අනූෂා මේරි කොම් සහ අපි

Anusha vs kom

ඒ 2016 සාග් ක්‍රීඩා උළෙලයි.

ප්‍රේක්ෂකාගාරයෙන් ඔල්වරසන් හඬ නැගී රාව ප්‍රතිරාව දෙමින් පවතියි… අතරින් පතර අපහාසාත්මක හූ හඬද ඊට අත්වැල් සපයයි…

ක්‍රීඩිකාවක් බිම ඇද වැටී සිටියි…ඇය සිටින්නේ නැගී සිටීමට උත්සාහ දරමිනි… ඔල්වරසන් හඬ ඈ සඳහා නොවෙයි.

ඇය ඇද වැටී තිබුණේ මොහොතකට පෙරය. ඇද වැටුණු පසුද ප්‍රතිවාදිනිය අතින් ඇයට පහරක් වැදේ.

“මස්ල් මෙමරි”

සටන්කාමී ක්‍රීඩාවලදී එවැනි පහරවල් සාධාරණීයකරණය වන්නේ එනමිනි.

ක්‍රීඩාවේදී වැටීම් සාමාන්‍යය. දරුණු වැටීම් වලින් පසුද නැගී සිටින්නෝ ජයග්‍රාහකයෝය. රිදුණු තැන් පිරිමදිමින් ඇය නැගී සිටීමට උත්සාහ කරයි. ශරීරයේ ආබාධය යටපත් කරමින් හිතේ ශක්තිය ඉදිරියට ආවද ඒ නැගී සිටීමද තාවකාලිකය. ප්‍රතිවාදිනියගේ පහරකින් නැවත ඇය ඇද වැටෙයි.

නැවත ඔල්වරසන් හඬය… අපහාසාත්මක හඬය… නැවත ඇයගේ නැගී සිටීමය.

ඈ ජයග්‍රාහිකාවකි… අපේ එකියකි…

 

අනූෂා කොඩිතුවක්කු… ඒ ඇයයි

Anusha vs kom

Source – soundarkstudios.com

මීට සති කිහිපයකට කලින් අනූෂා කොඩිතුවක්කු කියන්නේ කවුරුන්දැයි විමසුවානම් බොහෝ දෙනෙක් උඩ බිම බලනු නිසැකය. නමුත් මේ ලිපිය ලියන මොහොත වන විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ මුවග මිමිණෙන නාමයක් බවට ඇය පත්වී ඇත. මේ මොහොතේ ඇය ක්‍රිකට් වලටද වඩා ලොකුය. ලාංකීය අපි ‘ඉන්ස්පිරේෂනල් කැරැක්ටර්ස්’ සැරටම උවමනා කරන ජාතියකි. අපිට වැඩිපුර කෙළවෙන්නේත් ඒ නිසාමය…

අනූෂා කොඩිතුවක්කු නැවත දෙපයින් සිටගෙන සිටී. ඇය ඉදිරියේ ඇගේ පරම ප්‍රතිවාදිනිය මේරි කොම්ය. අමිහිරි මතකය, වේදනාවන්ය, බලාපොරොත්තුය, කුසගින්නය.

“පරාජය මා තුළ කුසගින්නක් ඇති කළා. තවත් සටන් කරලා ටයිට්ල් එකක් දිනන්න ඒ පරාජය මාව පෙළඹෙවුවා”

ෂුගර් රේ අතින් තමන්ගේ කුළුඳුල් පරාජය ලබපු තෝමස් ‘හිට්මෑන්’ හර්න්ස් කියන බොක්සිං ශූරයා පරාජයෙන් පස්සේ එහෙම ප්‍රකාශයක් කරනවා. නමුත් තමන්ගේ පළිය ගන්න ඔහුට අවුරුදු 8ක්ම බලාගෙන ඉන්න සිද්ධවෙනව. පළිගැනීමේ සටනෙනුත් ජයග්‍රහණය ඔහුගෙන් උදුරගන්නව.

අනූෂාට අවුරුදු දෙකක් ඇතුළේ තමන්ගේ පරාජයේ කුසගින්න නිවාගන්න අවස්ථාව ලැබිල තියනවා. පළමු තරඟයේදී ඇයට සිදුවූ අවාසනාවන්ත අසාධාරණයේ පළිය ඇය ගනීවී යයි සුවහසක් ක්‍රීඩා ලෝලීන් මග බලා ඉන්න මොහොතක් මේක.

 

දුෂ්ටයා මේරි කොම්ද?

Anusha vs kom

Source – medium.com

මුදල් තියනවානම්, මාකට් එක තියනවානම් වීරයන් බිහිකිරීම ඉතා සුළු දෙයකි. අදටත් සුපිරි ක්‍රීඩා චිත්‍රපටයක් හෝ ටෙලි සීරීස් එකක් නිර්මාණය කළ හැකියැයි අපි උදක්ම විශ්වාස කරන 96 ලෝක කුසලාන ජයග්‍රහණය ගැන අපේ සින්දුවකට වඩා දෙයක් හැදී නැත. ඉන්දියාවේ එහෙම නැත. හැම ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයාටම පාහේ ක්‍රිකට් චිත්‍රපට හැදේ. පාන් සිං තෝමාර්ලා, මිල්කා සිංග්ලා මේරි කොම්ලා ගැනත් චිත්‍රපට හැදේ. මේරි කොම්ගේත් අනූෂාගේත් ක්‍රීඩාවට පැමිණීම දක්වා වූ ගමන් මගේ මහ ලොකු වෙනස්කම් තිබෙන්නට බැරිය. මේරි කොම් සමහර විට අනූෂාටත් වඩා දුෂ්කර ගමන් මගක් ගෙවාගෙන ආ තැනැත්තියක් වන්නට පුළුවන. ඇගේ ක්‍රීඩා විලාශය ගැන අපිට යම්කිසි අවුලක් තිබුණද ඇය දක්ෂ තැනැත්තියක් වගද අපිට නොපිළිගෙන බැරිය. සටන්කාමී ක්‍රීඩා වල නහරකාරයින් හෝ නීතී කඩන්නන් බහුලය.

Anusha vs kom

Source – studybreak.com

සුප්‍රකට ජූඩෝ/MMA ක්‍රීඩිකා රොන්ඩා රවුසි එවැනි තැනැත්තියකි. අවසානයේදී ඇගේ නාහෙට නහන නහර කාරී ගතිය ඇයව ඉහළ තැනකටම ගෙන යන්නටත්, ක්‍රීඩාවේ උස්ම මුදුනෙන් බිමට හෙලන්නටත් සමත්විය. දැන් ඇය වින්ස් මැක්මෑන්ගේ WWE තිරපිටපතට අනුව රඟන නිළියකි. මයික් ටයිසන්ලා මොහොමඩ් අලීලාද නාහෙට අහන්නැති මිනිස්සුය. ඒ වගේම ශ්‍රේෂ්ටයෝය.

 

පැරදුනත් දිනුම්

Anusha vs kom

Source – soundarkstudios.com

2007 ක්‍රිකට් ලෝක කුසලාන මහා ගැටුම දා ලංකාවේ එක්තරා රූපවාහිනී චැනලයක හෝරා ගණනාවක් පුරා විවිධ කලාකරුවන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් එක්රැස් කරගෙන මේ ෆයිනල් පැමිණීමේ මහා ජයග්‍රහණය ගැන පාරම් බාන්නට පටන් ගෙන තිබුණි. එහිදී පැමිණි විදග්ධ කලාකාමී බහුතරයකගේ මතය වී තිබුණේ මේ වන විටද (මේ යුද්ධයකුත් යන අස්සෙ) අප කණ්ඩායම ජයග්‍රහණය කර අවසන් බවය. අවසානයේදී කුසලානයෙන් අපිට හිමිවූයේ පරාජයය. පරාජයේ දුක්මුසු සිතුවිලි අතරින් නිදි වර්ජිත රාත්‍රීන් ගතකරන අපි ඊළඟට ප්ලෑන් කරන්නේ අනුශූරයන් වී ගුවන් තොටුපළින් බසින් අපේ කොල්ලොන්ව මල් මාලා දා කැන්දාගෙන එන ආකාරය ගැනය. ඒ ලංකාවේ අපේ හැටිය. අපේ උන් බහුතරයක් බොක්ක හොඳ *ටීක්*යෝ ය.

Anusha vs kom

Source – soundarkstudios.com

අනූෂා මේ වනවිටත් ජයග්‍රාහිකාවක් වී අවසානය. ඇය ලෝකඩ පදක්කම් ලාභිනියකි. එහෙත් ඇයට තව යාමට ඉදිරියක් ඇත. අසීරුම පියවර දෙක ඔසවන්නට ඇයට හැකියැයි විශ්වාස කරන්නැයි මේරි කොම් හා පළමු තරඟයේ දර්ශන අපිට බල කරයි.

ඇය ජයග්‍රාහිකාවකි… සියල්ලටම වඩා අපේ එකියකි.

අපි ඉන්ස්පිරේෂන් හොයන ජාතියකි. අඩුම තරමේ හොයනවායැයි පෙන්නන්නට කැමති පිරිසකි. බොක්ක හොඳ *ටීක්* ලා සෙට් එකකි.

 
Cover Image Source – ibtimes.co.in / indiatoday.in / medium.com / soundarkstudios.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *