ඔලිම්පික් උළෙල වර්ණවත් කළ මිනිස්සු

 

ඔලිම්පික් උණුසුමත් එක්ක අපි හිතුවා ටිකක් වෙනස් විදිහේ ආටිකල් එකක් ඔබ වෙතට ගෙන එන්න. අපි මේ තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔලිම්පික් උළෙලේ වාර්තා පිට වාර්තා තියපු පුද්ගලයෝ ගැන නෙමෙයි (ඇතැම් වෙලාවට වාර්තා තියපු අය ඉන්නත් පුළුවන්). ඇතැම් වෙලාවට මේ අය තරගය ජයග්‍රහණය කරලත් නැහැ. නමුත් මේ අය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පරමාර්ථ සඵල කරගන්න දායක වුණු  සුවිශේෂී පුද්ගලයෝ.

 

1. එරික් මොසම්බානි (Eric Moussambani)

සමක ගිනියාව කියන රට ගැන ඔබ අහල තියෙනවද? බොහෝවිට ඔබේ උත්තරය නෑ කියන එක වෙයි කියලා අපි හිතනවා. ඔබ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල් මේ දිළිඳු අප්‍රිකානු රට ගැන දන්නේ නෑ. 2000 වසරේ ඔලිම්පික් උළෙලේදී පිහිනුම් තරඟ සඳහා පැමිණි එරික් මොසම්බානි නම් තරගකරු සමක ගිනියාවේ නම ලෝකය පුරා ගෙන ගියා. හැබැයි ඒ ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් තරගයක් නිමකරන්නට වැඩිම කාලයක් ගත කළ  පුද්ගලයා වෙමින්. නමුත් මුළු ලෝකයටම ඔහු පරාජිතයෙක් වුණේ නැහැ. ඊට හේතුව වූයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග සඳහා භාවිතා කරන පිහිනුම් තටාකය වැනි තටාකයක් මොසම්බානි දැක තිබුණේ පළමු වරට වීමයි.

 

2. හූබර්ට් වැන් ඉනිස් (Hubert Van Innis)

දුන්නෙන් විදීම ක්‍රීඩාවේ අනාගත ප්‍රවීණයෙකු වන බවට බෙල්ජියම් ජාතික හූබර්ට් ඉඟි පළ කළේ සිය කුඩා කාලයේ සිටයි. 1900 වසරේ පැරීසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ඔහු එම ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් දිනා ගත්තා. ඒ වන විට ඔහුට වයස අවුරුදු තිස් හතරක්. යළිත් වතාවක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ඔහුව දකින්නට ලැබුණේ වසර විස්සකින් පසුවයි. ඒ 1920 ඔහුගේ මව්බිමේ පැවති ඔලිම්පික් උළෙලේදියි. එහිදී පනස් හතර හැවිරිදි ඔහු කේවල ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමටත් සමත් වුණා. ඊට අමතරව කේවල සහ කණ්ඩායම් ඉසව් සඳහා රිදී පදක්කම් එක බැගින් ඔහු දිනාගත්තා.

 

3. ඩොරන්ඩෝ පෙයිට්‍රී (Dorando Pietri)

1908 ලන්ඩනයේ පැවති ඔලිම්පික් උළෙලේදී මැරතන් ක්‍රීඩා ඉසව්වට තරග කළ මේ ඉතාලියානුවා සිය ප්‍රතිවාදීන්ට ප්‍රථමයෙන් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට සමත් වුණා. ඒ වන විට වනවිට ලන්ඩනයේ පැවතියේ අතිශයින් උෂ්ණාධික කාලගුණයක්. ඒ වන විට  තෙහෙට්ටුවට පත්ව සිටි ඔහු වැරදි ධාවන පථයකට ඇතුළු වූ අතර ඔහුගේ තත්ත්වය වටහා ගෙන සිටි තරඟ විනිසුරුවන් නිවැරැදි ධාවන පථයට ඔහු ඇතුළත් කරනු ලැබුවා. වතාවන් පහකදී ඇද වැටුණු ඔහු විනිසුරුවන්ගේ ආධාරයෙන් තරඟාවලිය නිම කළා. ඒ වන විටත් කිසිදු තරගකාරයෙක් ක්‍රීඩාංගනයට පිවිස තිබුණේ නැහැ. පසුව ඔහුගේ ජයග්‍රහණය අවලංගු කරනු ලැබුවා. නමුත් මේ ඉතාලියානුවාගේ විශිෂ්ටත්වය අගය කරමින් එවකට එංගලන්ත රැජින වූ ඇලෙක්සැන්ඩ්‍රා රැජින පෙයිට්‍රීට රිදී කුසලානයක් පිරිනමනු ලැබුවා.

 

4. එරික් ලිඩෙල් (Eric Liddell)

1924 පැරීසියේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මහා බ්‍රිතාන්‍යය  නියෝජනය කරමින් මීටර් සීය ඉසව්ව සඳහා සහභාගී වන්නට සිටි එරික් ලිඩෙල් එම ඉසව්ව සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එම තීරණය බොහෝදෙනෙක්ව පුදුමයට පත් කළේ ඔහු ජයග්‍රහණය කිරීමට වැඩිම හැකියාවක් තිබූ ඉසව්ව එය වීම නිසයි. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ අදාළ තරඟය ඉරිදා දිනයක පැවැත්වීම බැතිමත් කිතුණුවෙකු ලෙස තමන්ට අනුමත කළ නොහැකි බවයි. ඒ වෙනුවෙට සතියේ දිනෙක පැවැති මීටර් 400 ඉසව්ව සඳහා ඔහු සහභාගී වූ අතර සෑම දෙනාවම යළිත් පුදුමයට පත් කරමින් ඔහු එහි රන් පදක්කම දිනාගනු ලැබුවා (සුප්‍රකට  Chariots of Fire චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ගොඩනැගෙන්නේ මොහු වටායි). 

 

5. මේරී පීටර්ස් (Mary Peters)

1972 මියුනික්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් මේරී පීටර්ස් කාන්තා පංච ප්‍රයාම තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. නමුත් එවකට පැවැති අයර්ලන්ත නිදහස් අරගලයේ  ඇතැම් පාර්ශ්ව වලට අනුව ඇය සිය මව්බිමට ද්‍රෝහී වුණු තැනැත්තියක් බවට පත් වුණා. ඒ මහා බ්‍රිතාන්‍යයට ද ගෞරවයක් වන පරිදි පදක්කමක් දිනා ගැනීම නිසයි. යළිත් මවුබිමට  ගියහොත් ඇයව මරා දමනු ඇතැයි යැයි උපකල්පනය කෙරුණු තත්ත්වයක් පැවතියේ වුවද මේරී පීටර්ස් තම මවුබිමට යෑමට තීරණය කළා. පසු කලෙක ඔස්ට්‍රේලියාවෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රැකියා අවස්ථා ලැබුණද ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඇය උතුරු අයර්ලන්තය තුළම රැඳී සිටියා.

 

6. අබීබී බිකිලා (Abebe Bikila)

ඉතියෝපියාවේ රන් දෙපය යන විරුදාවලිය ලැබූ බිකිලා, ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු කළු අප්‍රිකානු ජාතිකයා බවට පත් වුණා. නමුත් එම වාර්තාව ඔහු තමන් සතු කර ගත්තේ  වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු නොකළ අන්දමකින් වීම තවත් විශේෂත්වයක්. ඒ 1960 රෝමයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වට සහභාගී වූ ඔහු එම ඉසව්ව ජයග්‍රහණය කළේ පාවහන් නොපැළඳ නිරුවත් දෙපාවලිනුයි. ඔහුගේ විශිෂ්ටත්වය මේ සිදුවීමෙන් නතර වන්නේ නැහැ. 1969 කාර් රථ අනතුරකින් පසුව නැවත කිසි දිනෙක ඔහුට ඇවිදීමේ හැකියාව ලැබුණේ නැහැ. නමුත් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ඔහු ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ක්‍රීඩා උළෙල කිහිපයකම දුන්නෙන් විදීම සහ ටේබල් ටෙනිස් යන ඉසව් සඳහා සහභාගී වූවා.

 

7. ලෝරන්ස් ලෙමියික්ස් (Lawrence Lemieux)

1988 දකුණු කොරියාවේ සියෝල් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ඔරු පැදීමේ ඉසව්වට සහභාගී වූ ලෝරන්ස් ලෙමියික්ස් නියෝජනය කරේ කැනඩාවයි. තරගය අතරතුර සිය ප්‍රතිවාදී සිංගප්පූරු ක්‍රීඩයන් අනතුරකට ලක් ව ඇති බව දුටු ඔහු වහාම තරගය ගැන අමතක කොට ඔවුන්ගේ ආධාරය සඳහා ගියා. කෙසේ නමුත් එවැනි ප්‍රමාදයක් සහිතව වුවත්  සමස්ත තරගාවලියේ එකොළොස් වැනි ස්ථානය දිනා ගැනීමට ලෝරන්ස් සමත්වුණා. ඔහුගේ මේ ක්‍රියාව සියළු දෙනා විසින්ම අගය කළ අතර අන්තර්ජාතික ඔලිම්පික් ක්‍රීඩා කමිටුවේ විශේෂ ඇගයීමකට ඔහු පාත්‍ර වුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *