දෙල් කියන්නෙ ලංකාවෙ අපිට නුපුරුදු කෑමක් නෙමෙයි. ටිකක් උෂ්ණ ගණයට වැටෙන දෙල් උදේකට නිකම්ම තම්බල පොල් එක්ක කන්නත් රසවත් කෑමක්. මේ දවස් වල දෙල් බහුලව හැදෙන නිසා අපි හිතුවා දෙල් වලින් රස කෑම ටිකක් හදන හැටි කියලා දෙන්න ඔයාලටත්.
1. දෙල් ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් දෙල් 250g
- කුඩාවට කපා ගත් රතුළූණු ගෙඩි 6-7
- අබ ඇට තේ හැඳි 1
- බැදගත් උළුහාල් තේ හැඳි 1/4
- උම්බලකඩ කුඩු මේස හැඳි 1
- කපාගත් අමු මිරිස් කරල් 2
- රම්පේ කැබල්ලක්
- කරපිංචා ඉත්තක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කපාගත් සුදුළූණු බික් 2
- තෙල් මේස හැඳි 2
- කහ කුඩු සහ තුනපහ කුඩු තේ හැඳි 1 බැඟින්
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- දියකිරි අඬු කෝප්ප 2
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- අවශ්‍ය පමණට ලුණු
- වියළි මිරිස් කරල් දෙක තුනක්
- පළමුව මැටි වලඳක් ලිප තබා තෙල් රත්වන විට ඒකට අබ දමා පුපුරන විට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, සුදුළූණු, අමු මිරිස් එකතු කර ළූණු වලින් කොටසක් එක් කර බැදෙන්නට හරින්න.
- ඒක බැදීගෙන එනවිට උළුහාල්, තුනපහ, මිරිස්කුඩු, කහකුඩු, උම්බලකඩ දමන්න. මෙම මිශ්‍රණය බැදෙන අතරතුර දියකිරි සමඟ කපා ගත් දෙල් කැබලි දමා අඩු ගින්දරේ තැම්බෙන්නට තබන්න.
- දෙල් හොඳින් තැම්බුන පසු මිටිකිරි එකතු කර රස අනුව ලුණු ද මිශ්‍ර කර ගන්න.
- වෙනම භාජනයක තෙම්පරාදුව සඳහා තෙල් ටිකක් දමා ලිප තබා, ඉතිරි කළ ළූණු, වියළි මිරිස් දමා බැදෙන්නට හැර පිසගත් දෙල් ව්‍යංජනය මතට දමන්න.
2. දෙල් ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙල් ගෙඩි 1
- තලාගත් සුදුළූණු මේස හැඳි 1
- කරපිංචා කිනිත්තක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරදමුංගු සහ කරාබු නැටි 2 බැගින්
- කහ කුඩු සහ මිරිස් කුඩු තේ හැඳි 1/2 බැගින්
- අබ ඇට තේ හැඳි 1
- තුනපහ තේ හැඳි 1
- උළුහාල් ඇට 10 ක් පමණ
- දියකිරි අඬු කෝප්ප 2
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- තෙල් තේ හැඳි 2
- පළමුව දෙල් ගෙඩිය පොතුහැර කුඩාවට කපා කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදාගන්න. දැන් දෙල්වලට මිටිකිරි දමා හොඳින් බ්ලෙන්ඩර් කර පසෙකින් තබන්න.
- මැටි වලඳක් ගෙන එයට දියකිරි දමා කරපිංචා, කුරුඳු, සුදුළූණු, කරදමුංගු, කරාබුනැටි, තුනපහ කුඩු, මිරිස් කුඩු දමා මිශ්‍ර කර පසෙකින් තබන්න.
- දැන් වෙනත් භාජනයක් ගෙන ලිප තබා, එයට තෙල් දමා රත්වන විට අබ දමා පුපුරුවා උළුහාල් දමා ගන්න. මෙයට පළමුව සාදාගත් දියකිරි මිශ්‍රණය දමා උතුරවන්න.
- ඉන්පසු බ්ලෙන්ඩර් කර ගත් දෙල් මිශ්‍රණය එකතු කර මද ගින්නේ පිස ගන්න.
- මෙය උකුවට තලපයක් ලෙස සෑදුණු පසු ලිපෙන් බාගන්න.
3. දෙල් මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
- බාගෙට පැසුණු දෙල් ගෙඩි 1
- ගා ගත් පොල් 100 g
- සුදුළූණු බික් 2
- අමු මිරිස් කරල් 2
- රතුළූණු ගෙඩි 3-4
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- කුරුඳු කැබැල්ලක්
- කහ තේ හැඳි 1
- සිහින්ව කපා ගත් කරපිංචා කිනිති 1
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- පළමුව දෙල් ගෙඩිය සුද්ද කර සිහින්ව ලියා ගන්න. ඉන්පසුව කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා ගන්න. සෝදාගත් දෙල් භාජනයක දමා ලුණු ස්වල්පයක් සහ වතුර එක්කර මද ගින්නේ තැම්බෙන්නට තබන්න.
- දැන් මිරිස් ගලක් හෝ වංගෙඩියක සුදුළූණු, අමු මිරිස්, ලියාගත් කරපිංචා, කුරුඳු සහ ළූණු දමා කොටන්න. එයට ගා ගත් පොල් ටික ද එකතු කර කොටා ගන්න.
- එයට ගම්මිරිස් කුඩු එක්කර අතින් හොඳින් අනාගන්න.
- ලිප තබා ගත් දෙල් තැම්බී වතුර සිදීගෙන එනවිට සාදා ගත් පොල් මැල්ලුම දමා කූරු ගා ගන්න.
- ටික වේලාවක් ලිපේ තබා ඉවතට ගෙන දෙහි යුෂ එක්කර කළවම් කරගන්න.
4. දෙල් මුංඇට කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපා ගත් දෙල් 250g
- පොඟවාගත් මුං ඇට 150g
- කුඩාවට කපා ගත් ළූණු 50g
- අමු මිරිස් කරල් 2
- තුනපහ කුඩු මේස හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1 /2
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- උම්බලකඩ මේස හැඳි 1
- රම්පේ
- කරපිංචා ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- දියකිරි අඬු කෝප්ප 3
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- තෙල් මේස හැඳි 2
- වේළිච්ච මිරිස් කරල් 2 (දෙක තුනට කපා ගත්)
- ලුණු
- දෙහි යුෂ තේ හැඳි 1
- පළමුව කපා ගත් දෙල් ටික කහ සහ ලුණු මිශ්‍ර වතුර දමා සෝදන්න. බඳුනක් ගෙන එයට පොඟවා ගත් මුංඇට, කපා ගත් දෙල්, ලියාගත් අමු මිරිස්, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, උම්බලකඩ, රම්පේ, කරපිංචා, කුරුඳු, දමා දියකිරි දමා ලිප තබා අඩු ගින්දරේ තබන්න.
- මුංඇට තැම්බී වතුර හිඳෙන විට මිටිකිරි දමා හොඳින් කළවම් කර පිසගන්න. රස අනුව ලුණු දමාගන්න.
- බඳුනක් ගෙන ලිප තබා එයට තෙල් දමා රත් වූ විට කපා ගත් ළූණු, වියළි මිරිස් කැබලි, කරපිංචා දමා තෙම්පරාදු කර එයට සාදාගත් කරිය දමා තෙම්පරාදු කරගන්න.
- අවසානයේ දෙහි ඇඹුල් එක් කරගන්න.
5. සීනි දැමූ දෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් පැසුණු දෙල් ගෙඩි 1
- සීනි 250g
- වතුර අඬු කොප්ප 1/4
- බැදීමට තෙල් අවශ්‍ය පමණ
- දෙල් ගෙඩිය පොතු හැර සෝදා ගිනිකූරු හැඩයට කපා ගන්න. එය කහ, ලුණු මිශ්‍ර වතුරේ සෝදා අව්වේ වේලා ගන්න.
- තාච්චියක් ලිපේ තබා එයට තෙල් දමා රත් වු පසු දෙල් දමා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න. ඉන්පසුව එය තෙල් බේරෙන්නට තබන්න.
- දැන් සීනි සහ වතුර බඳුනකට දමා උණුකරගන්න. එය පත්පැණි පදමට උණු වූ පසු පැණි බුබුළු දමා එන විට බැදගත් දෙල් දමා කූරකින් කලවම් කරන්න.
- ලිපෙන් බා දෙල් ඒ අත මේ අත පෙරලන විට එහි සීනි මිදී සුදු පාට වේ.
- සුළං නොවදින ලෙස අසුරා කල්තබා ආහාරයට ගතහැකියි.
6. දෙල් අටුකොස් කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙල් අටුකොස් 250g (දෙල් තම්බා අව්වේ වේලාගන්න)
- ලියාගත් ළූණු ගෙඩියක්
- තුනපහ කුඩු මේස හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- වියළි මිරිස් කරල් 3 (දෙකට තුනට කඩා ගත්)
- තලාගත් සුදුළූණු බික් 2
- අමු මිරිස් කරල් 2
- රම්පේ
- කරපිංචා ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- අබ ඇට ස්වල්පයක්
- දියකිරි අඬුකෝප්ප 2
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- උම්බලකඩ මේස හැඳි 1
- ලුණු අවශ්‍ය පමණ
- තෙල් මේස හැඳි 2
- බඳුනක් ගෙන එයට දියකිරි සහ මිටිකිරි දමා, තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, රම්පේ, කරපිංචා, කුරුඳු, සුදුළූණු, උම්බලකඩ දමා හොඳින් කළවම් කර එයට දෙල් අටුකොස් ටික ද දමා ලිප තබන්න.
- දෙල් අටුකොස් තැම්බෙන තුරු පිසගන්න.
- දැන් වෙනම බඳුනක් ගෙන ලිප තබා එයට තෙල් දමා රත්වන්නට හැර ලියාගත් ළූණු, අමු මිරිස් සහ වියළි මිරිස් කැබලි දමා බැදගන්න.
- ඉන්පසු බැදගත් මිශ්‍රණය ගෙන කිරි දමා පිසගත් දෙල් අටුකොස් ව්‍යංජනයට එකතු කර, උතුරන තෙක් හැඳි ගා මද ගින්නේ හිඳෙනතුරු පිසගන්න.
7. දෙල් ලඩ්ඩු
අවශ්‍ය ද්‍රව්‍ය
- බැද ගත් දෙල් පෙති 250g (දෙල් පෙති කපා කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා බැදගන්න)
- බැද ගත් හාල් පිටි 100g
- සීනි 200g
- වතුර කෝප්ප 1/4
- බැද ගත් දෙල් පෙති වංගෙඩියක දමා තරමක් කොටාගන්න. දැන් භාජනයක් ගෙන එයට සීනි සහ වතුර දමා ලිප තබා උණුකරන්න.
- සීනි දියවී උණුවන විටම ලිප නිවා හාල් පිටි සහ කොටාගත් දෙල් දමා කලවම් කර මිශ්‍රණය සාදා ගන්න.
- නිවෙන්නට පෙර කුඩා ප්‍රමාණයේ බෝල සාදාගන්න.
Leave a Reply