සාහ කරති.
ඡන්දය ලබාදෙන්න යන අවස්ථාවේදී අපේ ගමේ මනුස්සයා වීම, අපේ ඉස්කෝලේ යාලුවෙක් වීම, අපේ කැම්පස් එකේ ඉගෙනගත් අයෙක් වීම, දුරින් නෑයෙක් වීම, අපේ පංසලේ දායකයෙක්වීම ආදී බොහෝ කුල ගොත් විචාරති. ඒ පුද්ගලයා සුදුසු අයෙක්ද? ඔහුග් ප්‍රතිපත්ති මොනවාද යන්නට වඩා මෙම පෞද්ගලික බැදීම් මත වූ මනාප සලකුණු කිරීමට අපේ ජනතාව වැඩි මනාපයක් දක්වයි.
2. ගමට ලයිට් පාරට තාර
පලාත්පාලන මැතිවරණයකදී පමණක් නෙමෙයි පාර්ලිමේන්තු ජනාධීපතිවරණයකදී පවා ජනතාව තමුන්ගේ පලාතේ ඇති මංමාවත්, විදුලි බලය, ජලය ආදී පොදු පහසුකම් කෙරෙහි වඩාත් සංවේදී වේ. එහි විශාල වරදක් දකින්නටත් අමාරුය. මැතිවරණ කාලයේ ඇතැම් දුර ඈත ගම්මාන වල ජනයා ගමට පිවිසෙන තැනදී ” අපේ ගමට ලයිට් දී ඡන්දය ගන්නට එන්න, ” මේ වර අපේ මනාපය ගමේ පාර හදන අයටයි” ආදී වශයෙන් පුවරු සවිකර තමුන්ගේ අපහසුව අපේකෂකයින්ට දන්වන්නට ක්‍රියා කළ අවස්ථාද පහුගිය කාලයේ වාර්ථා වී ඇත.
දුෂ්කර පලාත්වල ජනයාට වගේම නාගරිකව වාසය කරන අයද මෙම කරුණු සලකා බලයි. තමුනේග් කුණු ටික හරියට ගෙනියන්නේ නැතිනම්, වීදි ලාම්පු අතුරු මාර්ග නඩත්තු වෙන්නේ නැතිනම් ඩ්‍රැකියුලා වගේ ප්ලාස්ටික් හිනාවක් දාගෙන ගෙවල් ගානේ එන මන්ත්‍රීවරුන් නැවතත් පත්කරගත යුතුද කියලා ජනතාව නැවත වරක් සිතා බලන්නට පෙළඹෙති.
3. ළමයට රස්සාව හෝ උසස්වීම
රජයේ රැකියා ලබාදෙන්නේ ක්‍රමවේදයකටය. ඒ අනුව අදාල තනතුරු වලට විභාග පවත්වා ඒ අනුව තමයි බඳවාගැනැනීම් සිදු වන්නේ. එහෙත් මේ කාර්යයේදී තවමත් දේශපාලකයින් විසින් ඉටුකරන යම් කාර්යයකි. ඔවුන්ගේ ලියුම් වලට සහ ඔවුනගේ අනුහස බොහෝ තැන්හි රැකියා ලැබීමටත් උසස් වීම ලැබීමටත් හේතු වාසනා වී තිබේ.
මෙය හොඳ ඉතිහාසයක් තිබෙන ක්‍රියාදාමයකි. වර්තමානයේදී නම් එතරම්ම එලිපිට නැති වුවත් එකල දේශපාලකයින් ගමට ගෙන් ගෙටගොස්.. ආහ්.මේ දරුවට තාම රස්සාවක් නැද්ද? ඔව් අපි ඊලගපාර බලමු.. යැයි කියමින් ඒ රැකියා අවස්ථා සලසා දීමට දායක වෙති.
උසස් විම් සහ මාරුවීම් වැනි කාර්යයන්ට ද දේශපාලකයෝ මැදිහත් වෙති. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල ඇතුලත ඇති ඇතැම් තනතුරු මාරු කිරීමට හැකිවයාවක් තවමත් දේශපාලක උතුමන්ලාට ලැබී තිබේ. ඒ අනුව ළමයාට රක්ෂාවක් ලබා දී ඇත්නම්, ලබාදෙන බවට පොරොන්දු වී ඇත්නම්, තමුන්ගේ උසස්වීමට හෝ මාරුවීමට දේශපාලකතුමා උදව් කර ඇතිනම් ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීමක් වශයෙන් ඇතැමෙක් සිය වටිනා ඡන්ද අයිතිය භාවිතා කරති.
4. පුද්ගලික වාසි ආදිය
යම් වරදක් කළ තමුන්ගේ ඥාතියෙක් පොලිස් කූඩුවේ සිටින විට එයින් නිදහස් කරගැනීමට, දරුවන් ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරගැනීමට, ආදී වැඩකටයුතු වලටද දේශපාලක තුමන්ලා මැදිහත් වෙති. සාමාන්‍ය අයට නොකළ හැකි ඇතැම් නීතියට පටහැනි ව්‍යාපාරික අවස්ථාද දේශපාලක අනුහසින් ක්‍රියාත්මක වෙති. සාමාන්‍ය ක්‍රමයට නොයන ඇතැම් ගනුදෙනු වලට දේශපාලක තුමන්ලා මැදිහත් වෙති. බස් පර්මිට් ගැනීම, කස්ටම් වැඩකටයුතු ආදිය, කොන්ත්‍රාක් ලබාගැනීම, වැලි කැණීමට, ගස් කැපීමට රජයේ අවසර ගැනීම් ආදීයේදී මන්ත්‍රීතුමන්ලාගේ ආශීර්වාදය මහත් රුකුලකි.
එවැනි උපකාර ලබාගත් අය ඡන්දය දීමෙන් නොනැවතී අනෙක් අයට ද සිය වාසි දේශපාලකයාට මනාපය දෙන්නැයි ඉල්ලා සිටිති. ඒ වෙනුවෙන් කැම්පේන් ද දියත් කරති.
5. කොන්ක්‍රීට් සංවර්ධනය
අතුුරු මාර්ග පවා කොන්ක්‍රීට් අතුරු කාපට් යොදා සංවර්ධනය කොට, බස්නැවතුම් පොලවල් පවා මාලිගාවන් ලෙස ඉදිකොට, සති පොල වුවද නැවත කදිමෙට ඉදිකර දෙන යහපත් දේශපාලක තුමන්ලා වෙති. සම්මන්ත්‍රණ ශාලා, මාර්ගයේ ඇතැම් විටෙක පෑ බාගයකට එකක් තරම් වාහන අඩුවෙන් ගියද ගුවන් පාලම්, අභිනව උද්භිද උද්‍යානය, සිනමා ගම්මානය, එසේම වරායක් ගුවන්තොටුපලක් වැනි සුවිශාල ආයෝජන මෙන්ම අධීවේගි මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක්ද සුපිරි මට්ටමේ සිර ගෙයක්ද ඇතැම් පළාත්වල ජනයාට හිමිය.
ඉහළ තනතුරු ආනුභාවයෙන් එම අවස්ථාවන් වෙනත් පළාත් වලටත් සංක්‍රමණය වෙයි. විශාල මට්ටමේ රාජ්‍ය උත්සව ආදිය ඒවායේ පැවැත්වීමට නිලධාරීහු මනාපය. ඉතින් අසාමාන්‍ය ලෙස වන සංවර්ධන අවස්ථාවක් වන විට ජනතාව ඒ දේශපාලකයින් දෙස ඇලී ගැලී සිය මනාපය ඔවුන් වෙත පුද කරන්නේ ඇති කර තිබෙන අසහාය කොන්ක්‍රීට් සංවර්ධනයට පිටුපෑම සැබැවින්ම ගුණමකු කමක් ලෙස සලකාගෙනය.
6. පලපුරුද්ද සහ හුරුව
දේශපාලන පරම්පරාවල් ඇති වී ඒවායේ පුරුක් ගණනාවක් පුරාවට දේශපාලනයේ නිරත වෙන ලක්ෂණය අප කලාපයේ දකින්නට ඇති සිද්ධියකි. කොහේ හෝ සිට දේශපාලක පුතා ඡන්ද කාලයට කඩා පහත් වී මොනවා හෝ බෙදාගෙන යන අතර ඉන් පසු ජනතාව දේශපාලක තුමාගේ පුත්‍රයා දුව හෝ බිරිය වන නිසාම ඒ අයට මනාපය පළ කරති. එසේම මන්ත්‍රීවරුන් තෝරාගැනීම්වලදීද පලපුරුදු කලක් තිස්සේ සිටින අයට වඩාත් ප්‍රමුඛතාවය දෙන බවක්ද පෙනේ. අපගේ දේශපාලනය තුළ තරුණයන් ලෙස සැලකෙන්නේ අවුරුදු 40-60ක් තරම් වන මැදි වියේ පිරිසකි. සැබෑවටම අවුරුදු 20-30 තරුණයෙක් දේශපාලන තරගයට පිවිසියට ඔවුනට ජයගන්නට ඇති අවස්ථාව අඩුය.
7. වෙනස් කිරීම
රට වෙනස් කිරීම, දේශපාලනය වෙනස් කිරීම, පාලනය වෙනස් කිරීම, රට දියුණු කිරීම ගැන හරබර කතාබහ නිතරම පුවත්පත් රූපවාහිනී ආදී ජනමාද්‍ය වල වේ. එහෙත් පොදු මහජනයා ලෙස මහජන නියෝජිතයෙකු තොරාගන්නට සලකා බලන කරුණු මොනවාද? අපි කෙතරම් දේශපාලනය කතා කළ ද ව්‍යවස්ථා සංශෝධන, නිති කොටුම්පත්, සංවර්ධන සාධක ආදී කිසිවක් ඒ අපේ ඡන්දය කෙරෙහි බලපාන්නේ අඩුවෙනි. හුදෙක් පෞද්ගලික ලාබ ප්‍රයෝජන පිණිස භෞතික පහසුකම් පිණීස පමණක් තවමත් අපි අපගේ ගෞරවනීය ඡන්ද අයිතිය භාවිතා කරමු.
Cover Image Source – srilankafoundation.org/ gettyimage.com
Leave a Reply