ලංකාවේ නිදහස් සටන සහ බෞද්ධ ප්‍රබෝධයට පුරෝගාමී මෙහෙවරක් කරපු සමකාලීනයන් විසින් ශ්‍රී සුමංගල හිමියන්ව සළකනු ලබන්නේ තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරාගමනයක් විදිහටයි. ඔබට මතක ඇති මීට ටික කාලෙකට කලින් අපි හික්කඩුවේ සුමංගල හිමිගේ චරිතයේ අප්‍රකට කතා කීපයක් ඔබ වෙතට ගෙන ආවා. අපි හිතුවා අද ඒ ලිපියේ දෙවැනි කොටසක් ලියන්න.
1. දෙයියෝ
හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගෙන් පස්සේ විද්‍යෝදය පිරිවෙණේ පරිවේණාධිපති ධූරය දරපු මහගොඩ ඤානිස්සර හාමුදුරුවෝ තමන්ගේ ගුරුදේවයාණන් වහන්සේව අමතල තියෙන්නෙ දෙයියෝ කියන නමින්. ඒකට හේතුව තමයි හික්කඩුවේ හාමුදුරුවන්ව ඤාණිස්සර හාමුදුරුවන්ට වගේම සමකාලීන බෞද්ධයන්ට දැනිලා තියෙන්නේ ඒ තරම් විශේෂ කෙනෙක් විදිහට වීම.
2. හික්කඩුවේ හාමුදුරුවන් තුළ තිබුණ අසීමිත බුද්ධ ගෞරවය
කාලයක් ඉන්දියාවේ සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ කියන බමුණු පඬිවරයා හික්කඩුවේ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න ලංකාවට පැමිණ සිටියා. එකල උන්වහන්සේගෙන් සංස්කෘත භාෂාව ආදී දේවල් ඉගෙන ගනිද්දී විද්‍යාභූෂණ පඬිතුමා බිම එලපු පැදුරක වාඩි වෙලා ඉගෙනගනිද්දී හික්කඩුවේ හාමුදුරුවෝ පනවන ලද අසුනක වැඩ ඉඳන් තමයි අදාළ දේශනය සිදු කර තිබෙන්නේ. නමුත් සුමංගල හිමියන් බුදු දහම උගන්වන සෑම අවස්ථාවකම තමන්ගේ ආසනයෙන් බැහැලා බිම ඉඳගෙන තමයි බුදු දහම ඉගැන්වීම සිදුකර තිබෙන්නේ. මේකෙන් පේන්නේ තෙරුවන් කෙරෙහි උන්වහන්සේ තුළ තිබුණු අප්‍රමාණ ගෞරවයයි.
3. දාන පාරමිතාව
අතිශයින්ම අහිංසක ගති පැවතුම්වලින් යුක්ත වූ හික්කඩුවේ හාමුදුරුවෝ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව තමන් සතු දේවල් දන්දෙන්න පුරුදු වෙච්ච හිමිනමක්. ඒ නිසාම උන් වහන්සේව රවටා සිවුරු පිරිකර පවා විවිධ පුද්ගලයෝ අරගෙන ගිහින් තියෙනවා. දවසක් ඒ වගේ පුද්ගලයෙක් ආවාස ගේ පැත්තට එනවා දැකපු උපස්ථායකයා පිරිකර තියෙන අල්මාරියට යතුර දාලා ඉවතට ගිහිල්ලා තියෙනවා. හික්කඩුවේ හාමුදුරුවෝ අදාළ පුද්ගලයාගේ දුක්ගැනවිල්ල අහලා උපස්ථායකයාට කතා කරලා තියනවා සිවුරක් දෙන්න කියලා. උපස්ථායකයා එන්නේ නැහැ කියලා දැනගත්ත උන්වහන්සේ යතුර හොයන්න උත්සාහ කර තියෙනවා. එය අසාර්ථක වුණු පසු අවසානයේදී උන්වහන්සේ කරලා තියෙන්නේ තමන් ඇඳගෙන ඉන්න සිවුර පරිත්‍යාග කරන එක. මේක දැනගත්තු උපස්ථායකයා සෑහෙන්න කම්පාවෙලා උන්වහන්සේට අලුත් සිවුරක් පොරවලා තියෙනවා.
4. වතුර
වාද විවාදවලට ප්‍රිය කරන එක්තරා කෙනෙක් දවසක් හික්කඩුවේ හාමුදුරුවන්ව මුණගැහෙන්න ඇවිල්ලා “හාමුදුරුවනේ අපේ වතුර කියන වචනෙ හැදිලා තියෙන්නේ ඉංග්‍රීසි වෝටර් කියන වචනයෙන් නේද?” කියලා අහලා තියෙනවා. මේක අහල තියෙන්නෙ මහා සොයාගැනීමක් කරපු පුද්ගලයෙක් විදිහට. හික්කඩුවේ හාමුදුරුවෝ මේ පුද්ගලයාට දීලා තියෙන්නේ එකම එක උත්තරයක්. ඒ තමයි “නෑ, මහත්තයෝ වෙන්න බෑ, ඊට කලින්නේ අපිට අමාවතුර තිබ්බේ” කියන එක.
5. විද්‍යෝදයේ උගන්නන දේවල්
කොයිතරම් පඬිවරයෙක් වුණත් උන්වහන්සේ තුළ පැවැති අහිංසක ගති ස්වභාවය නිසා විවිධ අවස්ථාවල ප්‍රශ්නවලටත් උන්වහන්සේට මුහුණ දෙන්න වෙලා තිබුණා. එක්තරා අවස්ථාවක පිරිවෙනේ ඇතිවෙච්ච ගැටුමක් නිරාකරණය කරගන්න දකුණු පළාතේ සුප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරලා තියනවා. අදාළ සිද්ධිය ගැන හික්කඩුවේ හාමුදුරුවෝ කරපු විස්තරය අහගෙන ඉඳලා අවසානයේදී ඒ හාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. “මට දැන් තේරෙනවා මම හැමදාම කියන කතාව හරි” කියලා. හික්කඩුවේ හාමුදුරුවෝ “ඒ මොකක්ද?” කියලා අහලා තියෙනවා. “මම හැමදාම කියන්නේ විද්‍යෝදය පිරිවෙනේ ඉන්න අය ව්‍යාකරණ, ධර්ම ශාස්ත්‍ර දේවල් සේරම දන්නවා හැබැයි රටේ ඉන්න ඕන විදිහ නම් දන්නේ නෑ” කියලා එතකොට ඒ හාමුදුරුවෝ පිළිතුරු දීල තියනවා.
6. උඩරට අය කුණුහරුප කියන්නෙ නෑ
දවසක් විද්‍යෝදය පිරිවෙනේ ඉගෙන ගත්ත සාමණේර භික්ෂුන්වහන්සේ නමක් සහ ගිහි ශිෂ්‍යයෙකු අතර විශාල රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. අවසානයේදී මේ පැමිණිල්ල හික්කඩුව හාමුදුරුවෝ ගාවටත් ගිහින්. එතැනදී සාමණේර භික්ෂුන්වහන්සේ ගිහි ශිෂ්‍යයා විසින් තමන්වහන්සේට කුණුහරුපෙන් බැන්නා කියලා චෝදනා කරලා තියෙනවා. ඒ වෙලාවෙදි හික්කඩුව හාමුදුරුවෝ “කවදාවත් ඒක නම් වෙන්න බෑ. උඩරට අය කුණුහරුප කියන්නෙ නෑ, තමාලා තමා ඒවා කියන්නේ” කියලා පැමිණිල්ල ඉවත දාලා තියෙනවා.
7. එහෙනම් මොකද? දේසේ හිටං
එක්තරා අවස්ථාවක කැළණි විහාරයේ හිමිකම පිළිබඳව ඇතිවුණු නඩුවක් සඳහා උසාවිය සාක්කි විභාග කිරීමට මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හාමුදුරුවෝ සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කැඳවලා තියෙනවා. ඒ අවස්ථාවේදී විනිශ්චයකාරතුමා මහනායක හාමුදුරුවන්ගෙන් “හික්කඩුවේ හාමුදුරුවෝ ඔබ වහන්සේට වඩා ප්‍රසිද්ධ කෙනෙක් ද?” කියලා විමසීමක් කරලා තියෙනවා. මහනායක හාමුදුරුවෝ එකපාරටම “එහෙනම් මොකද? දේසේ හිටං” කියලා කියා තියෙන්නේ මුලු උසාවියම සිනා ගන්වමින්. (දේසේ කියන්නේ උඩරට ව්‍යවහාරයෙන් පිටරට කියන තේරුමයි).
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply