සාර්ථක බොලිවුඩ් නිළියන්ගේ අසාර්ථක නිළි සහෝදරියෝ

බොලිවුඩ් ෆිල්ම් අපි හැමෝම ආසාවෙන් බලනවනේ. සමහරක් බොලිවුඩ් ෆිල්ම්ස් වල කතා, සිංදු, චරිත සහ නළු නිළියන් ජීවිත කාලයක් අපේ හිතේ රැඳිලා තියනවා. අද අපි කතා කරන්නෙත් බොලිවුඩ් නිළියන් පිරිසක් ගැන. හැබැයි මේ අය වැඩිදෙනෙක්ගේ මතකයේ රැඳුණු අය නෙමෙයි. ගොඩක් ජනප්‍රිය නිළියන්ගේ සහෝදරියන් වුණු නමුත් බොලිවුඩයේ නිළියන් හැටියට සාර්ථක වෙන්න බැරි වුණු 7 දෙනෙක් තමයි මේ. 

 

1. ශමිතා ශෙට්ටි

ශිල්පා ශෙට්ටි කියන්නේ අනූව දශකයේ වඩාත් ජනප්‍රිය වුණු, අමතක කරන්න බැරි රංගන ශිල්පිණියක්නේ. ‘මේ කිලාඩී තූ අනාරි’, ‘බාසිගර්’, ‘දඩ්කන්’ වගේ චිත්‍රපට නරඹපු අයට ඒ ආකර්ෂණීය රූපය අමතක කරන්න බෑ. ඇයගේ සොයුරිය වුණු ශමිතා ශෙට්ටි නම් එච්චර ප්‍රේක්ෂකයන් අතරට ගියේ නෑ. ‘සෙහෙර්’, ‘මොහබ්බතේන්’, ‘කෑෂ්’ වගේ චිත්‍රපට කීපයකින් යම් ජනප්‍රියත්වයක් ලැබුවත් ඇයට තම සොයුරියගේ සාර්ථකත්වයට ලං වෙන්නවත් බැරි වුණා. 

 

2. ශිල්පා ශිරෝද්කාර්

නම්රතා ශිරෝද්කාර් 1993 මිස් ඉන්ඩියා කිරුළේ හිමිකාරිය වන්නට සමත් වුණා. ඉන්පසුව බොලිවුඩ් සිනමාවට දායක වෙමින් කාලයක් ජනප්‍රියත්වයේ වැජඹෙන්න නම්රතා සමත් වුණා. ඇය වර්තමානයේදී මහේෂ් බාබු නම් ජනප්‍රිය තෙළිඟු නළුවාගේ බිරිඳයි. නම්රතාගේ වැඩිමල් සොයුරිය තමයි ශිල්පා ශිරෝද්කාර්. ඇය ‘ගෝපි කිෂන්’, ‘කිෂන් කන්හයියා’ වැනි ජනප්‍රිය චිත්‍රපට කීපයකට රංගනයෙන් එකතු වුණත්, ප්‍රධාන නිළියක් ලෙසට දිගු ගමනක් යන්නට ඇයට ඉඩ ලැබුණේ නැහැ. 

 

3. සිම්පල් කපාඩියා

 70, 80, 90 දශකවල ජනප්‍රියම රංගන ශිල්පිණියක් වුණ ඩිම්පල් කපාඩියා රාජේෂ් ඛන්නාගේ බිරිඳ විදියටත් ප්‍රසිද්ධයි. සිම්පල් කියන්නේ ඇගේ සහෝදරියයි. ඇය ‘අනුරෝද්’, ‘ජීවන් ධාරා’, ‘ශක්කා’, ‘ලූට්මාර්’ වැනි චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක වුණත් එතරම්ම ජනප්‍රිය වුණේ නෑ. 2009 වසරේ ඇය අවසනාවන්ත ලෙස අකල් මරණයකට ගොදුරු වුණා…

 

4. ටනීශා

‘දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ’, ‘බාසිගර්’, ‘යේ දිල්ලගී’ වගේ ගොඩාක් සාර්ථක චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු, අනූව දශකයේ අමතක කරන්නම බැරි රංගන ශිල්පිනියක් වන කාජල්ගේ නැගණිය තමයි ටනීශා. ඇගේ මව තනූජාත් 70 දශකයේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. බොලිවුඩ් සිනමාවට පිවිසෙමින් ‘නීල් අැන් නිකී’, ‘සර්කාර්’ වැනි චිත්‍රපට හරහා යම් ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තත් ටනීශාට දිගින් දිගටම ජනප්‍රියත්වයේ රැඳිල ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. 

 

5. සුෂමා රෙඩ්ඩි‍

සමීරා රෙඩ්ඩි කියන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නගින්න නොහැකි වුණත් 2000 මුල් ගණන්වලදී ජනප්‍රිය චිත්‍රපට රැසකටම දායකත්වය සපයපු නිළියක්. සමීරා විවාහයෙන් පස්සෙ සිනමාවට සමු දුන්නා. කොහොම නමුත් වැඩි දෙනෙක් නොදන්නවාට සමීරාගේ තවත් එක් සහෝදරියක් බොලිවුඩයේ සිය වාසනාව උරගා බලා තිබෙනවා. ඇය තමයි සුෂමා රෙඩ්ඩි. ඇය ‘චුප් චුප් කේ’, ‘චොකලට්’, ‘ඩොන්’ වැනි සිනමා නිර්මාණ කීපයකටම දායක වුණත් සිය සොයුරිය තරම්වත් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්න සමත් වුණේ නෑ. 

 

6. ඉසබෙල් කයිෆ්

ඇය වර්තමානයේ සරාගී ගිනිසිළුවක් හැටියට වැජඹෙන කත්‍රිනා කයිෆ්ගේ එක් සහෝදරියක්. Dr. Cabbie කියන කන්නඩ චිත්‍රපටයෙන් ඇය රංගනයට පිවිසුණත් එම චිත්‍රපටයේ ඇගේ රංගනය නම් එතරම් ජනප්‍රිය වුණේ නෑ. කොහොම වුණත් ඇය තවමත් රංගනයේ යෙදී සිටිනවා. ඉදිරියේදී තිරගත වන්නට නියමිත ‘ක්වාතා’ නම් බොලිවුඩ් චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වන්නට නියමිතයි. 

 

7. රින්කි ඛන්නා

අපි කලින් කතාකරපු ඩිම්පල් කපාඩියාගේ සහ රාජේෂ් ඛන්නාගේ දූවරු දෙන්නා තමයි රින්කි සහ ට්වින්කල් කන්නා. ට්වින්කල් ඛන්නාත් 90 දශකයේ ජනප්‍රිය නිළියක් වුණා. වර්තමානයේදී නම් ඇය ජනප්‍රිය කතුවරියක් ද වනවා. ඒ වගේම ඇය අනූව දශකයේ සිහින කුමාරයෙකු වුණු අක්ෂේ කුමාර්ගේ බිරිඳද වනවා. ඇගේ සහෝදරිය වුණු රින්කි ඛන්නා ‘ජිස් දේශ් මේ ගංගා රෙහෙතා හේ’, ‘ප්‍යාර් මේ කබි කබි’, ‘යේ හේ ජල්වා’ වගේ චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුණත් ඒවා ඒතරම් ප්‍රේක්ෂකයන් අතරට ගියේ නෑ…

 

මේ වගේ ජනප්‍රිය වුණු බොලිවුඩ් නිළියන්ගේ එතරම් ජනප්‍රිය නැති සහෝදරියෝ ගැන ඔයාල දන්න දේත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා…

 

 

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *