සෝස් කියන්නෙ කතා කරලා ඉවර කරන්න බැරි සබ්ජෙක්ට් එකක්. එක එක රස වලින්, එක එක අමුද්‍රව්‍ය දාලා හදන සෝස් ලෝකේ හැම රටකම වගේ ජනප්‍රියයි. මේවයින් සමහරක් අපිට ගෙදරදීම හදාගන්නත් පුළුවන්. ඉතින් අද අපි හිතුවා ජනප්‍රිය සෝස් වර්ග කීපයක් ගැන තොරතුරු ඔයාලට කියන්න.
1. සිරාචා (Sriracha)
සිරාචා සෝස් එක හදන්නෙ රතු හැලපිනෝ, සීනි, විනාකිරි හා ලුණු වල එකතුවෙන්. මේ සෝස් එක මුලින්ම හැදුව කියන්නෙ අවුරුදු අසූවකට විතර කලින් තායිලන්තයේ සි රාච් කියන නගරයේ thanom chakkapak කියන කාන්තාවක්. මේක ගොඩක්ම භාවිතා වෙන්නෙ තායිලන්තයේ. මේ සෝස් එකේ නම ලියන විදි ගොඩක් තියෙනවා. Sriraja, Si-racha, Sriracha, Sriracha වගේ විවිධ ආකාරයෙන් මේ සෝස් එකේ නම ලියවෙනව. බර්ගර්ස්, සුප්, සීෆුඩ්, ස්ප්‍රින්ග් රෝල්ස් හා නූඩ්ල්ස් වලට තමා හුඟක්ම පාවිච්චි වෙන්නෙ. මේ සෝස් එකේ වර්ග ගොඩක් තියනවා. ඇත්තටම මේකෙ රස ගත්තොත් කෙචප් වලට සමානයි. ස්වීට් ගාලික් මිශ්‍ර සැර රසක් තමා එන්නෙ.
2. ටෙරියාකි සෝස් (Teriyaki Sauce)
මේ සෝස් එක හදන්නෙ මූලිකවම සෝයාසෝස්, රතු සීනි සහ සකේ වලින්. මීට අමතරව සුදුළූණු, ඉඟුරු, රතු මිරිස්, විනාකිරි හා මී පැණි එකතු කරලා වෙනස් වෙනස් ටෙරියාකි සෝස් වර්ගත් හදනව. ටෙරියාකි කියන වචනෙ ජපන් භාෂාවෙ එන වචනයක්. මේකෙන් සාමාන්‍යයෙන් එන්නෙ පැණි රසක්. කොරියන් බාබකිව් සෝස් වලට සමාන රසක් තමා එන්නෙ. ජපානයෙ හදන ගොඩක් කෑම වලට මේ ටෙරියාකි සෝස් එක දානවා. මස් වලට, සීෆුඩ් වලට වගේ තමා ගොඩක්ම පාවිච්චි කරන්නේ. ටෙරියාකි සෝස් ඇමරිකාවට සංක්‍රමණය වුණේ 1960 ගණන් වලදි ජපන් ජාතිකයන් හවායන් දූපත් වල පදිංචි වීමෙන් පස්සෙ කියලයි කියන්නෙ.
3. කොක්ටේල් (Cocktail Sauce)
මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නෙ සීෆුඩ් සෝස් එකක් විදියට. 19 වන සියවසේ අග භාගයේ හෝ 20 සියවසේ මුල් භාගයේදි ඇමරිකාවෙදි හඳුන්වා දුන්නයි කියලයි කියන්නෙ. මේකට බ්‍රිතාන්‍යයේ අයිතියකුත් සමහර තැන් වලදි කියවෙනවා. අතීතෙ කොහොම වුණත් කොක්ටේල් සෝස් දැන් ලෝකෙ පුරාම ජනප්‍රියයි. මේක සාමාන්‍යයෙන් සර්ව් කරන්නෙ කූල් කරලා. මේකෙ මුලික අමුද්‍රව්‍ය වෙන්නෙ කෙචප්, චිලී සෝස් හා horseradish සෝස්. ඊට අමතරව ලෙමන් ජූස්, වෝසෙස්ටර් (worcestershire) සෝස් හා ටබැස්කෝ (tabasco) සෝස් දාගන්නත් පුළුවන්.
4. ටාටාර් සෝස් (Tartar Sauce)
ප්‍රංශයෙන් සොයාගත් මේ සෝස් වර්ගය ප්‍රධාන වශයෙන්ම හදන්නෙ මයෝනේස් හා පිකල් කරගත් ගර්කින් වලින්. ඊට අමතරව ළූණු, පාස්ලි, ලෙමන් යුෂ හා හර්බ්ස් එකතු කරනවා. ඩීප් ෆ්‍රයි කරපු මාළු, මස් එක්ක කෑමට ගන්න තමා මේ සෝස් එක හදන්නෙ. මේ සෝස් එකෙන් ස්වීට් හා සේවරි රස දෙකම මිශ්‍ර රසක් එන්නෙ.
5. ස්ටේක් සෝස් (Steak Sauce)
මේකට බ්‍රිටිෂ් බ්‍රවුන් සෝස් කියලත් කියනව. මස් වලින් එන සුවඳ කැපිලා යන්න පළතුරු සහ කුළුබඩු පාවිච්චි කරලා 1800 ගණන් වලදි කරළියට ආව කියලයි කියන්නෙ. ඇමරිකාවේ බහුලව භාවිතා වෙන බීෆ් එක්ක ආහාරයට ගන්න සෝස් වර්ගයක් තමයි මේ. මේක පැහැයෙන් දුඹුරු පාටයි. මේක හදන්නෙ තක්කාලි, විනාකිරි, රට ඉඳි, සියඹලා, රේසින්ස්, ඇපල් හා කුළුබඩු මිශ්‍ර කරලා. මේ ස්ටේක් සෝස් වර්ග ගොඩක් තියනවා. ඒ වගේම විස්කි, බ්ලූ චීස්, පෙපර්කෝන් විදියටත් ස්ටේක් සෝස් ගන්න තියනවා. මේකෙ ගම්මිරිස් මිශ්‍ර ඇඹුල් හා පැණි රසක් තමා එන්නෙ.
6. සල්සා සෝස් (Salsa Sauce)
මේකෙ ඉතිහාසෙ ඉන්කා යුගය දක්වාම දිව යනවා. 1571දී තමා Alonso de Molina විසින් මේකට සල්සා කියන නම දීලා තියෙන්නෙ. මෙක්සිකෝවේ ජනප්‍රිය වූ මේ සෝස් වර්ගය සී ෆිඩ් ස්ටූ වලට, ග්‍රිල් කරගත් බීෆ්, රෝස්ට් කරගත් චිකන් වලට වගේම නාචෝස් ඩිප් එකක් විදියටත් පාවිච්චි කරනවා. මේ සෝස් එක අමුවෙන් හෝ පිසගත් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම මේවා ගබඩා කිරීමේදි සැළකිලිමත් වෙන්න ඕනෙ. අමුවෙන් පිළිගන්වන සෝස් හැමවෙලේම ෆ්‍රිජ් එකේ තියන්න වෙනවා. මේ සෝස් එකත් තක්කාලි, සුදුළූණු හා ළූණු දාලා හදන සෝස් එකක්. සල්සා සෝස් වර්ග 6කින් තියනවා.
7. බාබකිව් සෝස් (BBQ Sauce)
17 වන සියවසේ ඉඳලා ඇමරිකාවේ නිෂ්පාදනය වුණා යැයි කියන මේ බාබකිව් සෝස් ප්‍රධාන වශයෙන්ම පෝක්, බීෆ් හා චිකන් බාබකිව් කරනකොට පාවිච්චි කරනවා. මේක දකුණු ඇමරිකාවෙ ගොඩක් ජනප්‍රිය වුණු සෝස් වර්ගයක්. ප්‍රධාන වශයෙන්ම මයෝනේස්, තක්කාලි, අබ, ගම්මිරිස්කුඩු, විනාකිරි හා කුළුබඩු යොදා හදන මේ සෝස් එක විවිධ ක්‍රම වලට හදනවා. බාබකිව් සෝස් අපිට ගෙදර හදාගන්නත් පුළුවන්. ඇඹුල්, පැණිරස, ස්මෝකි හා කුළුබඩු එක්වුණු අමුතුම රසක් තමා මේ සෝස් එකේ තියෙන්නෙ.
Leave a Reply