කෝච්චි ගමන කියන්නේ ඉතින් අපි කොයි කවුරුත් ආසා කරන ගමනක් නේ. බස් එකේ කාර් එකේ යනවා වගේ නෙමෙයි කෝච්චි ගමන වැඩිය ගමන් මහන්සියක් නැතුව ගිය හැකි. ඉතින් නිවාඩු කාලෙක දරුවොත් එක්ක කෝච්චියේ රවුමක් දාන එක නිවාඩු කාලෙට කියාපු චාරිකාවක්. කෝච්චි ගමනක ලස්සන කිව්වාම අපිට වැඩිපුරම මතක් වෙන්නේ උඩරට කඳුකර සිරිය බලන්න යන උඩරට කෝච්චි ගමන. ඒත් අනෙක් පාරවලුත් ඇත්තටම ලස්සනයි. ලංකාවේ කොහේ ගියත් කෝච්චියෙදි ජනේලෙන් එලියේ කොළපාට ලස්සන සුන්දර පරිසරයක් දකින්නට ලැබෙනවා. මූදුබඩ පාරේ යනවා නම් මූදුකරය කෝච්චියෙදිම බලාගෙන යන්න ලැබෙනවා.
මේ ලිපියෙන් අපි කියන්න යන්නේ අපිට අලුතින්ම එකතු වුන බෙලිඅත්ත පාරේ දුම්රිය සංචාරක අත්දැකීම ගැනයි. කියවලා බලමු එහෙනම්.
1. චීනයට ගියා වගේ හැඟීම
බෙලිඅත්ත අලුත් කෝච්චි පාරේ තියෙන දුම්රිය ස්ථාන හැම එකක්ම අලුතින් හදලා තියෙන්නේ. ඒ අතරින් වැවුරුකන්නල, කැකණදුර, බඹරැන්ද, බෙලිඅත්ත දුම්රිය ස්ථාන මගීන් දාහකට දෙදාහකට වුනත් හොඳට සැපපහසුවෙන් ඉන්න පුළුවන් ආකාරයට හදලා තියෙනවා. පේන විදියට මේ දුම්රිය ලංකාවේ සාමාන්‍යයෙන් දුවන පෙට්ටි 12-16 දුම්රිය වලට වඩා පෙට්ටි 24 වගේ දිගු දුම්රියන්ට පවා සහයෝගය දක්වන විදියට කෝච්චි පාර සහ දුම්රිය ස්ථාන හදලා තියෙනවා. ලංකාවේ වෙරළබඩ පැත්තේ මගීන් දාස් ගාණක් ගැවසෙන බම්බලපිටිය, කොල්ලුපිටිය දුම්රිය ස්ථාන තාම තියෙන්නේ 18 වෙනි ශතවර්ෂයේ. ඒත් අලුතින් හදාපු මේ අලුත් රේල් පාරේ ස්ටේශන් ටික නම් කිරි කිරිවට ගාණට ෂේප් එකට හදලා තියෙනවා.
2. උඩින් යන ගුවන් පාලම්
කිරළකැලේ නිල්වලා තෙත්බිම ගැන අහලා තිබුනාට හරියට ඒ මොකද්ද කියලා කවුරුත් වැඩිය දැකලා තිබුනේ නැහැ. නිල්වලා ගඟ කෝච්චි පාරට බස් පාර හරියේදි වගේ පළල නැහැ. ගංගාව බොහොම පටු තැනකින් දුම්රිය මාර්ගයේ නිල්වලා ගඟේ පාලම හදලා තියෙනවා. ඒ පාලම තියෙන පැත්තේ වගුරුබිම් වල තියෙන සුන්දර පරිසරය කෝච්චියේ යද්දි අපිට පේනවා. කෝච්චි පාර උඩින් හදාල තියෙන නිසා ඒ හරියේදී වටපිටාව කදිමෙට පේනවා.
3. අසිරිමත් ගුවන් දර්ශන
උඩරට මාර්ගය යන්නේ කොහොමත් උඩ නේ. එතකොට ඉතින් කොහොමත් පහළ පේනවා. ඒත් මේ අලුත් බෙලිඅත්ත පාර හදලා තියෙන්නේ සාමාන්‍ය පොළවේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළින්. එතකොට පහතරට තෙත් බිම්, කෙත් වතු, ගම්මාන ආදිය හොඳට ඇස් දෙකට පේනවා. කොටින්ම ඇස් දෙක ඩ්‍රෝන් එකකට සෙට් කළා වගේ ගුවන් පාලම උඩින් යද්දි කෝච්චි පාරට වෙල්, වගුරු බිම් ආදී පහත් බිම් පේනවා. එක ස්ථානයක් තියෙනවා කෝච්චි පාරේ කිලෝමීටර දෙකක් විතර යනකල් කුඹුරු, වගුරු බිම් වලට ඉහළින් ගුවන් පාලම් උඩින් තමයි කෝච්චිය යන්නේ. අපේ හයිවේ එහෙම හදලා තිබුනත් අපිට කෝච්චියේ වගේ උසකින් භූමි දර්ශන හයිවේවල දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඒ පරිසරය හොඳට බලාගන්න මේ දුම්රිය ගමන වැදගත් වෙනවා.
4. බිම් ගේ තුළ කළුවර වී
මොකටද පාත රටට මෙච්චර බිංගෙවල්, ගුවන් පාලම්. කාට හරි මතක නම් මාතර ඉඳන් තංගල්ලට එන පාරේ මාතර සැර වංගු ටිකක් තියෙනවා. වෙරළබඩ පළාත වුනත් මේ භූමියට පොඩි කඳුකරයක් තියෙනවා. බස් පාරක් නම් ඉතින් වංගු දාලා ඉස්සර කාලේ හදන්න ඇති. ඒත් කෝච්චි පාරවල් වල එහෙම වංගු දාලා හිටිගමන් මතුවෙන කඳු දාල හදන්න බැහැ. ඒ නිසා මේ පාර හදනකොට බිංගෙවල් දෙකක් හදලා තියෙනවා. බිංගෙවල් දෙකම දිගයි. මේ බිංගෙවල් අපේ උඩරට පාරේ වගේ ගල හිල්කරලා නිකම්ම තියලා නැහැ. හොඳට කොන්ක්‍රීට් වලින් සම්පූර්ණ බිංගේම ආවරණය කරලා තියෙනවා.
5. වැවුරුකන්නල, වෙහෙරහේන පිළිම වහන්සේලා
“වෙහෙරහේන විහාරයේ උඩමලුවට යන්නම් – පේන පේන හැමතැනකදිම ඔයාට පින් දෙන්නම්” කියලා අජිත් මුතුකුමාරණ කියන සිංදුවක් කාලයක් බස් වල නිතර ඇහුනා. 2001 මහ ගංවතුරට නිල්වලා ගඟ පිටාර ගැලුවා. එතකොට ඒ පළාතේ තිබුන උසම තැනක් වුණු වෙහෙරහේන පිළිමේ උඩට නැග්ගාම ඈත පේන විදිය ගැන ඒ සිංදුවේ ලියවිලා තියෙනවා. වෙහෙරහේන සහ වැවුරුකන්නල දුම්රිය ස්ථාන දෙකක්ම තියෙන නිසා මේ සුන්දර බුදු පිළිම තියෙන ලස්සන විහාරස්ථාන දෙකම කෝච්චියේ ගිහින් දැකබලාගන්න දැන් පුළුවන්. වැවුරුකන්නල බුදුපිළිමෙ නම් කෝච්චි ස්ටේශමට හරි ලස්සනට පේනවත් එක්ක.
6. අසමසම වේගය
කඳු කපලා, පාත්බිම් උඩින් පාලම් ගහලා අමාරුවෙන් කෝච්චි පාර හැදුවට මොකද ගමන නම් ඉතින් බබා වගේ. පරණම රුමේනියන් පෙට්ටි වල නැගලා ගියත් වැඩි ගැස්සීමක් නැතුව ගමන යන්න මේ අලුත් බෙලිඅත්ත මාතර පාරේදි පුළුවන්. කිලෝමීටර 39ක් දුර මේ පාරෙදි දුවන පෙළක් කෝච්චි පැය බාගෙන් බෙලිඅත්ත මාතර කොටසේ ගමන සම්පූර්ණ කරනවා. උතුරු දුම්රිය මාර්ගය අලුතින් හැදුවාට පස්සේ ඒකේ අපේ යාල්දේවිය, අයිස් දුම්රිය විදගෙන ගියේ යම් සේද ඒ ආකාරයෙන්ම කිසිම ගේමක් නැතුව සීයට එකසිය විස්සට පාගන්න මේ දුම්රිය මාර්ගයේදී දුම්රිය රියදුරන්ට පුළුවන් කම ලැබිලා තියෙනවා.
7. ඉතින් බෙලිඅත්තෙන් පස්සේ ?
කොළඹ ඉඳන් එන උදවියට මේ කොළඹ ඉඳන් බෙලිඅත්තට තියෙන සම්පූර්ණ දුර වන කිලෝමීටර 200කට ආසන්න ප්‍රමාණය දැන් පැය 4කින් විතර එන්න ලැබිලා. ඒ එක්ක දකුණට ටුවර් එකක් එන එක දැන් ලොකු දෙයක් නෙමෙයි. තංගල්ල, කුඩාවැල්ල, රන්න, ගුරුපොකුණ පැතිවල දැන් අලුත් බීච් හෝටල එහෙමත් හැදිලා. ඒ වගේම බජට් එකේ හැටියට නවාතැන් ගන්න තැනුත් දැන් සංචාරක කර්මාන්තය නිසා ඇතිවෙලා තියෙනවා. උස්සන්ගොඩ, තංගල්ල බීච් එක, මුල්ගිරිගල, ගොඩවාය, හම්බන්තොට වගේ සංචාරක ස්ථානත් බෙලිඅත්තේ ඉඳලා පැයක දෙකක දුර ඇතුළේ පිහිටලා තියෙනවා.
යාපනේට අලුතින් කෝච්චි වැටුනාට පස්සේ සමහර අය පවුලේ උදවිය එක්ක කෝච්චියෙන් යාපනේ ගිහින් ඉන් පස්සේ එහෙන් වාහන අරන් යාපනේ තියෙන හැම වැදගත් තැනක්ම කවර් කළා. ඒ වගේ දැන් පවුලේ සෙට් එක එක්ක බෙලිඅත්තට කෝච්චියෙන් ආවොත් ඒ පළාතෙන් වාහනයක් අරන් වටපිට කවර් කරගන්න එක අපි කොයි කාට වුනත් හරි ලේසි වැඩක් වෙලා. ඉන්දියාවෙන් වේගවත් කරපු පරණ මුහුදුබඩ මාර්ගය වගේම චීනෙන් අලුතින් එලපු පාරත් බලාගෙන අලුත් පාරේ ලස්සනත් බලාගෙන එන සුන්දර ගමනක් ඔයාලට බෙලිඅත්තට කෝච්චියෙන් එද්දි හමුවේවි.
Leave a Reply