දැන් ඔය ලියන කියන වැඩ තියෙනවනේ. ඒ කියන්නේ ලියන කියන වැඩ කරන්න ලේඛකයෙක් වෙන්න ඕන කියන එක නෙවෙයි. අපි සෑහෙන්න දෙනා මේ වෙනකොට ෆේස්බුක් එකේ ලියනවා. සමහරු බ්ලොග්ස් ලියනවා. සමහරුන්ට අධ්‍යාපන කටයුතු නිසා ලියන්න කියන්න සිද්ධ වෙනවා. සමහරුන්ට ජොබ් එකට අනුව ලියන්න කියන්න සිද්ධ වෙනවා. ඒ අතරේ ඇත්තම ලේඛකයොත් ඉන්නවා. ඉතින් මේ ඕනම කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකක් එහෙම තියෙනවා නම්, තමන්ගේ ලියන කියන කටයුතු වඩාත් පහසු කරගන්න, විශේෂයෙන්ම මග යන එන ගමන් වුණත් ලියන කියන වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් ඇප්ස් තියෙනවා. ආන්න ඒ විදියේ ඇප්ස් කීපයක් තමයි මේ.
1. JotterPad
බැලූ බැල්මට නිකම්ම ටෙස්ක්ට් එඩිටර් එකක් වගේ පේන JotterPad ඇප් එක ඇත්තටම සම්පූර්ණ හැකියාවන් තියෙන වර්ඩ් ප්‍රොසෙසර් එකක්. හැබැයි මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ ගූග්ල් ඩොක්ස් වලට වඩා ඉතාම සරලයි. එතකොට වෙනත් නෝට්පෑඩ් ඇප් එකක තියෙන සරලකම තිබුණට, ඊට වඩා ප්‍රබලයි. ආන්න ඒ නිසා ලියන කියන හාදයෙක්ට මේක ගැලපෙන ඇප් එකක්. විශේෂයෙන්ම මේක මිනිමලිස්ට් විදියකට නිර්මාණය කරල තියෙන නිසා, අවධානය එහෙ මෙහෙ නොවී ලියන්න පුළුවන්. මේකේ තියෙන ෂෝට්කට්ස් එහෙමත් සෑහෙන්න උදවුවක්. ඒ වගේම මේකේ වැඩිමනත් දුරට අපි ලියන එව්වා ෆෝමැට් කරන්න එහෙමත් පුළුවන් ප්‍රෝ සංස්කරණය ගත්තොත්. පොඩි ගාණයි යන්නේ. මේක හදපු අය කියන්නේම මේ ඇප් එක ඔය නවකතා, කෙටිකතා, තිර පිටපත් එහෙම ලියන්න මරු කියලා.
2. Evernote
අපිට ඕනම වෙලාවක ලියන්න එක එක අයිඩියාස් ඔලුවට එන්න පුළුවන්. හැබැයි එක්කෝ එහෙම අයිඩියා එකක් එන වෙලාවට අපි ඉන්නේ ලියාගන්න පුළුවන් තැනක නෙවෙයි. එහෙමත් නැතිනම් ඒ අයිඩියාස් ලියන්න ගියහම හිතන තරම් විස්තරාත්මකව සටහන් කරගන්න අමාරුයි. හැබැයි ඔය ප්‍රශ්න දෙකම විසඳෙනවා අපිට හිතන දේවල් ඒ වෙලේම අපේ කටහඬින් රෙකෝඩ් කරලා වොයිස් නෝට් එකක් විදියට තියන්න පුළුවන් නම්. ඇත්තටම වොයිස් නෝට්ස් කියන්නේ ලේඛකයෙක්ට වුණත්, ලියන කියන වෙන කෙනෙක්ට වුණත් සෑහෙන්න ප්‍රයෝජනවත් දෙයක්. අන්න ඒක හරියන එකක් තමයි Google Keep. ඒ ගැන අපි කලිනුත් කියලා තියෙනවා. මේ ලිස්ට් එකේ අපි Evernote හඳුන්වලා දෙන්නෙත් ඒ වැඩේටම තමයි. මේක ටෙස්ක්ට් වලින් සටහන් තියන්න වගේම, වොයිස් සටහන් තියන්නත් පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නෝට්ස් පහසුවෙන් ඕගනයිස් කරලා තියාගන්නත් පුළුවන්.
3. Grammarly
Grammarly ගැන මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් දන්නවා වෙන්න ඕන. ඒකට හේතුව, මේ අය සෑහෙන්න පුළුල් මාකටින් කැම්පේන් එකක් දියත් කළා. යන යන තැන Grammarly දකින්න ලැබුණා. ඇත්තටම ඔය ඊමේල්ස් වලට, බ්‍රවුසර් වලට එහෙම Grammarly දාගෙන ට්‍රයි කරලා බලපු අය දන්නවා ඇති මේකේ තියෙන වටිනාකම. අපේ අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කරන්න විතරක් නෙවෙයි, ව්‍යාකරණ දෝෂ නිවැරදි කරන්න විතරකුත් නෙවෙයි, අපි ලියන දේක තියෙන්නේ වෘත්තිය ගතියක්ද, ෆන් ගතියක්ද, මිතුරු ගතියක්ද වගේ ලියන දේවල ටෝන් එක විස්තර කරන්න පවා Grammarly එකට පුළුවන්. එතකොට හිතන්නකෝ මේකේ ප්‍රෝ වර්ෂන් එකට මොන තරම් දේවල් කරන්න පුළුවන් ඇතිද කියලා.
ඇත්තටම අපි පුද්ගලිකව හිතන්නේ, ලේඛකයෙක් හෝ ශිෂ්‍යයෙක් තමන්ගේ ව්‍යාකරණ හෝ අක්ෂර වින්‍යාස දැනුම දියුණු කරගන්නවා වෙනුවට Grammarly වගේ ඇප් එකක් මත යැපෙන එක දීර්ඝකාලීනව හොඳ නෑ කියලා. හැබැයි බැලන්ස් එකේ වැඩේ කරන කෙනෙක්ට Grammarly තියෙන එක හොඳ සම්පතක්.
4. Writing Prompts
ඔන්න අපිට පොලිටිකල් ත්‍රිලර් එකක් ලියන්න ඕන. කතාව කොයි විදියටද යන්නේ, මොකද්ද කතාවේ වෙන්නේ කියන එක ගැනත් දළ අදහසක් අපේ ඔලුවේ තියෙනවා. හැබැයි කොහොමද හැබෑටම කතාව පටන් ගන්නේ? ආන්න ඒක තමයි අපි ඔළුව කස කසා කල්පනා කරන්නේ. කුලී මිනීමරුවෙක් විදුලි සෝපානයට නගින සීන් එකෙන් කතාව පටන් ගත්තොත්? එහෙම නැතිනම් මනුස්සයෙක් පත්තරේට ලියුමක් ලියන එකෙන් කතාව පටන් ගත්තොත්? ඔන්න ඔය ප්‍රශ්නෙට පොඩි සහායක් ලැබෙන ඇප් එකක් තමයි මේ Writing Prompts කියන්නේ. මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ලියන කියන කටයුතු කරන සමස්ත ප්‍රජාවක් හා සම්බන්ධ වීමක්. ඒ වගේම මේ ඇප් එකේ තියෙනවා විවිධ ෂානරයන් වල කතා සඳහා උපකාරී වෙන පටන් ගන්න තැන් ලැයිස්තු. ඒ කියන්නේ Writing Prompts! මේ ඇප් එක අලුතින් ලියන්න එකතුවෙන ආධුනිකයන්ට හොඳ අත්දැකීම් සපයන තැනක් වගේම අනුප්‍රාණයක් සපයන තැනක් කියලත් කියන්න පුළුවන්.
5. Pure Writer
Pure Writer කියන්නෙත් අපි කලින් කියපු JotterPad ඇප් එක වගේම ලේඛකයෙක්ට පහසුවෙන් ලියන්න කියන්න උදවු කරන ඇඩ්වාන්ස් නෝට්‍පෑඩ් ඇප් එකක් තමයි. Pure Writer එකත් බොහොම මිනිමලිස්ට් පරිශීලක අතුරු මුහුණතක් එක්ක, අවධානය එහෙ මෙහෙ නොයා ලියන්න පුළුවන් පසුතලයක් හදාදෙන ඇප් එකක්. හැබැයි Pure Writer වල තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපි ලියන හැමදේම සැරිස් සැරේ ක්ලවුඩ් මතක ධාරිතාවක සේව් වීම. අන්න ඒ නිසා, මොකක් නිසාවත් අපි ලියන දේවල් ඩිලිට් වෙලා යන්නෙ, නැති වෙන්නෙ නෑ. ඒ වගේම මේකේ සෙකියුරිටි එහෙමත් ඉතාම හොඳ නිසා, අපි ලියන දේවල් අනවශ්‍ය අතකට යයි කියලා බයවෙන්න ඕනැත් නෑ. මේ ඇප් එක ඕපන් වෙන්නත් ඕන නම් ෆින්ගර්ප්‍රින්ට් සෙකියුරිටි දීලා තියන්න පුළුවන්.
6. Novelist
තමන්ට කියන්න කතාවක් තියෙන, හැබැයි ලියන්න කියන්න ලොකු පළපුරුද්දක් නැති නිසා තමන්ගේ ඔලුවේ තියෙන අදහස් හරියට කළමනාකරණය කරලා, සංවිධානය කරලා පෙළගස්වාගන්නේ කොහොමද කියන එක ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට Novelist වගේ ඇප් එකක් වටිනවා. මේක ඒ තරම් පරිශීලක මිත්‍රශීලී ඇප් එකක් කියන්න නම් බෑ. හැබැයි කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි වැඩේ කරලා දෙනවා. මේකෙන් ඇත්තටම කරලා දෙන්නේ අපිට ලියන්න ඕන කතාවේ අවුට්ලයින් එක ගාණට ඕගනයිස් කරලා දෙන එක. අපේ ස්ටෝරි එකට බේසික් ටෙම්ප්ලේට් එකක් හදලා දෙන එක. ඒකට ෆ්ලෑෂ් කාඩ් ටයිප් එකේ සිස්ටම් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අවුට්ලයින් එක හදාගත්තට පස්සේ අපිට ඕන විදියට ඒ අවුට්ලයින් එකේ තියෙන කෑලි බෑලි පහසුවෙන් එහා මෙහා කරගන්නත් මේ ඇප් එකෙන් පහසුව සැලසෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ අවුට්ලයින් එක නැතිනම් ටෙම්ප්ලේට් එක ඇතුළේ කතාව ලියන්න තමයි. ඕන නම් මේකෙම ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ ටෙම්ප්ලේට් එක අනුව උඩ කියපු රයිටින් ඇප් එකක කතාව ටයිප් කරන්නත් පුළුවන්.
7. Writer Tools – Novel Planner, Tracker & Editor
දැන් පොතක් ලියන, එහෙම නැතිනම් කෙටිකතාවක් ලියන කෙනෙක්ට වැදගත් වෙන ඩිජිටල් ටූල් එකක් තමයි ඩිජිටල් ප්‍රොජෙක්ට් මැනේජර් ඇප් එකක්. විශේෂයෙන්ම කියනවා නම්, තමන් ලියන කතන්දරේ ටයිම්ලයින් එක සහ චරිත වල වටපිටාව හරියට මැනේජ් කරලා දෙන්න පුළුවන් ඇප් එකක්. උදාහරණයක් විදියට කිවුවොත්, කෙටිකතාවේ නිමල් පොල් කඩනවා කියලා හිතාගෙන ලියන එකෙන් චරිතෙට ගැඹුරක් එන්නෙ නෑ. ඊට වඩා පොල් කඩන නිමල්ගේ පසුතලයේ ඉඳලා ගතිගුණ දක්වා නිර්මාණය කරන්න ඕන. ආන්න ඒ වගේ දේවල් කළමනාකරණය කරලා දෙන්න පුලුවන් මේ Writer Tools – Novel Planner, Tracker & Editor ඇප් එකට. ඒ වගේම ලියන කියන වැඩේ හරියට ට්‍රැක් කරගන්නත් මේක වටිනවා.
එතකොට ඇපල් ෆෝන් පාවිච්චි කරන එවුන් අතපල්ලෙන් වැටිලද? ඇයි ඒ අයට මේ වැඩේට ගැලපෙන ඇප්ස් ගැන ලියලා නැත්තේ? එහෙම හිතන්න එපා. ඇත්තටම මේ ඇප්ස් බොහෝමයක් ඇපල් ෆෝන් වලටත් තියෙන්න පුළුවන්. පොඩ්ඩක් Apple iTunes වල නම ගහලා බැලුවහම හොයාගන්න පුළුවන්. හැබැයි ඇපල් ෆෝන් පරිශීලකයන්ට සාපේක්ෂව බහුතරයක් ඉන්නේ ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයෝ නිසා තමයි අපි මේ ලිස්ට් එක ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වලින් හැදුවේ.
Leave a Reply