කාන්තා පරාණයක් දැක්කහම පුරුෂ ලිංගයෙන් නැතුව ඔලුවෙන් හිතන්න උපදෙස්!

සාමාන්‍යයෙන් ගෑණු ළමයින්ට කැමති කොල්ලෙක් නං, රහත් වෙලත් නැතිනං, ඇහැට කණට පේන කෙල්ලෙක් දැක්කහම පොඩ්ඩක් හිත එකෙල මෙකෙල වෙන එකේ වැරැද්දක් නෑ. අපේ බයෝලොජිය හැදිලා තියෙන්නෙම එහෙමනේ. විෂමලිංගික පුරුෂ ප්‍රාණියෙක් නං ආකර්ෂණය වෙන්නේ ගෑණු ළමයින්ට තමයි. හැබැයි අපේ මේ සමාජේ ඔය කියපු කොල්ලෝ අතරේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා, ගෑණු ළමයෙක්ව දැක්කහම ඔලුව, මොළේ, විචාර බුද්ධිය පස්සට යනවා. අන්න එතකොට කෙලින්ම ඉස්සරහට එන්නේ පුරුෂ ලිංගය. ඒ වෙලාවට තීරණ ගැනෙන්නෙත් පුරුෂ ලිංගයෙන්. ආන්න පුතෝ ප්‍රශ්නේ. මොකද, පුරුෂ ලිංගෙට මොළයක් පිහිටලා නෑනේ. ඒක දන්නේ ආතල් එක ගන්න විතරයි. ආන්න ඒ නිසා එහෙම වෙලාවට ගන්නෙම වැරදි තීරණ! 

බස් එකක ගෑණු ළමයෙක්ව අතපත ගාන එක, ජැක් ගහන එක කියන්නෙත් එහෙම වැරදි තීරණ. හිතන්නෙ මතන්නෙ නැතුව අනුන්ගේ පවුල් වලට මුක්කු ගහන්න ගිහිල්ලා, ගුටි කාලා එනවා කියන්නෙත් එහෙම වැරදි තීරණ. ගෑණු දරුවන්ට ලිංගික අපරාධ, අපයෝජන කරනවා කියන්නේ පවා එහෙම වැරදි තීරණ. කොටු පනින්න ගිහිල්ලා ගෙදර ගෑණීට මාට්ටු වෙලා පවුල් අවුල් වෙනවා කියන්නෙත් එහෙම වැරදි තීරණ. ඔය වගේ වැරදි තීරණ අරගෙන ජීවිතේ අනාගන්න මුල, මොළේ පැත්තකින් තියලා පුරුෂ ලිංගයෙන් හිතන්න යන එක. අන්න ඒ නිසා, අපි හිතුවා අපේ කොල්ලන්ට උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්න. තමනුත් එහෙම පුරුෂ ලිංගයෙන් තීරණ ගන්න ප්‍රාණියෙක් නම්, මේ උපදෙස් අනාගතේට ප්‍රයෝජනවත් වෙයි!

 

1. අනුන්ට රෙස්පෙක්ට්

අපි හැමෝම මිනිස්සු විදියට පොඩි කාලේ ඉඳලම පුරුදු පුහුණු වෙන්න ඕන දෙයක් තමයි අනෙක් හැම කෙනෙක්ටම ගෞරව කරන එක. රෙස්පෙක්ට් එක දෙන එක. මෙතනදී ඒ රෙස්පෙක්ට් එක ජාති, ආගම්, කුල, මල, ලිංග භේද අනුව වෙනස් වෙන්න බෑ. ආන්න පොයින්ට් එක. අපි කාන්තාවන්ටත් එක විදියටම ගෞරව කරන්න ඕන. මේ කියන්නේ කාන්තාවන්ට අපේ අම්මට වගේ, සහෝදරීට වගේ, දුවට වගේ සලකන්න කියන එක නෙවෙයි. කාන්තාවකට කාන්තාවක් විදියට, මනුෂ්‍ය ප්‍රාණියෙක් විදියට ගෞරව කරන්න. ආන්න එතකොට ඔය බස් එකේදී එහෙම දැක්ක ගමන් පුරුෂ ලිංගය තීරණ ගන්න පටන් ගන්න විදියේ කාන්තාවක් දැක්කහම ජැක් එකක් ගහන්න හිතෙන්නේ නෑ. එහෙම හිතුණත්, වහාම මතක් කරගන්න, මේ ඉන්නේ තමන්ගේ ගෞරවය හිමිවෙන්න ඕන මනුෂ්‍යයෙක් කියලා. ආන්න එතකොට ඒ කාන්තාව ලිංගික භාණ්ඩයක් කරගන්න හිතෙන්නේ නැතිවෙයි.

 

2. තමන්ට රෙස්පෙක්ට්

තමන්ට රෙස්පෙක්ට් එකක් නැති මිනිහා අනුන්ට රෙස්පෙක්ට් කරන්නෙත් නැහැනෙ බ්‍රෝ. ආන්න ඒ නිසා, මුලින්ම තමන්ට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න. දැන් හිතලා බලන්න, ඇත්තටම අපි සෙක්ස් ආසාව නිසා පාලනයෙන් තොර වෙලා කාට හරි ජැක් එකක් ගහලා හරි, කවුරුහරි ගෑණියෙක්ගේ පස්සෙන් ගිහිල්ලා හරි, මිනිහෙක් ඉන්න ගෑණියෙක්ට ලයින් දාන්න ගිහින් හරි චාටර් වුනොත් තමන්ගේ ඒ රෙස්පෙක්ට් එකට මොකද වෙන්නෙ කියලා. මතක තියාගන්න. රෙස්පෙක්ට් එක නැතිවුනාට පස්සේ ආයෙමත් ගන්න හරිම අමාරුයි. ආන්න ඒ නිසා කොයි තරම් ඉන්න බැරි තරම් ලිංගික අවශ්‍යතාවයක් ආවත්, මොහොතක් අරගෙන තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතන්න.

 

3. කාන්තාව ගැන දුර්මත හිතින් අයින් කරගන්න

පිරිමියෙක්ට ඇතිවෙන පාලනය කරගන්න බැරි ලිංගිකාශාවන්ට මේක හේතුවක් නෙවෙයි. හැබැයි ඒ ලිංගිකාශාවන් සන්තර්පණය කරගන්න කාන්තාවක් පාවිච්චි කරනවා වගේ මෝඩ තීරණයක් හිතන්නෙ මතන්නෙ නැතුව ගන්න නම් මේක එක හේතුවක්. ඇත්තටම මේ කාරණාව අපි කියපු පළවෙනි කාරණාවටත් සම්බන්ධයි. ඒ කියන්නේ, කාන්තාව කියන්නේ පිරිමියාව සතුටු කරන්න මේ ලෝකේ තියෙන ලිංගික භාණ්ඩයක් කියලා හිතන එක, කාන්තාවෝ හැමවෙලේම දුවන්නේ සල්ලිකාර, බලවන්ත පිරිමි පස්සේ කියලා හිතලා ද්වේෂ කරන එක, එහෙම නැතිනම් එහෙම හිතලා කාන්තාවන්ව සල්ලිවලට ගන්න හදන එක ගැනයි අපි මේ කියන්නේ. මෙන්න මේ දුර්මත හිත් වලින් අයින් වුනොත්, පුරුෂ ලිංගයෙන් තීරණයක් ගන්න කලින් කෙනෙක් දෙපාරක් හිතයි.

 

4. ජීවිතේ කරන්න දේවල් හදාගන්න

මේක අපිට පාලනය කරගන්න බැරි ලිංගික ආශාවක් ආවහම කරන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි පාලනය කරනන් බැරි ලිංගික ආශාවන් එන එකට බෙහෙතක්. ලිංගික ආශාවන් කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි අපේ සම්පූර්ණ ජීවිතේම ලිංගික ආශාවන් වටේ නම් කැරකෙන්නේ, අන්න ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ජීවිතේ කරන්න ඕන දේවල් හදාගන්න ඕන කරන්නේ. හරියට රැකිරක්ෂාවක් කරන එක, තමන්ගේ කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කරගන්න වැඩ කරන එක, ඵලදායී විනෝදාංශයක් දෙකක් තෝරාගන්න එක, චිත්‍රපටි බැලීම, සංගීතය ඇසීම වගේ සෞන්දර්‍ය පැත්තේ මොනවාහරි කරන එක මේ වලට උදාහරණ. ඒ වගේම දිනපතා ශාරීරික ව්‍යායාම, ශාරීරික ස්වථාවය පවත්වා ගැනීම වගේ එදිනෙදා ජීවිතේ හැඩගස්වා ගන්න එකත් කරන්න ඕන. මීට අමතරව ඔය භාවනා වගේ දේවල් වුනත් මනස සන්සුන් කරගන්න ඉතාම හොඳයි. 

 

5. ස්වයං වින්දනයට බිය නොවෙන්න

මෙන්න මේක ප්‍රධාන ගැටළුවක්. ඒ කියන්නේ ස්වයං වින්දනයට මිනිස්සුන්ගේ තියෙන අනියත බිය සහ සම්මත සමාජයෙන් ඒකට එල්ල කරන ප්‍රතිරෝධය. ඇත්තටම ස්වයං වින්දනය කියන්නේ තමන්ගේ ලිංගිකාශාවන් සහ ලිංගිකාවේගයන් හිර කරගෙන ඉන්නේ නැතුව පිට කරන්න පුලුවන් ක්‍රමයක්. හැබැයි ස්වයං වින්දනය කරනවාද නැද්ද කියන එක එක් එක් පුද්ගලයෙක්ගේ තීරණයක්. ඒ වගේම ස්වයං වින්දනය ඇබ්බැහියක් බවට පත් කර නොගන්න එකත් එක් එක් පුද්ගලයෙක්ගේ වගකීමක්. එතනින් එහාට ස්වයං වින්දනය වැරදියි කියන්න බැහැ. දැන් පැහැදිලියිනේ.

අපිට පාලනය කරගන්න බැරි ලිංගික හැඟීම් ඇවිත් තීරණයක් ගන්න යන්නේ කියමු. ඒ කියන්නේ ලිංගික හැඟීම් පදනම් කරගෙන කෙනෙක්ව කසාද බඳින එකේ ඉඳලා කොටුවක් පනින එක දක්වා වෙන්න පුළුවන්. ආන්න ඒ වෙලාවට, තීරණේ ගන්න කලින් ස්වයං වින්දනය කරලා ඉන්න. තමන්ට තෘප්තියක් ලැබිලා සන්සුන් වුනාට පස්සේ ආන්න ආයෙමත් ඒ තීරණේ ගැන හිතලා බලන්න. ගොඩක් වෙලාවට ඔතනදී තීරණේ වෙනස් වෙනවා!

 

6. ලිංගිකත්වය ගැන ඉගෙන ගන්න

දැන් කාලේ වුනත්, ඉස්සර වුනත් ගොඩක් වෙලාවට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මිනිස්සු ලිංගිකත්වය ගැන හරි හැටි වැටහීමක් නැති කම. ඒකට හේතුව, ඉස්කෝලෙන්වත්, ගෙවල් වලින් වත් හරි හැටි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම. ඒ නිසා ගොඩක් දෙනෙක් ලිංගිකත්වය ගැන ඉගෙන ගන්නේ යාලුවන්ගෙන් නැතිනම් බ්ලූ ෆිල්ම් වලින්. ආන්න ඒකෙන් ඇතිවෙන්නේ සමාජ ප්‍රශ්න විතරයි. අන්න ඒ නිසා හරි විදියට ලිංගිකත්වය ගැන ඉගෙන ගන්න. ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස්කම් ගැන, ලිංගික සම්බන්ධතාවයකට යන්නේ කොහොමද කියන එක ගැන, ආරක්ෂිත ලිංගික ක්‍රියා ගැන වගේම විශේෂයෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් රෝග ගැන එහෙමත් ඉගෙන ගන්න. මේ දේවල් අද වෙනකොට අන්තර්ජාලයෙන් වුනත් පහසුවෙන් හොයාගන්න පුළුවන්. ආන්න එතකොට, පුරුෂ ලිංගයට ඕන වෙන තීරණයක් ගන්න කලින්, ඒ තීරණේ තියෙන අවදානම ගැන පොඩ්ඩක් හරි හිතලා බලන්න පුළුවන් වෙයි.

 

7. ආදරේ වෙනුවෙන් ආදරේ කරන්න

මේකත් අති විශේෂ කාරණාවක්. ඇත්තටම අපි කිසිසේත්ම නොදන්නා, අපිට කිසිසේත්ම හැඟීමක් නැති කෙනෙක් එක්ක සෙක්ස් කරන එක දුකක්. ඒ වගේම තේරුමක් නැති දෙයක්. ඒක හරියට, ස්වයං වින්දනයට පාවිච්චි කරන අත හරි සෙක්ස් ටෝයි එකක් හරි වෙනුවට මනුස්ස ශරීරයක් ආදේශ කරනවා වගේ. හැබැයි එහෙම නැතුව අපිට ආදරයක්, දයාවක් දැනෙන සහ අපි වෙනුවෙන් ආදරයක්, දයාවක් දක්වන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක බොහොම ආශ්වාදජනක අත්දැකීමක්. ආන්න ඒ නිසා, සෙක්ස් වෙනුවෙන් සම්බන්ධතා හොයන්න එපා. ආදරේ වෙනුවෙන් සම්බන්ධතාවයකට යන්න. ඒක ඇතුළේ තියෙන ලිංගිකත්වය දෙන්නත් එක්ක එකතුවෙලා, ක්‍රම ක්‍රමයෙන්, ආදරයෙන් හොයාගන්න. ආන්න ඒක, පුරුෂ ලිංගයෙන් තීරණ ගන්න එක නතර කරන්න හොඳම ක්‍රමයක්. 

 

8. මොහොතක් නතරවෙලා හිතන්න

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන්ට පාලනය කරන්න බැරි විදියේ ලිංගිකාශාවක් ඇතිවෙන මොහොතකදී, ඒ නිසාම බස් එකේ කෙල්ලෙක්ට ජැක් එකක් ගහන්න හරි, තමන්ගේ පවුල විනාස වෙන විදියට වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න හරි, කෙනෙක්ට ලිංගික අපරාධයක් කරන්න හරි තීරණය කරන්න කලින්, එක තත්පර දහයක් අරගෙන පොඩ්ඩක් හිතන්න. ඔව්, අපි ඔය උඩ කියලා තියෙන හැමදෙයක්ම ආයෙ ආයෙත් හිතන්න. තමන්ගේ ශිෂ්ණය ගන්න තීරණයක් වුනත් ආයෙමත් හරවන්න බැහැ කියන එක හිතන්න. ආන්න ඊට පස්සේ, තමන්ගේ පාලනය ආයෙමත් මොළේට ආවට පස්සේ තමන්ගේ තීරණය මොකක්ද කියන එක හිතලා බලන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *