ගංජා භාවිතය නීතිගත කළ යුතුද?

අලුත් රජය පත්වීමත් එක්ක ගංජා වගාව නීතිගත කරනව කියල හා හූවක් පැතිරුණා. දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව සලකා බලමින් යන බව ප්‍රකාශ කළා. ඒ වගේම නව රජය බලයට ගෙන ඒමට වැඩි වැඩ කොටසක් ඉටු කරපු බෙංගමුවේ නාලක හාමුදුරුවෝ එක්තරා උත්සව අවස්ථාවකදී  ගංජා නීතිගත කිරීම පිළිබඳව ධනාත්මකව අදහස් පළ කරලා තිබ්බා. නමුත් කාඩිනල් තුමාගේ නම් අදහස වුණේ ඒ හරහා සමාජ පරිහානියක් ඇති වෙන බවක්. කොහොම වුණත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී එයින් පසුව ප්‍රකාශ කළේ ගංජා නීතිගත කිරීමට තම රාජය කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවකුයි. 

 Lifie අපේ අද මේ ආටිකල් එකේ බලාපොරොත්තුව ගංජා නීතිගත කළ යුතුයි ද නැද්ද පිළිබඳව යම් සංවාදයක් ගොඩනැගීමයි.

 

1. කංසා ගැන මූලික අවබෝධය

තනි කඳක් සහිත කංසා ශාකය මීටර් දෙකක් විතර උසට වැඩෙන, කේතු ආකාරයට අතු බෙදෙන පඳුරක ස්වභාවයකින් යුක්ත වෙනවා. ගස් වල මල් පිපෙන්නේ පොකුරක ආකාරයකට. සෑම පොකුරක් ආසන්නයේම හීනි දිග තනි කොළයක් මතුවීම  සිද්ධ වෙනවා. ඒ වගේම කංසා පත්‍රවලින් මැලියම් වර්ගයක් ශ්‍රාවය වන අතර එහි රසායන වර්ග 500ක් පමණ අඩංගු වන බව කියවෙනවා. ඊට අමතරව කංසා ශාකයටම ආවේණික රසායන ද්‍රව්‍ය 80ක් පවතිනවා. මධ්‍යම ආසියාවේ අල්තායි කඳුවැටිය කංසා ශාකයේ නිජබිම ලෙස සැලකෙනවා.

 

2. ත්‍රෛලෝක විජය 

පුරාණ ඉන්දීය ග්‍රන්ථ තුළ ‘සෝම’ ලෙස හැඳින්වෙන්නේ කංසා බව ඇතැම් විද්වතුන් විශ්වාසය පළ කරනවා. එම ඖෂධය මගින් මිනිසාව දෙවියන් වෙතට ළං කරන බව එම ග්‍රන්ථ පවසනවා. කෙසේ වෙතත් ත්‍රෛලෝක විජය නමින් හැඳින්වෙන්නේ කංසා ශාකයට බව සියලු දෙනාම කිසිදු විවාදයකින් තොරව එකඟ වෙනවා. පුරාණ ආයුර්වේද ග්‍රන්ථවල කංසා භාවිතාකොට නිෂ්පාදනය කරනු ලබන ප්‍රත්‍යක්ෂ ඖෂධ ගණනාවක් පිළිබඳව සඳහන් වෙනවා.

 

3. මුල්ම කඩදාසි 

චීන ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට එකල චීනය තුළ ලේඛන සඳහා භාවිතා කර තිබෙන්නේ උණ බම්බු පතුරුයි. ඊට වඩා බරින් අඩු විකල්පයක් චීන ජාතිකයන්ට අවශ්‍යව තිබුණා. දිනක් මේ පිළිබඳව අවධානය යොමු කළ යම් පුද්ගලයෙක් කංසා සහ මල්බෙරි පොතු එකට දමා සකස් කරගත් තලපයක් දින ගණනාවක් පල්වෙන්න තබා අවසානයේදී අච්චුවකට දමා හෙළනු ලැබ තිබෙනවා. මේ ආකාරයට ලෝකයට කඩදාසි බිහිවුණා යැයි පැවසෙනවා. 

 

4. කංසා වල වෙනත් ප්‍රයෝජන

 

කංසා ඇට වලින් සිඳිනු ලබන තෙල් සහ පිටි විවිධ ආහාර මෙන්ම ඖෂධ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කඳේ පොත්‍ත භාවිතා කරමින් නූල් සකස් කොට විවිධ ඇඳුම් වර්ග නිර්මාණය කිරීමත් කංසා වලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක්. මීට අමතරව කංසා අරටුව භාවිතා කරමින් කඩදාසි පමණක් නොව ගොඩනැගිලි ඉදි කිරීමට අවශ්‍ය ලෑලි පවා සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. කාංසා පිළිබඳව විවිධ පර්යේෂණ කළ වෛද්‍ය වෘත්තිකයන් එහි පිළිකා නාශක ගුණයක් ඇති බවත් කියනවා 

 

5. කංසා තහනම් වුණේ ඇයි? 

කංසා තහනම ඇති කිරීමට ප්‍රමුඛත්වය ගත් රට ලෙස චෝදනාවකට ලක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. විවිධ කෘත්‍රිම ආදේශක භාවිතා කරමින් ඔවුන් විසින් අඩු මිලට නිෂ්පාදනය කරනු ලැබූ කඩදාසි, ඖෂධ වර්ග සහ පෙට්‍රෝලියම් තෙල් ආශ්‍රිත ඇඳුම් පැළඳුම් ආදිය සඳහා නව වෙළෙඳ පොළක් ලබා ගැනීමේදී මූලික අභියෝගය කංසා නිසා එල්ලවන බව ඔවුන් විශ්වාස කළා. මේ නිසා කංසා වලට එරෙහිව එය භයානක මත් ද්‍රව්‍යයක් බව පවසමින් සුවිශාල ප්‍රචාරණය යුද්ධයක් ඔවුන් විසින් ආරම්භ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ අවස්ථාවේදී ඔවුන්ගේ ඉත්තෙක් බවට පත්වුණා.

 

6. කංසා වල අවුලක් ඇත්තේම නැද්ද? 

කංසා භාවිතය අගය කරන බොහෝ දෙනෙක් කියන ප්‍රධානම කතාව තමයි කංසා වලින් මානසික ඒකාග්‍රතාවය ඇති වෙනවායි කියන එක. ඒ කතාව ඇත්ත. ඒත් ගැටළුව තියෙන්නේ කංසා භාවිතය මගින් මානසික රෝග උත්සන්න වීමටත් ඇතැම් අවස්ථාවල නව මානසික රෝග ඇතිවීමටත් හැකියාවක් තිබීමේයි. එසේම ඇතැම් පර්යේෂණ මගින් තරුණ තරුණියන්ගේ ස්නායු පද්ධතියට කංසා මඟින් හානි ඇතිවන බවට​ද සනාථ වී තිබෙනවා.

 

7. එතකොට මොකක්ද කරන්න ඕන? 

අපි හිතන විදිහට කංසා ලංකාවේ නීතිගත කළ යුත්තේ කංසා කුමක් සඳහා භාවිතා කළ යුතුද යන්න පිළිබඳව නිසි මාර්ගෝපදේශ සකස් කිරීමෙන් අනතුරුවයි. විශේෂයෙන්ම ඉහත අපි සඳහන් කළ ආකාරයේ නිෂ්පාදන නොවන දෙයක් සඳහා කංසා භාවිතා කළ යුත්තේ මොන මොන අවස්ථාවන් සම්බන්ධවද  යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාවට ලබා දිය යුතුයි. ඒ වගේම මේ පිළිබඳව පර්යේෂණ කිරීමට සහ  පාලනය කිරීමට යම් පාලනාධිකාරියක් ස්ථාපිත විය යුතු බව අපි විශ්වාස කරනවා.

 

මේ පිළිබඳව ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *