බත් එක්ක කන්න පුළුවන් සලාද වර්ග 5ක්

බත් වේලක් කනකොට ඒකට තෙල් දාපු දෙයක් එක්ක, හොදි ව්‍යාංජනයක්, මස් හෝ මාළු එක්ක සලාදයක් තියනවනම් ඒ වේල සම්පුර්ණයි වගේ දැනෙනවා නේද? එහෙනම් ගොඩක් අයට මග​ඇරෙන සලාද වලින් කිහිපයක රෙසිපි ගෙනල්ලා තියනවා. හැමදාම වේලකට සලාදයක් එකතු කරගන්න එක ශරීරයට ගොඩක් හො​ඳයි කියලයි පොත පතේ සඳහන් වෙන්නෙත්.

 

1. දඹල සලාදය

වත්තෙ හැදෙන දඹල කරලක් සලාදයක් හදාගෙ​නම කන්න තියනවනම් කැමතිද? එහෙනම් හැමදාම කරන විදියෙන් බැහැරට ගිහිල්ලා අද දඹල වලින් සලාදයක් හදලා කමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලපටි දඹල ග්‍රෑම් 200ක්
  2. රතු ළූණු ග්‍රෑම් 50ක්
  3. කොච්චි කරලක්
  4. ගම්මිරිස්කුඩු තේ හැන්දක්
  5. ලුණු ටිකක්
  6. දෙහි යුෂ ටිකක්
  7. අන්නාසි කැබලි ටිකක්
  8. තක්කාලි ගෙඩි 2ක්

 

  • දඹල ටික සුද්ද කරලා සෝදලා අරන් කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2ක් වගේ තම්බගන්න. දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි හීනියට කපාගන්න. තක්කාලි හා අන්නාසි කොටුවට කපාගන්න.
  •  බෝල් එකක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෑමට ගන්න.

 

2. වම්බටු හා අන්නාසි සලාදය

හැමදාම සලාද හදන්න ගන්නෙ එක්කො එළවළු, නැත්තන් සැමන් වගේ දෙයක්. ඒ නිසාම එකම විදිහෙ සැලඩ් කාලා එපා වෙලානම් අද අපි අළුත් සැලඩ් රෙසිපි එකක් දෙන්නම් ට්‍රයි කරලා බලන්න. රස අපිටත් කියන්න ඕනෙ හොඳේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු ග්‍රෑම් 500ක්
  2. කපාගත්  බී ළූණු ගෙඩි 3ක්
  3. කපාගත්  මාළු මිරිස් කරල් 4ක්
  4. කපාගත් තක්කාලි  ගෙඩි 2ක්
  5.  කපාගත්  අන්නාසි කැබලි ටිකක්
  6. අඹ චට්නි මේස හැඳි 3ක්
  7. තක්කාලි සෝස් මේස හැඳි 2ක් 
  8. මිරිස්කුඩු මේස හැන්දක්
  9. ලුණු හා ගම්මිරිස් රස අනුව

 

  • මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න.
  • දැන් කපාගත් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතු කර රස බලන්න.

 

3. කරවිල තායි සලාදය

එක එක විදියෙ කෑම කන අතරෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනෙ නේ. ශරීරයට ගුණදායක කරවිල වලින් හදන සලාදයක් තමයි මේ. කාලා බලන්නකො තිත්තයි කියලා අහක දාන්නේ ඇත්තටම බෙහෙත් මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කරවිල ග්‍රෑම් 500
  2. සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 100
  3. සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක්
  4. සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩි 1ක්
  5. සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 30ක්
  6. දෙහි ගෙඩියක යුෂ
  7. ෆිශ් සෝස් මේස හැන්දක්
  8. චිලි පේස්ට් මේස හැන්දක්

 

  • මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ලාවට බැදගන්න. 
  • දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ළූණු, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳ​ට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටික දාලා ෆිශ් සෝස් දාගන්න.
  • අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න.

 

4. රශියන් සැලඩ්

ටිකක් වෙනස් රසකට සලාදයක් කන්න ආස අය ට්‍රයි කරලා බලන්න. මේ සැලඩ් එක කූල් එකේ තමයි කන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අර්තාපල් අල ගෙඩි 3ක්
  2. කැරට් අල 2
  3. ග්‍රීන්පීස් ග්‍රෑම් 250
  4. බෝංචි කරල් 8ක් පමණ
  5. මයෝනිස් මේස හැඳි 5
  6. පොඩි අන්නාසි ගෙඩියක්
  7. ලුණු ස්වල්පයක් 
  8. ගම්මිරිස්කුඩු

 

  • මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ​ඇර කොටුවට කපාගන්න. බෝංචි ටික හීනියට වගේ කපා ගන්න. 
  • කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි 2ක් තම්බගන්න.
  • අන්තිමට අල ටික තැම්බෙන්න තියන්​න විනාඩි 3ක් විතර. හො​ඳට තැම්බුනාම වතුරෙන් පෙරාගන්න.
  • දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි  ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස්කුඩු ඇති පදම් දාගන්න.
  • දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.

 

5. බිත්තර සලාදය

එළවළු වලින්ම විතරක් මොකටද සලාද හදලා. අපි බිත්තර වලිනුත් හදමුකෝ. ඔව් ඇත්තටම බිත්තර සලාද හරිම රසයි. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 4ක්
  2. කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක්
  3. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්
  4. හීනියට කපාගත් ළූණු කොළ ටිකක්
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලා හොඳ​ට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න. 
  • දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *