මිනිසාට එපාම කරපු කෘමියා – මදුරුවා

‘මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න’ කියලා සිංදුවක් තියෙනවා. ඇත්තටම මදුරුවන්ට එහෙම පුරුදු කරන්නට විශේෂ දෙයක් නැහැ. උන් කොහොමත් බොන්නේ මල් පැණි. මදුරුවන් වැඩෙන්නේ ඒවායෙන්. ඒත් මදුරුවාගේ ගෑනු සතා සිය බිත්තර මෝරන්න සතුන්ගේ රුධිරය උරා බොනවා. ලොව පුරා මිනිසුන්ට එපාම කරපු සතෙක් වෙන මදුරුවා ගැන අපි කරුණු ටිකක් බලමු.

 

 

1. මාරාන්තිකම සතා

මිනිසාට වින කරන සතුන් අතර මාරාන්තිකම මට්ටමේ ඉන්නේ මදුරුවා. මදුරුවා කෙලින්ම බෝ කරන ලෙඩක් නැහැ. ඒත් මදුරුවා නිසා බෝවෙන දරුණු ලෙඩ රෝග රැසක් තියෙනවා. එයින් ඩෙංගු ලංකාවෙත් දරුණුවටම තියෙනවා. මැලේරියා දැන් අඩු වුණත් එක් කාලයකදී මැලේරියා කියන්නේ අපේ රටේ වියළි කලාපය බිලිගත් දරුණු උණ රෝගයක්. ඊට අමතරව කහ උණ, සීකා සහ ජැපනීස් එන්සපලයිටීස් මදුරුවන් නිසා බෝවන්නට පුළුවන් රෝග වෙනවා. මදුරුවන් නිසා අපේ බල්ලන්ටත් බෝවෙන්න පුළුවන් ලෙඩ රෝග ඇතිවෙනවා.

 

 

2. මදුරුවාගේ ආයු කාලය

මදුරුවා මාස 5-6ක් තරම් දිගු ජීවිත කාලයක් තියෙන සතෙක්. ඒත් මදුරුවා සුහුඹුල් මදුරුවා විදිහට ඉන්නේ සති කිහිපයක් විතරයි. එයිනුත් අපිට විදින ගෑනු මදුරුවා ජීවත් වෙන්නේ සති තුනක් විතර. මේ මදුරුවන් බෝවීම ජීවන චක්‍රයක් මගින් සිද්ද වෙනවා. මදුරුවන් ජලයේ හෝ ජලාශ්‍රිත තැන් වල බිත්තර දානවා. ඉන් පසු මදුරු කීටයන් ඇතිවී ඒ මගින් මදුරුවන් බෝ වෙනවා. මදුරුවන් ශීත රටවලත් ඉන්නවා. එතකොට උන්ගේ බිත්තර ශීත කාලය පුරාවටම ආරක්ෂා වෙලා තියෙනවා මාස අටක් තරම් දිගු කාලයක්.

 

 

3. ඇතැම් මදුරුවෝ මිනිසුන්ට වින කරන්නේ නැහැ

එක් එක් රෝග වාහක මදුරුවන් ගත්තත් එක් එක් රෝගයට විශේෂ මදුරුවන් ඉන්නවා. ඩෙංගු පතුරුවන මදුරුවා වැඩිවශයෙන් දිවා කාලයේ සැරිසරනවා. ඒත් මැලේරියා මදුරුවා බොහෝදුරට රෑට තමයි විදින්නේ. ඇතැම් මදුරුවන් හරකුන්ට, බල්ලන්ට වගේ විශාල සතුන්ට තමයි වැඩිපුර විදින්න කැමති. ඔවුන් මිනිසාට වැඩි කැමැත්තක් නැහැ. Culiseta melanura යන මදුරු විශේෂය කුරුල්ලන්ට තමයි වැඩිපුර විදින්නේ. ඉතාම කලාතුරකින් තමයි උන් මිනිස්සුන්ට විදින්නේ. Uranotaenia sapphirina වර්ගය විදින්නේ සර්පයින්ට.

 

 

4. ගමන හෙමින්

අපේ ඇඟේ කොනක වහලා ඉන්න මදුරුවෙක්ට අපි අතින් ගහන්න හදනකොටම වගේ ඌ ඉගිලිලා යනවා. ඒනිසා අපි හිතනවා හප්පා මදුරුවා මාර වේගයෙන් පියාඹනවා ඇති කියලා. ඒත් මදුරුවා හිමින් ගමන් ඇති සතෙක්. මදුරුවාගේ වේගය පැයට කිලෝමීටර 1.5ත් – 2ත් අතර ප්‍රමාණයක් වෙනවා. අනෙක් වේගයෙන් පියාඹන සමනළයින්, සලඹයින්, මීමැස්සන් ආදී සතුන් එක්ක බලද්දි මදුරුවා කියන්නේ කම්මැලිකමට පියාඹන මන්දගාමී සතෙක්.

 

 

5. පියාපත් වේගය

මදුරුවන්ගේ අපි එපාකරපු තවත් දෙයක් තමයි උන්ගේ සද්දය. කණ ගාවට ඇවිත් කූං කූං ගාන මදුරුවා අපිට ඒ දෙන්නේ උන්ගේ අත්තටු ගැටෙන ශබ්දය. එය තත්පරයට සැලීම් 300 – 600ත් අතර ප්‍රමාණයක් වෙනවා. මදුරුවන් සිය සහකාරයින් සොයාගැනීම් කටයුතු වලටත් මේ පියාපත් නාදය පාවිච්චි කරන බව සොයාගෙන තියෙනවා.

 

 

6. කිලෝමීටර සියයකටත් වඩා යන්න පුළුවන් මදුරුවන්

ලංකාවේ මදුරුවන් නම් ටිකක් අඩු දුරක් යන්න පුළුවන් සතුන් නිසාදෝ හෝ අපිට ඩෙංගු වැනි වසංගත වලින් බේරෙන්නට නිවෙස් සහ අවට පිරිසිදු කරගන්නට උපදෙස් ලැබෙනවා. සාමාන්‍ය මදුරුවෙක් පියාසර කරන්නේ කිලෝමීටර 3 – 4ක දුරක් පමණයි. ඒත් වාර්තා වී ඇති ආකරයට Salt Marsh Mosquitoes නම් වර්ගය කිලෝමීටර 150කටත් වඩා දුර සිය ගොදුරු සොයා යන්නට සමත් වෙනවා. ඔවුන් මල් පැණි සහ රුධිරය සොයා දුර ගෙවා යන බව සොයාගෙන තියෙනවා.

 

 

7. මිනිසුන්, සතුන් සිටින ඉසව් හඳුනාගැනීම 

මිනිසා විසින් සහ සතුන් විසින් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ තමයි මදුරුවා හොඳින් හඳුනාගන්නේ. මදුරුවාගේ ගෑනු සතා මේ කාබන්ඩයොක්සයිඩ් මගින් ඇතිකරන සංවේදනයට මීටර 25ක තරම් දුර සිට මිනිසා සහ සතුන් වෙත ඇදී එනවා.

 

 

මදුරුවන් ලේ උරා බොන්න ඇදී ඒම ඝර්ම කලාපීය රටක් විදිහට අපිට හැමදාම තියෙන ප්‍රශ්නයක්. සාපේක්ෂව කඳුකර ශීතල පළාත් වලට මේ උවදුර සෑහෙන අඩුයි. ශීත කාලය සමග සෘතු හේදය තිබෙන රටවලත් මේ උවදුර අඩුයි. ඉතින් අපේ රටවල ජනතාව එදිනෙදා මදුරු කරදරය වගේම මාරාන්තික රෝග වාහකයින් ලෙසත් මදුරුවා නිසා දැඩි ලෙස පීඩා විඳිනවා.