ගෑණු ළමයත් එක්ක මුල්ම ඩේට් අවුට් එකකට යන්න නම් මේ කොෆී ෂොප් වලින් එකක් තෝරගන්න!

දැන් ඔන්න අපිට ගෑණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි ගැන පිළිබඳ හිතක් ඇති වුනා කියලා හිතමු. දෙන්නත් එක්ක කථා බස් කර කර ටික කාලයක් ගෙවුණට පස්සේ ඔන්න ඕනැ වෙනවා මුණගැහෙන්න. ඉතින් මුණගැහෙන්න දිනයක් එහෙම දාගත්තට පස්සේ වුවමනා වෙන්නේ මුණගැහෙන්න තැනක්. සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් අපි කොෆී එකකට යමු කියලනේ. හැබැයි කෝපි එකක් බොන්න ගියත්, තේ එකක් බොන්න ගියත් මුල්ම ඩේට් අවුට් එකට හෝ දෙවෙනි ඩේට් අවුට් එකට යන තැන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒකට හේතුව මේකයි. කෝපි එක රස වීම, චීස් කේක් කෑල්ල සුපිරි වීම විතරක් මදි. නිස්කලංක වෙන්න ඕන. දෙන්නට කතා බහ කර කර පැය කීපයක් වුනත් නිදහසේ ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕන. ගෝසාකාරී, සෙනඟ පිරුණු තැනක් නොවෙන්නත් ඕන. පොඩි එවුන්ගේ කරදර අනං මනං නැති තැනක්, ඒ කියන්නේ ෆැමිලි රෙස්ටුරන්ට් එකක් නොවෙන්න ඕන. සුවපහසු වෙන්නත් ඕන. නෝනට හරියන පාට තියෙන්නත් ඕන. දැන් ඔය ඔක්කොම හරියන තැනක් හොයාගන්න එක නේද ප්‍රශ්නේ? එහෙම හිතන්න එපා. එහෙම තැන් ඕනෑ තරම් තියෙනවා!

 

1. The Cauldron

Image Source – colombogazette.com

අහල තියෙනවනේ කල්දේරම් ගැන? මෙන්න මේ කැෆේ එකට නම තියලා තියෙන්නෙත් අන්න ඒ තේරුමෙන්ම තමයි. මේ කෝල්ඩ්‍රන් කැෆේ එක තියෙන්නේ කිරුළපන. කොළඹ පැත්තේ ඉඳලා යනකොට කිරුළපනෙන් අර දකුණට හැරෙන්න තියෙන්නේ අමුතු තාලේ කඩපිල් තියෙන පාරක්. ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු. ආන්න ඒකේ යනකොට තමයි කෝල්ඩ්‍රන් එක තියෙන්නේ. පොඩි ක්ලැසික් වෙස්ටර්න් නොස්ටැල්ජික් ගතියක් දැනෙන මේ පාරේ තියෙන කෝල්ඩ්‍රන් එකේත් ඒ පරණ තාලේ ආස හිතෙන ගතිය එහෙම්මම තියෙනවා. හොඳට ඉඩ කඩ ඇතුව හදලා තියෙන මෙතැන බය නැතුව ඩේට් අවුට් එකකට තෝර ගන්න පුළුවන්.

මෙතන තියෙන මාෂ්මෙලෝස් දාපු හොට් චොකලට් එකටත් ගෑණු ළමයා ආස වෙයි!

තැන:

 

2. Kopi Kade

Image Source – twitter.com

අපි උඩින් කිවුවනේ අර අමුතු තාලේ ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු එක ගැන. මේ කෝපි කඩේ තියෙන්නෙත් අන්න ඒ පාරේ තමයි. උඩින් කියපු කෝල්ඩ්‍රන් එකේ දැනෙන ගතිය නෙවෙයි මෙතන දැනෙන්නේ. මෙතන කිසිම ගරු ගාම්බීරකම් නැතුව ගෙදර වගේ ඉන්න පුළුවන් ෆීලින් එකක් එන්නේ. හැබැයි ඉතින් ලී පුටු මේස නිසා සමහරුන්ට ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න අපහසුයි කියලා හිතෙන්නත් බැරි නෑ. ඒත් ඉතින් ලොකු අවුලක් නෑ. විශේෂයෙන්ම අර කොල්ඩ්‍රන් එකේත් තියෙන නිස්කලංක ගතිය නම් මෙතනත් ඉහළින්ම තියෙනවා.

දෙන්නම චොකලට් පිස්සො නං, මෙතන තියෙන ඩාක් චොකලට් මෝකා එකට දෙන්නම ආස වෙයි!

තැන:

 

3. Whight & Co

Image Source – tasty.lk

විශේෂයෙන්ම කෝපි වලට ආස කරන කපල් එකකට නිදහසේ පැය ගාණක් වුනත් ගිහිල්ලා කථා කර කර ඉන්න අපි බය නැතුව මෙතන රෙකමන්ඩ් කරනවා. මෙතන මැරීන් ඩ්‍රයිව් එකේ ඉතාම ඉඩ කඩ ඇතුව හදපු, නිස්කලංක තැනක්. කැෆේ එක ඇතුළේ හරි අමුතු අඳුරු ගතියක් තියෙනවා. ඒ අඳුරු ගතිය එක්ක අර සුද්දගේ කාලේ පබ් එකක් මතක් වෙනවා. විශේෂයෙන්ම ගිනිගහන අවුව තියෙන මේ දවස් වල මේක ඇතුළේ තියෙන සිසිලස සහ ඇහැට ප්‍රිය ගතිය කියලා නිම කරන්න බෑ. ඉතින් දෙන්නත් එක්ක නියම ශ්‍රී ලංකාවේ විදියේ කළු කෝපි දෙකකුත් අරගෙන, පාර පැත්තට තියෙන ලොකු වීදුරු ජනේලයක් අයිනේ කූලිච්චම් බංකුවකට වෙලා, පාරට ඈතින් පේන මුහුද දිහා බල බලා නිදහසේ කෝපි එක තොලගාන්නයි තියෙන්නේ!

මෙතන තියෙන කෝල්ඩ් ඩ්‍රිප් එකත් ට්‍රයි කරලා බලන්නම වටිනවා!

තැන:

 

4. Black Cat Café

Image Source – blackcatcolombo.com

මේ තියෙන්නේ කොළඹ තියෙන පරණම සහ තවමත් අපේ ප්‍රියතම කැෆේ එකක්. බ්ලැක් කැට් කැෆේ කියලා කිවුවහම ඉතින් තේරෙනවනේ. මෙතන අපි එන මග පාර හරහට කළු පූසෝ යන්නෙ නෑ. හැබැයි  ඉස්සර වගේ පූසෝ නැතත්, ඉඳලා හිටලා පූසෙක් එහෙම දකින්න පුළුවන්. ඒ නිසා පූසෙක් දැක්ක ගමන් අනා ෂෝයි කියලා උන්ව හුරතල් කරන ගෑණු ළමයෙක්ව එක්කගෙන ගියොත් නං ඩේට් එක හරියට සිද්ධ වෙන එකක් නෑ!

කොළඹ හතේ කුරුඳුවත්තේ විජේරාම මාවතේ තියෙන බ්ලැක් කැට් කැෆේ එක ඇත්තටම පරණ තාලේ මන්දිරයක්. ඇතුළේ හොඳට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම අර පැරණි පන්නේ කැෆේ එකක තියෙන ගෙදර වගේ ගතියත් තියෙනවා. තමන්ට කැමති සුවපහසු තැනක් තෝරගෙන දෙන්නත් එක්ක කෝපි එකක් තොලගාමින් කතා කරන්නයි තියෙන්නේ.

ගන්න ශ්‍රී ලංකන් තාලේ කිරි කෝපි එකක්. ඒක තමන්ට ඕන අනුපානෙට හදාගන්න පුළුවන්! බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් එකක් නිසා ඕන නම් නවතින්නත් පුළුවන්!!

තැන:

 

5. KIKU Colombo

Image Source – yamu.lk

පරණ ඩික්මන් රෝඩ් එක, නැතිනම් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ තමයි මේ අලුත්ම කැෆේ එක තියෙන්නේ. නමේ ඉඳලා ගෘහ අලංකරණයන් වෙනකල්ම මෙතන තියෙන්නේ හරි ජැපනීස් ගතියක්. හැබැයි අර ක්ලැසික් ජැපනීස් ගතිය නෙවෙයි, ඊට වඩා හරි මොඩර්න් ජැපනීස් කැෆේ එකක ලුක් එක තමයි මෙතන තියෙන්නේ. දැන් අපි කලින්ම කිවුවනේ කැෆේ එකකට ඩේට් අවුට් එකකට යනවා නම්, සෙනඟ අඩු නිදහස් ගතිය අනිවාර්‍යයි කියලා. හැබැයි මෙතන පටන් ගත්තු ගමන් වගේ නිසාද මන්දා, සෑහෙන්න සෙනඟ නම් ඉන්නවා. ඒ නිසා හොඳම දේ තමයි උදේ වරුවක යන එක. එතකොට දෙන්නත් එක්ක නිසංසලේ කතා කර කර ඉන්න පුළුවන් කොණක මේසයක් අල්ලගෙන.

මෙතන අපිට හොඳම කෑම බීම කියලා රෙකමන්ඩ් කරන්න විදියක් නෑ දැන්ම. මොකද මේ අයගේ මෙනු එකේ සුපර් අයිටම් කලෙක්ෂන් එකක් තියෙන්නේ. තේ සහ කෝපි ඇතුළු බීම ජාති නම් කොළඹ සමහර තැන් වලටත් වඩා ගණන් අඩුයි. හැබැයි කෑම නම් පොඩ්ඩක් විතර ගණන්. කෑම බීම හැමදෙයක්ම ජපාන ස්ටයිල් එකටම තමයි තියෙන්නේ. අපි රෙකමන්ඩ් කරනවා මේ අයගේ රෙඩ් හොට් චොකලට් එක බීලා බලන්න කියලා!

තැන:

 

6. Le Papillon

Image Source – booking.com

නමේම තියෙනවා නේද පොඩි මොඩර්න් යුරෝපීය ගතියක් වගේ? ඇත්තටම මල් පාරේ කොනක තියෙන මේ රෙස්ටුරන්ට් කැෆේ එක අපි දැකලා තියෙන හරි ලස්සනම සහ නිස්කලංකම රෙස්ටුරන්ට් වලින් එකක්. එහා පැත්තේ තියෙන Le Papillon හොටෙල් එකට අයිති කැෆේ එක ඩේට් අවුට් එකකට අපි රෙකමන්ඩ් කරන්නෙත් මෙතන තියෙන රොමෑන්ටික් ගතිය නිසා. කොහොමත් මල් පාරේ තියෙන ගස් කොළන් වලින් වැහුණු නිසංසල ගතිය මෙතන දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ඒ වගේම වාඩි වෙලා කථා බහ කරන්න ඉතාම සුවපහසු වේවැල් පුටු, වේවැල් සෝෆා එහෙමත් මෙතන තියෙනවා.

මෙතන කෑම නම් ටිකාක් විතර ගණන් වැඩියි. ෆයින් ඩයිනින් පැත්තට බර ගතියක් තියෙන්නේ. ඉතින් හොටෙල් එකක කැෆේ එකනේ. හැබැයි මෙතන කෝපි නම් කොළඹ ගොඩක් ලොකු කොෆී ෂොප් වල ගණන් වලට වඩා පුදුම විදියට අඩුයි. අපි කියනවට ගිහින් හේස්ල්නට් කැපුචිනෝ එකක් බීලා බලන්න!

තැන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *