මිනිස්සු කැමතියි නිදහසේ ජීවත් වෙන්න. කිසිම කරදරයක් නැතුව, අපහසු අවස්ථා නැතුව, කූල් එකේ ලල් එකේ ජීවිතේ ගෙවන්න. හැබැයි එහෙම කරන්න බෑ. ලොකු ලොකු ඈයොන්ටත් ප්‍රශ්න. බිලියන් ගණන් ගොඩගහගෙන ඉන්න ඈයොන්ටත් ප්‍රශ්න තියෙනව. එයාලට බයයි ඊළඟ ආණ්ඩුව මාරු වුනාම හිරේ දායිද කියල. ඒක එයාලට බිලියනයක් තියාගෙන වුනත් පහසුවෙන් ජීවත් වෙන්නට තියෙන බාධාවක්. මෙන්න මේ වගේ අපහසුතා ගැන තමයි අපි කියන්නෙ. මේ කියන අපහසුතා මොනවද? ඒවා ජයගන්න පුළුවන්ද? මිනිස්සු මේවට හුරු වෙලාද? හුරු වෙන්න පුළුවන්ද? සල්ලිවලින් මේ සියල්ලට විසඳුම් හොයතෑකිද? ඒක ගැන කතා කරන්න අපි කියන්න යන්නෙ අපිට අපහසුතා ගෙනෙන අපිම නොහිතන දේවල් ගැනයි.
1. බය
බය කියන දේ ගැන අපි හිතන්නෙ කොහොමද? අපිට බයක් ඇතිවෙන්නෙ මොකක් හරි නරකක් සිද්ධ වුනොත් විතරයි කියලා නේද? එහෙම නෑ. අපි හැම තිස්සෙම බයෙන් ඉන්නෙ. ඉන්ෂුවරන්ස් දාගෙන, ඕටී කර කර සල්ලි හොයලා පොත්වල දාගෙන, බලේ තියාගන්න පොර කකා අපි හැමෝම බයෙන් ඉන්නෙ. බය නැති කරගන්න බැරි වුනත් අඩු කරගන්න පුළුවන් වෙන්නෙ අපි ආසාවල් අත්හැරියොත් තමයි. බැඳීම් තිබීමත් බය වෙන්න කාරණයක්. ඉතිං හිත්වල බය තියාගෙන ජීවත් වෙන්න අපහසුයි. අද ගෙදර යද්දි මැරෙයිද කියල බයයි. ලබන සතියෙ කන්න සල්ලි නැති වෙයිද කියල බයයි. අපි පවු!
2. රස්නය
රස්නෙ කියන්නෙ දරන්න අපහසු දෙයක් විත්තිය මේ සමකය ආසන්නෙ ඉන්න අපි හොඳින්ම දන්න කතාවක්. රස්නය කොයිතරම් දරන්න අපහසුයිද කියනවනං මේ වෙද්දි සාමාන්‍ය පවුල්වල මිනිස්සුත් ගෙදර පොඩි කාමරයක් හරි ඒසී කරගන්න උත්සාහයක් දරනවා. දාඩිය දාද්දි කොයිතරම් ඉන්න අපහසුද? දාඩියත් එක්ක එන තෙහෙට්ටුව සහ ඇඟ ඇලෙන අපහසුව අපිට කොයිතරම් වෙලාවක් සහ වැඩ ප්‍රමාණයක් අහිමි කරනවාද? අපි කොච්චර නොහිතුවත් රස්නය අපිට කොයිතරම් නරක විදියට බලපානවද?
3. හෙම්බිරිස්සාව
හෙම්බිරිස්සාව කියන්නෙ අපි ගණං නොගන්න ලෙඩක්. හැදුනත් ඔහේ ඒකත් එක්කම ජීවත් වෙන ලෙඩක්. ඒ තරමට හෙම්බිරිස්සාව අපිට හුරු වෙලා. නමුත් ඒක අපිට ලොකු අපහසුවක්. සීතල කෑමක් කන්න බෑ. මීටින් මැද්දෙ කිවිසුම් යන බය වගේම, වැඩ කරන අතරෙ සැරින් සැරේ ලේන්සුවක් අරගෙන නහය පිහිදන අපහසුව නිසා හෙම්බිරිස්සාව අපිට අතිශය අපහසුකාරී දෙයක්. හෙම්බිරිස්සාව හැදෙන විදිය මොකක් වුනත් හැදුනම ඉන්න විදිය අපහසුවක් නිසාත්, වෙනිං ලෙඩ තරමට අපි හෙම්බිරිස්සාව ගණං නොගන්න නිසාත්, මේක ගැන හිතන්නම වෙනවා.
4. කුතුහලය
මේක හිත පාලනය කළොත් මගහැරගන්න පුළුවන් වුවත් මිනිස්සු ස්වභාවයෙන්ම කරන දෙයක්. කුතුහලය නිසාම මේ ලෝකයේ බොහෝ වැදගත් නිෂ්පාදන බිහි වෙලා තියෙනවා. නමුත් කුතුහලය කියන්නෙ අපිව අවුස්සන සුළු දෙයක් නිසා අපේ එදිනෙදා වැඩ වගේම මානසික ඒකාග්‍රතාවයත් කුතුහලය නිසා බිඳිලා යනවා. ඊළඟට මොකක් වෙයිද? අතන මොනවා තියෙයිද? අරය මොකක් කියනව ඇද්ද? මං ගැනද කියන්නෙ? වගේ දේවල් හිත හිත සහ හොය හොය ඉන්න වෙන නිසා කුතුහලය අපේ ජීවිතය අපහසු කරවන්නක් විත්තිය අපිට පිළිගන්න වෙනවා.
5. පරාජයන්
පරාද වීම කියන්නෙ කාට වුනත් වේදනාවක්. හැබැයි අපි අපිටම කියල නම් කරගත්තු දේවල් තියෙනවනෙ. අපේ රටේ ක්‍රිකට් ටීම් එක, අපි කැමතිම ෆුට්බෝල් ටීම් එක, අපි ඡන්දෙ දීපු පක්ෂෙ ඇතුළු බොහොමයක් දේවල් එක්ක හිතද්දි ඒවා පරාජයක් ලැබුවොත් අපිට දුකක් දැනෙනවා. ඒ පරාජය නිසාම අපි එයින් පස්සෙ ගෙවෙන දවස් කිහිපයක් කිසිම වැඩක් කරගන්න බැරි අපහසුවකින් ඉන්නෙ. ඉතිං පරාජය අපේම නොවුනත් අපි ඒ අපහසුව විඳිනවා. මෙන්න මේ වගේ දේවල් හිතින් අත්හැරගෙන ඉන්න මිනිස්සුන්ට අතිශය අපහසුයි.
6. ලැජ්ජාව
මේ අපිට අපහසුවක් දැනෙන අනිත් ලොකුම කාරණාව. ඒ තමයි ලැජ්ජාව. මතක් වෙන සැරයක් පාසා මුහුණ ඇඹුල් වෙන කාරණයක්. හිතාගන්න බැරුව ලතවෙන, මුහුණ දී ගන්න බැරුව ඉන්න හේතු වෙන ලැජ්ජාව විවිධ දේ නිසා සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ලැජ්ජාව තියාගෙන ජීවත් වෙන්න අපහසුයි. රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න අපහසුයි. කොටිම්ම ලෝකයට නිරාවරණය නොවුනු තැනක වුවත් ලැජ්ජාවක් හිතේ තියාගෙන විසීම අපහසුයි. මේ අර්බුදය නිසාම ලැජ්ජාවත් අපිට ජීවිතයේ මුහුණ දෙන්නට වෙන ලොකුම අපහසුවක් විදියට නම් කරන්න පුළුවන්.
7. කැසිලි
අමුතු තැන් කසන එක අපිට තියෙන ලොකුම අපහසුවක්. රස්සාවක් කිරීම වගේ දෙයක් කෙසේ වෙතත් ජීවත් වීමත් අපහසු කරවන දෙයක්. කොහොමද එක අතකින් පරිප්පු වඩයක් කන ගමන් අනිත් අතින් බත් කද්දි පිට මැද කැසිල්ලක් ආවොත්. ඒක කහන්න ගිහින් පිට පුරා වඩේ තෙල් ගෑවිලා, ඒත් කහගන්න බැරි වුනාම පිට ගිහින් ගහක අතුල්ලගන්න හිතෙනවා. මේ කැසිල්ලත් එක්ක කෑම ටිකක් කන්නවත් බැරි නිසා මේ අපහසුව ජීවිතේ අපිට තියෙන ලොකුම අපහසුවක් කියලා බයක් නැතුවම නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණ බිබිලි හැදෙන එක. උෂ්ණ බිබිලි ආවමත් ෂෝක්. පුටුවකට මේසයකට වදින තැනක ආවොත් තවත් ෂෝක්.
Leave a Reply