වැඩ කිඩ දන්න නිසා ආතල් වීඩියෝස් බස්සන අපේ යූටියුබ් පොරවල්

වෙනස් දේවල් කරන්න හැකියාව තියෙන බොහෝ දෙනෙකුට ඒ වෙනස තමන් එක්ක විතරක් තියාගෙන ඉන්න අමාරුයි. ඒක අනික් අයත් එක්ක එයාලාට බෙදාගන්න අවශ්‍යයි. ඒකෙන් අවසානයේ හැමෝම වින්දනයක් ලබනවා. යූටියුබ් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ අන්න ඒ වගේ ආතල් සාගරයක්. කොලිටි පොරක් නම් යූටියුබ් වීඩියෝ එකක් කරන්න ලොකු කට්ටක් කනවා. ඒ වගේ ම ඒකේ ප්‍රතිඵලත් තියෙනවා. අමතර ආදායම් මාර්ගයක් වශයෙන් යූටියුබ් කියන්නේ ඉතා ම හොඳ තෝරගැනීමක්. හැබැයි නිකන් අල හොදි වගේ නිර්මාණ නම් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැති සුපිරි බුවාලා ටිකක් තමයි මේ.


1. මනියා

මනියගේ වීඩියෝ හදපු මුල් කාලේ කට්ටිය සෑහෙන කෝචෝක් කරලා තිබ්බා මේ යකා කරන්නේ PewDiePie අමුවෙන් ම කොපි කරන එක කියලා. ඒත් මේක මනියාට ම අනන්‍ය වෙච්ච ලස්සන වැඩක් කියලා කට්ටියට තේරුණ බව දැන් මනියා ලබලා තියෙන ප්‍රසිද්ධිය සහ ආදරය එක්ක පැහැදිලියි. මනියාගේ වීඩියෝවලින් ගොඩක් ම ජනප්‍රිය වුණේ Monthly Meme Review කියන එක. බුකියෙ අපි නොදකින මනුස්ස කොට්ඨාසයක් ගැන කෙරෙන මේ රිවීව් නම් ප්‍රසිද්ධ ස්ථානයක බලන්න බෑ. මොකද පිස්සෙක් වගේ හිනා යනවා සුවර්. අන්තර්ජාලයේ ඉන්න එක එක විදියේ අසහනකාරයොන්ට මනියා ආවාට පස්සේ ගැලවිල්ලක් නෑ.


2. රජිත සඳරුවන්



රජ්ජාගේ වීඩියෝ එක විදියක විකාරයක් කියලයි සමහරුන්ට පේන්නේ. ඒත් කොල්ලා තමන්ගේ ආතල් එක අරගෙන අනික් අයටත් ඒ අත්දැකීම ඒ විදියට ම දෙනවා. රජ්ජාගේ චැනල් එකේ තියෙන ප්‍රසිද්ධ ම වීඩියෝ ටික තමයි කිසිම ගැලපීමක් නැති කෑම හදන කුකරි ෂෝ එක. උදාහරණයක් විදියට ඒක නිකන් පැනඩෝල් එක්ක තක්කාලි සෝස් කනවා වගෙ ඒවා. ඊට අමතර ව එක එක ආතල් වීඩියෝස් එහෙමත් හදනවා. රජ්ජාගේ වයස එක්ක බලද්දී ගොඩක් ලොකු තැනක ක්‍රියේටර් කෙනෙක් විදියට එයා ඉන්නවා.



3. බණ්ඩා – Travel Today


බණ්ඩා කියන්නේ Travel Today කියන චැනල් එකේ ෆුඩ් රිවීව් කරන හාදයා. අනික් ඒව ගැන කතා නොකර බණ්ඩා ගැන කියන්න හේතු වුණේ බණ්ඩා මේ වැඩේ ඒ තරම් ලස්සනට කරන නිසයි. ලංකාවේ කොල්ලෙක් කියන අනන්‍යතාව බණ්ඩාට තියෙනවා. කෑම කඩවලට ගිහිල්ලා බණ්ඩා හැසිරෙන්නේ වෙන ම ලෝකෙකින් කඩා වැටුණු කෙනෙක් විදියට නෙවෙයි. හරි ම සුහදශීලියි. මේ දැන් හම්බුණ මනුස්සයට පවා මචං කියලා කතා කරන ෆුල් ආතල් එකේ ඉන්න පොරක්. බණ්ඩාගේ වැඩේ සාර්ථකයි කියලා කියන්න හේතු වෙන්නේ මේ යෝධයා කන විදියට ඇත්තට ම අපිටත් මේ රිවීව් කරන කෑම හොයාගෙන ගිහින් කන්න හිතෙන නිසයි.


4. කලුමල්ලි



කලුමල්ලි ගැන එක විදියකින් කියන්න පුළුවන් මනියාගේ ආත්මීය තරහකාරයා විදියට. කලූ ගැන කියන අනික් විදිය තමයි එක එක විදියේ කොන්සෙප්ට් තමන්ට හිතුන හිතුන වෙලාවට දාන සුපිරි පොරක් කියන එක. ඒ කිව්වේ ඉතින් අනික් අය සතියකට පාරක් සති දෙකකට පාරක් අනිවා වීඩියෝ එකක් දානවනේ. කලූ ඒ අතින් අමු ශරීර හොරා. එයාට වීඩියෝ එකක් දාන්න එහෙම නිශ්චිත කාල රාමුවක් නෑ. හිතුණා. දැම්මා. හැබැයි ඒ දාන වීඩියෝ එක සුපිරියට ම තියෙනවා. SinduTaxi කියන සීරිස් එක ලංකාවට ගෙනාවෙත් කලූ. ඊට අමතර ව කොල්ලා සින්දුවලට කවර්ස් කරනවා. ට්විටර් කොමියුනිටි එක සම්බන්ධ කරලා ආතල් වීඩියෝස් හදනවා. ඕවා තමා.


5. අශේන් සේනාරත්න (Ashen Vlogs)



අශේන් කියන්නේ කුණු බැනුම් අහගත්තු ඒත් දැන් එක පාරට ඒ බැනපු උදවියට ම කනේ පාරක් දුන්නු සුපිරි චරිතයක්. අශේන් කියන්නේ #SociallyPoliticllySriLankan පොරක්. අශේන් මෝඩයෙක් කියලා ගොඩක් අය කිව්වට එයා නීති ශිෂ්‍යයෙක් කියලා දන්නෙත් බොහොම පොඩි දෙනයි. අශේන් කට්ටියගෙන් බැනුම් අහලා ඒ බැනුම් සල්ලිවලට හරවලා ළඟ දී BMW එකකුත් බැස්සුවා. අශේන්ගේ වීඩියෝවල අපි නොදකින ඒත් සමාජයේ පවතින දේවල් ගැන බය නැතුව කතා කෙරෙනවා.


6. කුප්ප සිනමා

කුප්ප සිනමාවෙ ඉන්නේ හොඳ ම යාළුවෝ තුන් දෙනෙක්. අරුන්, ගිහාන් සහ සජිත් කියන යාළුවෝ තුන් දෙනා තමයි මේ වැඩේ කරන්නේ. මේ විදියට මිනිස්සුන්ව හිනා ගස්සවන්න හැමෝට ම බැහැ. ඉතින් ඒ නිසා තමයි මේ තුන් දෙනා වැඩකරුවෝ වෙන්නේ. අපි ජනප්‍රිය තලයේ කියලා හිතන් ඉන්න ගොඩක් යූටියුබර්ස්ලා පාස් කරගෙන ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පවා මේ තුන් දෙනා උඩට ආවා. අපේ ජීවිතයේ වෙන අතිශය සාමාන්‍ය සිදුවීම් අපි කරන විදියට ම රඟපාලා පෙන්වලා අපිට ම හිනා වෙන්න අපිට උගන්වන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි.



7. ලයන් කොල්ලා



ලයන් කොල්ලා ප්‍රසිද්ධ වුණේ ගේමින් රිවීව්ස්වලින්. ඒ එක්ක ම ඩබින්වලින්. මෑතක දී මීම් පැත්තෙනුත් වීඩියෝස් කීපයක් එළි බැස්සා. හැබැයි කවදාවත් ගේම්ප්ලේවලට ලයන් කොල්ලා තමන්ගේ මූණ දාන්නේ නැහැ. පුළුවන් තරම් මූණ පෙන්නගන්න දඟලන සමාජෙක මේ කොල්ලා මූණ පෙන්නන්නේ නැහැ. ඉතින් එහෙම අය ගැන හොයා බලන එක වටින නිසා චනුක්ස් බ්‍රෝ ලයන් ගැන වීඩියෝ එකක් කරලා තිබ්බා. මේ ඒක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *