ලාසා – ලෝකයේ පියස්ස

අපි අද ඔබට කියන්න යන්නේ ලංකාවේ ඉස්සර පාසල් දැනුම මිනුම තරඟ වලට ඉදිරිපත් වෙච්ච අය නම් හොඳට දන්න, ඒත් සාපේක්ෂව ලංකාවේ බහුතරයක් දෙනා අහලවත් නැති නගරයක් පිළිබඳව. ඒ තමයි ලාසා නගරය. ලාසා නගරය ගැන දැනුම මිනුම තරඟ වලට ඉදිරිපත් වෙච්ච අය දැනගන්නේ ලෝකයේ පියස්ස විදිහට හැඳින්වෙන නගරය කුමක් ද යන ප්‍රශ්නයට දිය යුතු පිළිතුර විදිහට. ලාසා නගරය ටිබෙට් රටේ අගනුවරයි. වර්තමානයේ ටිබෙටය චීනයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ටිබෙටයේ රාජ්‍ය නායකයා සහ ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමා මේ වන විට ඉන්දියාවේ දේශපාලන රැකවරණය ලබමින් කාලය ගත කරනවා. ලාසා නගරය සියවස් ගණනාවක උරුමය ආරක්ෂා කරන ටිබෙට් සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයයි. අපි එහෙමනම් ලාසා නගරය ගැන තොරතුරු කීපයක් දැන කියා ගමු.

 

 

1. ලාසා නගරයට නම ලැබුණ හැටි

පුරාණ ටිබෙට් වාර්තා වලට අනුව ලාසා නගරයට අතීතයේදී භාවිතා වී තිබෙන්නේ රාසා යන නමයි. ටිබෙට් බසින් එහි තේරුම වන්නේ “එළුවන් ගාල් කරන ලද ස්ථානය” යන්නයි. පසු කාලයක මෙම ප්‍රදේශය ටිබෙටයේ අගනුවර ලෙස නම් කිරීමත් සමඟම එහි නම ලාසා ලෙස වෙනස් කරනු ලැබුවා. එහි අර්ථය දෙවියන්ගේ වාසස්ථානය වේ.

 

 

2. අගනුවර ආරම්භය

7 වන සියවසේදී කලාපයේ බලවතෙකු බවට පත් වී ටිබෙටය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල අධිරාජ්‍යයක් ගොඩ නැගූ සොන්ග්ස්ටන් ගැම්පෝ රජු විසින් ලාසා නගරය ගොඩනැගීමට කටයුතු කරනු ලැබුවා. ඔහු විසින් විදේශීය බිසෝවරු දෙදෙනකු විවාහ කරගත් අතර ඔහු ඔවුන් දෙදෙනාගේ ආගම වූ බුද්ධාගම වැළඳ ගැනීමට තීරණය කළා. මෙම හේතුව නිසා ටිබෙටයේ සම්පූර්ණ ආගමික සහ දේශපාලන ඉතිහාසය වෙනස් වුණා.

 

 

3. දලයි ලාමාවරුන්ගේ පාලනය

පස් වන දලයිලාමා ටිබෙටයේ ආධ්‍යාත්මික සහ රාජ්‍ය නායකයා වීමෙන් අනතුරුව යළිත් වතාවක් ලාසා නගරය ටිබෙටයේ ආගමික සහ දේශපාලන කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. එතුමන් විසින් සුප්‍රකට පෝටලා මාළිගාව ප්‍රතිසංස්කරණයට ලක් කළ අතර  නගරයේ ප්‍රධානතම පූජා භූමිය වන ජොක්හැන්ග් විහාරයද විශාල කිරීමට කටයුතු කළා.

 

 

4. ලාසා නගරයට එල්ල වූ ප්‍රහාර 

ක්වින් රාජ වංශය සමයේදී චීනය විසින් ලාසා නගරයේ බලය අත්පත් කරගත් අතර ඉන්පසුව 1904 දී බ්‍රිතාන්‍යයන් විසින් එහි බලය සියතට ගනු ලැබුවා. මහජන චීනය නිර්මාණය වීමෙන් අනතුරුව ටිබෙටයේ බලය රතු හමුදාව විසින් අත්පත් කරගත් අතර දලයි ලාමාතුමා ඉහත සඳහන් කළ ආකාරයට ඉන්දියාව වෙත පළා ගියා. එතැන් පටන් අද දක්වා ලාසා නගරය චීන බලපෑමට නතුව පවතිනවා. මුල් කාලයේදී චීන හමුදා විසින් දැඩි මර්දනකාරී පාලනයක් ලාසාවේ ගෙන ගියත්, පසුව යම්තාක් දුරකට ටිබෙටය කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවා.

 

 

5. ලාසා නගරයේ ආර්ථිකය 

ටිබෙටයේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන ලාසා නගරයේ වැඩිදෙනා කෘෂිකර්මාන්තය සහ සත්ත්ව පාලනය සඳහා යොමුව තිබෙනවා. කෙසේ නමුත් චීන රජයේ බලපෑම මත ඛනිජ සම්පත් නිස්සාරණය සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ද මෙම නගරය ආශ්‍රිතව ස්ථාපනය වීම කෙරෙහි ඇතැම් ටිබෙට් වැසියන් නම් දක්වන්නේ එතරම් සතුටුදායක ආකල්පයක් නම් නෙවෙයි. එසේම සංචාරක කර්මාන්තයද වර්තමානය වන විට ලාසාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා.

 

 

6. ලාසා නගරයේ වැදගත් ස්ථාන

සියවස් ගණනාවක් පැරණි පෝටලා මාළිගය, ජොක්හැන්ග් විහාරය, සේරා ආශ්‍රමය, නොර්බුලින්කා ආශ්‍රමය ආදී ටිබෙට් වැසියන් මහත් භක්තියෙන් සලකන විහාරාරාම සහ ගොඩනැගිලි රාශියක් ලාසා නගරය පුරා විසිරී පවතිනවා. කෙසේ නමුත්  චීනය විසින් ක්‍රියාත්මක කළ සංස්කෘතික විප්ලවය පැවැති අවදියේදී මේ සුවිශේෂී නිර්මාණ රැසකට දැඩි ලෙස හානි සිදුවුණා. චීන රජය විසින් තමන් සිදුකළ එම වැරැද්ද නිවැරදි කිරීමට යළිත් මෙම පූජා ස්ථාන ගොඩනැගීමට කටයුතු කර තිබෙනවා. 

 

 

7. ලාසාවේ ජනගහණය 

වර්තමානයේ ලාසාවේ ජනගහණය ලක්ෂ පහකට ආසන්න වන බව විශ්වාස කරන අතර එයින් භාගයකටත් වඩා නගරයේ තාවකාලික පදිංචිකරුවන් වනවා. අතීතයේදී මෙම ජනගහණයෙන් වැඩි පිරිසක් ලාමාවරුන් වූ අතර වර්තමානය වන විට තත්ත්වය වෙනස් වී තිබෙනවා. එසේම අතීතයට සාපේක්ෂව විශාල චීන ජනගහණයක් නගරය තුළ වාසය කරනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *