චොකලට් ගන්න විතරක්ම තියෙන අපූරු චොක්ලට් ෂොප් කීපයක්!

චොක්ලට් කියන්නේ ඉතින් ආයෙ අමුතුවෙන් තෝරලා බේරලා කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයිනේ. චොක්ලට් කිව්වහම ඕන කෙනෙක් දන්නවා රහ. ඇත්තටම ඇයි අපි හැමෝම වගේ චොක්ලට් වලට කැමති. හොඳ ප්‍රශ්නයක්. හේතුව චොක්ලට් කෑවහම අපි හරිම සතුටු වෙන නිසා. ඒකට හේතුව, චොකලට් කෑවහම අපේ මොළේට සතුට දනවන නියුරෝට්‍රාන්ස්මිටර් එකක් වෙන ඩෝපමීන් රිලීස් වෙන නිසාලු.
චොක්ලට් පිස්සෙක්ට තනිකරම චොක්ලට් පිරිලා තියෙන, විලී වොන්කගේ චොක්ලට් ෆැක්ටරිය වගේ චොක්ලට් ෂොප් එකකට යන්න ලැබුණහම කොහොම තියෙයිද? ඇත්තටම ඒ වගේ චොකලට් ෂොප්ස් ලංකාවේ තියෙනවා. හැබැයි එකක්, ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැනේ. අන්න ඒ නිසා, චොක්ලට් වලට අපි කොච්චර ආස වුණත්, චොක්ලට් බත් කන ගාණට කන්න යන එක නම් හොඳ නෑ. එහෙම වුණත්, තමන්ට කන්න, ගෙදර කට්ටියට කන්න, තෑගි දෙන්න එහෙම චොක්ලට් ගන්න ඕන වුණහම, මේ වගේ චොක්ලට් ෂොප් එකකට යන එක වටිනවා!

 

1. Anods Chocolate Lounge

ඇනොඩ්ස් චොකලට් කියන්නේ ලංකාවේ ගොඩක් අයට හුරුපුරුදු චොකලට් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. හැබැයි එක්ස්පෝර්ට් මාකට් එක හරහා වෙනත් රටවල අයත් දන්න ඇනොඩ්ස් චොකලට් ශ්‍රී ලංකාවේ චොකලට් නිෂ්පාදනයක්. 2014 ඉඳන් අද වෙනකල් මේ කට්ටිය චොකලට් නිෂ්පාදනය කරනවා. මේ ඇනොඩ්ස් චොකලට් සුපර්මාකට් වලින් ගන්න තිබුණත්, පූගොඩ තියෙන ඇනොඩ්ස් චොක්ලට් ලෝන්ජ් එක නම් යන්නම වටින තැනක්. එතන චොක්ලට් බට්න්ස්, චොක්ලට් චිප්ස්, චොක්ලට් ස්ටික්ස්, චොක්ලට් ස්ලැබ්ස්, ඩාක් චොකෝ, වයිට් චොකෝ, මිල්ක් චොකෝ වගේ විවිධ චොකලට් වර්ග, කොකෝවා පව්ඩර්, චොකලට් නිෂ්පාදන, චොකලට් අතුරුපස වර්ග, චොකලට් බීම වර්ග, චොක්ලට් දාපු කුකීස්, චොක්ලට් අයිස්ක්‍රීම් වර්ග වගේ එක එක ජාති තියෙන චොකලට් ලෝකයක්. ඇත්තටම ඇනොඩ්ස් චොකලට් කාලා බලපු කෙනෙක් නම් පූගොඩ පැත්තෙන් යනකොට ඇනොඩ්ස් චොක්ලට් ලෝන්ජ් එකට අනිවාර්යයෙන්ම ගිහින් එනවට සැකයක් නෑ!

 

2. The Kandos Shop

කැන්ඩොස් චොකලට් රස නොදන්න කෙනෙක් ලංකාවේ නං ඉන්න විදියක් නෑ. මොකද කැන්ඩොස් චොකලට් කියන්නේ අපිට මතක ඇති කාලෙක ඉඳන් ලංකාවේ තිබුණු පරණම සහ ජනප්‍රියම බ්‍රෑන්ඩ් එකක් නිසා. කොහොම හරි කැන්ඩොස් ෂොප් එකේ විකුණන්නේ කැන්ඩොස් චොකලට් වලින් හදපු ජාති විතරයි. සාමාන්‍යයෙන් චොකලට් පිස්සෙක්ට මේක ඇතුළට ගියපු ගමන් එන පළවෙනි හැඟීම තමයි මෙතන තියෙන ඔක්කොම ජාති සල්ලි දීලා ගන්න ඕන කියන එක. ඒ තරමට මේක ඇතුළේ චොක්ලට්. එක එක රසවලට හදපු, එක එක හැඩේට හදපු චොකලට් කෑලි, චොකලට් බ්‍රවුනි, චොකලට් එක්ලෙයාර්, චොකලට් ක්‍රිස්පි ක්ලස්ටර්, චොකලට් මාෂ්මෙලෝස් ෆජ්, චොකලට් කුකීස්, චොකලට් බිස්කට් පුඩින්, චොකලට් ෆජ්, ඇල්කොහොල් චොකොලට්, චොකලට් අරවා, චොකලට් මෙව්වා, ආයෙ කෙළවරක් නෑ. එහෙම චොක්ලට් අරගෙන, කැන්ඩොස් කට්ටියගේ ප්‍රසිද්ධ කැන්විටා චොක්ලට් ඩ්‍රින්ක් එකත් බීලම යන්න පුළුවන්.
මේ කැන්ඩොස් ෂොප්ස් ඇත්තටම තර්ස්ටන් එක ඉස්සරහා, සර් චිත්තපලම් එස් ගාඩිනර් මාවතේ, කිරිල්ලවල, මාතර, කොට්ටාව මාකුඹුර වගේම කුණ්ඩසාලේත් තියෙනවා.

 

3. Gerard Mendis Chocolatier

ජෙරාර්ඩ් මෙන්ඩිස්ව ගොඩක් දෙනෙක් දන්නේ හිල්ටන් එකේ හිටපු හෙඩ් චෙෆ් විදියට, එහෙම නැත්තං ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා හැටියට. ඒ කොහොම වුනත් ලංකාවෙන් පිට ගොඩක් දෙනෙක් ජෙරාඩ් මෙන්ඩිස්ව දන්නේ “චොකලට් චෙෆ්” කියලා. ඒකට හේතුව ඉතින් ජෙරාඩ් මෙන්ඩිස් චොකලට් හදන්න තියෙන දක්ෂකම තමයි. හෝර්ටන් පෙදෙසේ තියෙන ජෙරාඩ් මෙන්ඩිස් චොක්ලටියර් එක ඇත්තටම චොකලට් ෂොප් එකක්ම නෙවෙයි, ෆැන්සි රෙස්‍ටුරන්ට් එකක් වගේම පේස්ට්‍රි බේකරි එකක්. හැබැයි ඇතුළු වෙද්දිම දැකගන්න පුළුවන් මෙතන තියෙන චොකලට් සිලෙක්ෂන් එක.
මෙතන එක එක විදියේ රස එක්ක ජෙරාඩ් මෙන්ඩිස් හදපු සිග්නේචර් චොකලට් වර්ග තියෙනවා. චොකලට් රසත් එක්ක සැර මිරිස් රහ එන ස්පයිසි චොකලට් පවා. හැබැයි මෙතන තියෙන ප්‍රධානතම ආකර්ෂණය තමයි කෙනෙක්ට තෑගි දෙන්න පුළුවන් විදියේ කාඩ්බෝඩ් නැත්තං ලී පෙට්ටි වල එන චොකලට් සිලෙක්ෂන් එක. මෙතන චොක්ලට් මිල ගණන් අතින් බැලුවොත් සාපේක්ෂව වැඩියි. හැබැයි ඒ ගණන් අතිශය සාධාරණයි. මොකද, මේ චොක්ලට් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන්නේ.

 

4. The Chocolate House

කොළඹ 03 ඩීන්ස්ටන් ප්ලේස් එකේ තියෙන චොකලට් හවුස් එක චොකලට් ගන්න විතරක් නෙවෙයි, ගිහිල්ලා නිවීහැනහිල්ලේ චොකලට් අතුරුපසක් එහෙමත් අරගෙන එන්න පුළුවන් තැනක්. මේ අයගේ මේන් ෂොප් එක තියෙන්නේ වැල්ලවත්තේ. දැන් ඔය ගොඩක් ඉන්ටර්නැෂනල් චොකලට් බ්‍රෑන්ඩ්ස් කොළඹ සුපර්මාකට් එකකින් හොයාගන්න පුළුවන්. හැබැයි ගණන් වැඩියි වගේම ලොකු සිලෙක්ෂන් එකකුත් නෑ. ආන්න ඒකට චොක්ලට් හවුස් එකට ආවොත්, ආයෙ තනිකරම චොක්ලට් ලෝකයක් තමයි. දන්න කියන චොක්ලට් වර්ග වල ඉඳල, ෆෙරේරෝ රොෂර්, කින්ඩර්, ගැලැක්සි, කැඩ්බරි, ටොබ්ලෙරෝන් වගේ දන්න ඉන්ටර්නැෂනල් චොක්ලට් බ්‍රෑන්ඩ් වගේම, තව නොදන්න සෑහෙන්න චොකලට් වර්ගත් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දවස් වල චොක්ලට් වලට විශේෂ ඔෆර්ස් එහෙමත් මෙතන තියෙනවලු.

 

5. Sweet Buds

ස්වීට් බඩ්ස් කියන්නේ චොකලට් කඩයක් විතරක්ම නෙවෙයි. මෙතන පුළුන් පුරෝපු ටෙඩියෝ, ෆැන්සි අයිටම්ස් වගේ දේවලුත් තියෙනවා. හැබැයි මෙතන ඇති වෙන්න චොකල‍ටුත් තියෙනවා. වැලන්ටයින් එකට, තමන්ගෙ පාට්නර්ගේ උපන් දිනේට එහෙම චොක්ලට් තෑගි දෙන්න එහෙම ඕන නම්, මෙන්න යන්න ඕන තැන. චොක්ලට් ඇතුළු සම්පූර්ණ ගිෆ්ට් බන්ඩ්ල් එකක්ම අරගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඕන නං පාටියකට හරියන චොකලට් ෆවුන්ටන් එකක් ගන්නත් පුළුවන්. ඒකට විවිධ පැකේජ් තියෙනවා. එහෙම නැත්තං චොකලට් තෑගි ගන්න පුළුවන්. ඇත්තටම මේ චොකලට් තෑගි කියලා තියෙන්නේ එක එක විදියට හදපු චොකලට් බුකේස් තමයි. ෆෙරේරෝ රොමෑන්ස්, කැඩ්බරි හාට්ස්, හර්ෂේස් රොමෑන්ස් වගේ නම් දාලා තියෙන මේවා හදලා තියෙන්නේ බ්‍රෑන්ඩඩ් චොකලට් සහ පුංචි පුංචි ටෙඩියෝ වගේ සත්තු එකතු කරල තමයි!

 

6. Bonbon Chocolates

ඔය කොළඹ අවට සමහර වෙලාවට දැකලා ඇති, ඉම්පෝටඩ් කෑම බීම අයිටම්ස් තියෙන අමුතු විදියේ ෂොප්ස්. මේවා ඒ තරම් ලොකු ෂොප්ස් නොවුණට, ඇතුළට ගියහම නිකම් වෙන රටක තියෙන සුපර් මෝල් එකක පොඩි වර්ෂන් එකක් වගේ තමයි. ඒ තරමට ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වලින් එන කෑම වර්ග, බීම වර්ග, සිරප් වර්ග, චොකලට් වර්ග අනං මනං තියෙනවා. මේ Bonbon Chocolates කියන්නෙත් ආන්න එහෙම ෂොප් එකක්. හැබැයි මේ අයගේ ස්පෙෂල්ටි එක වෙන්නේ චොක්ලට්. විශේෂයෙන්ම ලංකාවේ අපි බහුලව දකින වගේම ලේසියෙන් දකින්න නොලැබෙන චොක්ලට් වර්ගත් මේ අය ගාව තියෙනවා. ඒ වගේම හොඳම දේ කියන්නේ, සුපර්මාකට් වල දකින්න ලැබෙන ඔය කිට්කැට්, ෆෙරේරෝ රොෂර්, ටොබ්ලරෝන් වගේ ඉන්ටර්නැෂනල් චොක්ලට් වර්ග, සුපර්මාකට් වල ගන්න තියෙන මිලට වඩා හිතාගන්න බැරි අඩු මිලට තමයි මෙතන තියෙන්නේ.

 

7. Chocoloco

අර උඩින් කියපු ජාතියේ ලෝකල් ඉන්ටර්නැෂනල් චොක්ලට් බ්‍රෑන්ඩ්ස් වල එක එක විදියේ චොක්ලට් ගන්න නුවර පැත්තේ තියෙන තැනක් තමයි මේ චොකෝලොකෝ කියන්නේ. නුවර පේරාදෙණිය පාරේ තියෙන චොකෝලොකෝ එක ලෝබ නැතුව ඒ අයගෙ චොක්ලට් වලට ඩිස්කවුන්ට් එහෙමත් දෙනවා. විශේෂයෙන්ම 50% ක් දක්වා ඩිස්කවුන්ට් ෆෙරේරෝ රොෂර්, කින්ඩර් වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වලට දෙනවා වගේම, ෆ්‍රීමී වොලට් වලට එහෙම අමතර කෑෂ්බැක් ඩිස්කවුන්ට් එහෙමත් තියෙනවා. එතකොට නුවර අවට චොක්ලට් හෝම් ඩිලිවරිත් මේ අය කරනවා.

 

මේ එක්කම විශේෂයෙන් සඳහන් කරන්න ඕන චොක්ලට් ෂොප්ස් කීපෙකුත් තියෙනවා. ඒ තමයි පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ එහෙම තියෙන විශේෂ ඉම්පෝටඩ් ආහාර වර්ග, බීම වර්ග, චොක්ලට් වර්ග තියෙන පොඩි පොඩි ෂොප්ස්. මේවා ලේසියෙන්ම අඳුනගන්න පුළුවන්, කඩවල් ඉස්සරහා අර ෆෘට් බාස්කට් හදන්න ගන්න කූඩ එල්ලල තියෙන නිසා. මෙව්වා ඇතුළට ගියහමත් ඉතින් පුංචි ඉන්ටර්නැෂනල් මෝල්ස් වගේ තමයි. චොක්ලට්‍ වර්ගත් පිරිලා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *