ඒ කා​ලේ ක්‍රිකට් ගහලා ගත්ත මේ ආතල් තාම මතකද?

ක්‍රිකට් ක්‍රීඩාව කම්පියුටර් ගේම්ස්වලට කොටු වෙන්න කලින් ඉතින් වත්තෙ පිටියේ කොල්ලො කෙල්ලෝ භේදයක් නැතිව ක්‍රීඩා කරපු සෙල්ලමක් නොවැ. හැබැයි මේ ආතල් එක හොඳටම ගත්තේ මීට දශක දෙකකටවත් එහා පැත්තෙ හිටපු උදවිය තමයි. ඒ කාලේ සැරටම ක්‍රිකට් ගහපු කෙනෙක්නම් මේ මතක ඔයාලටත් ඇති.

 

1. මැච් එක ගහන පිච් එක

​ඒ කාලේ අපිට ග්‍රවුන්ඩ්ස් ගොඩක් තිබ්බා. යාළුවන්ගේ සහ අහල පහ​ල වතුවල ඉඩ කඩ තියන තැන්, දෙවට පාරවල්, වෙල්, ඉස්කෝල පිට්ටනි වගේ තැන් ගොඩක් අතරින් තමයි එදා දවසේ මැච් එක ගහන ප්ලේස් එක තෝරගන්න තිබ්බේ. මේ එක එක ග්‍රවුන්ඩ්ස්වලට නීති රීති වෙනස් ඉතින්. මැච් ගහද්දි බෝලෙ යනවාට ගේම අදින ගෙවල් ව​ල වතු අවුට් තියනවා. ෆිට් එකේ සප් එක දෙන ගෙදරක වත්තකට ඕනෙනෙම් ෆීල්ඩර් කෙනෙකුත් දානවා. පාරවල් වල සෙල්ලම් කරද්දිනම් ගොඩක් වෙලාවට දෙපැත්ත හෝ එක පැත්තක් අවුට්. කෙලින් තමයි ගොඩක් ෂොට් සෙල්ලම් කරන්න තිබ්බේ. හැබැයි මේ ඕන පිච් එකකට ගා​ණට ඇජස්ට් වෙලා ගේම ගොඩ දාන්න අපිට පුළුවන් වුණා.

 

2. නීති රීති තදයි!

අපි කලිනුත් කිව්වානෙ එක නීතියක් ගැන. ඒ තමයි අවුල් වතු අවුට් තියන එක. ඒකෙනුත් එහාට ගියලු තව සීන් එකක් තිබ්බා. ඒ තමයි අවුල් වත්තකට ගැහුවොත් බැට්ස්මන් අවුට් වගේම පොර ගිහින් ඒ බෝලෙ අරගෙන එන්නත් ඕනෙ. ඊට අමතරව ගත්තොත්, ගස් කැච් අවුට්ද නැද්ද කියන එකටත් වෙනම නීති තිබ්බා. ගහේ කඳේ වැදිලා එන කැච් අවුට්, ගස්වල අතු කොළ දිගේ බේරිලා එන කැච් අවුට් නෑ වගේ ඒවා. ඊට අමතරව බිත්ති වල උඩින් ගිහින් වැදිලා එන කැච් අවුට්ද නැද්ද? වහල කැච්, ඒ කිවුවේ වහලෙට වැටිල පීලි දිගේ බේරිලා එන කැච් අවුට්ද නැද්ද කියන ඒවත් කලින්ම කතා වෙලා තීරණය කරනවා. ලාස්ට් මෑන්ට තනියම බැට් කරන්න චාන්ස් තියනවද කියලත් බලනව. මේ ඔක්කොම නීති රීති තීරණය කරලා එකඟතාවයකට ඇවිල්ලා තමයි තරඟය පටන් ගන්නේ.

 

3. තරඟයට සූදානම් වීම

දවසේ මැච් ගැහිල්ල පටන් ගන්න කලින් පිටියේ සිදු කරන සකස් කිරීම් තමයි ඊළඟට කරන්නේ. ක්‍රීඩා කරන පිච් කෑල්ල අතුගාලා, දුහුවිලි ව​ගේ නම් වතුර ටිකක් ඉහලා, ඉරි ඇඳලා තමයි ගේම පටන් ගන්නේ. ඊට අමතරව බවුන්ඩ්‍රි ලයින්, එහෙමත් නැත්නම් හතරේ හයේ සීමාවන් ගල්කැට ව​ගේ දේවල් තියලා ලකුණු කරගන්න එක සිදු කරනවා. ටිකක් කට්ටිය වැඩිනම් පිරිස කණ්ඩායම් දෙකකට බෙදෙන්න තීරණය කරනවා. අඩු පිරිසක් නම් ඉන්නේ ඉරි අල්ලනවා. මේ ඉරි ඇල්ලීම කළේ ක්‍රම කීපයකට. එක ජනප්‍රිය ක්‍රමයක් තමයි එකේ ඉඳන් අංක පිළිවෙලින් ලියලා සහ ඒවා ඉදිරියෙන් ඉරි ඇඳලා, අංක බැට් එකකින් ආවරණය කරගැනීම. අනිත් ක්‍රමය තමයි ඇල්බීසියා වගේ ගස්වල කොළ ඉති වලින් ඉරි ඇල්ලීම. මේ ක්‍රම දෙකෙන්ම තමන්ට ලැබෙන අංකයට අනුව තමයි පන්දුවට පහර දෙන පිළිවෙල තීරණය වෙන්නේ. මීට අමතරව වයසේ පිළිවෙලට පන්දුවට පහර දෙන අනුපිළිවෙල තීරණය කරපු අවස්ථාත් තිබ්බා.

 

4. කණ්ඩායම් නම් කිරී​ම

දෙපැත්ත බෙදෙනවනම් කණ්ඩායම් නම් කරන එකත් එක එක විදිහට සිද්ධ වෙන්නේ. සමහරු ගාණට කතා කරගෙන සමබර විදිහට කණ්ඩායම් දෙක බෙදනවා. තවත් සමහරු කරන්නේ දෙපැත්තේ නායකයො දෙන්නා මාරුවෙන් මාරුවට තමන් කැමති ක්‍රීඩකයව ඉල්ලලා තමන්ගේ කණ්ඩායමට එකතු කරගන්න එක. මේ ක්‍රමේ ටිකක් අවාසි සහගතයි, මොකද හොඳම ක්‍රීඩකයින්ව තමයි මුලින්ම ඉල්ලන්නෙ. ​මොකුත්ම බැරි උදවිය අන්තිමට ඉතිරි වෙනවා. හරියට බෙදෙන්නෙ නැති අවස්ථාවල කවුරුහරි දුර්වල ක්‍රීඩකයෙක්ව නිකන් එක පැත්තකට දෙනවා. එහෙම නැත්නම් කාට හරි දෙපාරක් බැට් කරන්න දෙනවා.

 

5. බැට් බෝල

ඒ කාලේ සමහරුන්ට ගෙදර තාත්තා, සීයා විසින් හදල දීපු බැට් තිබ්බා. නමුත් ඉතින් කුකබුරා, ස්ලැසෙන්ජර්, පූමා වගේ බ්‍රෑන්ඩ් ගහපු ටෙනිස් බැට් එකක් ගන්න තමයි කවුරුත් ආශා කළේ. හැබැයි ඉතින් හැමෝටම අලුත් බැට් එකක් ගන්න සල්ලි නැහැ. ගොඩක් වෙලාවට හැමෝ​ටම ගහන්න තිබ්බේ එක බැට් එකක් හෝ දෙක තුනක් තමයි. ඒ වගේම තමයි බෝලත්. බෝල ගන්නේ ගොඩක් වෙලාවට කට්ටිය එකතු වෙලා සල්ලි දාලා. ඒ කාලෙ ජනප්‍රියම බෝල වර්ගය තමයි ඒරොප්ලේන් ටෙනිස් බෝලය. හැබැයි මේ ​බෝලේ එච්චර වේගවත් නැහැ සහ ඉක්මනට පැළෙනවා. මේ නිසා වේගය වැඩි කරගන්නත්, පැලෙන එක වළක්වන්නත් අපි තරඟයකට කලින් බෝලයේ බූල් ඇලෙන විදිහට පුච්චන එක හරි බෝලය තම්බන එක හරි සිද්​ද කළා. සල්ලි බාගෙ නැති නිසා ඒරොප්ලේන් බෝල වලින් සෙල්ලම් කළාට ​මොකද කාගෙත් ආසාව තිබ්බේ ‘කෝට් බෝල’ නමින් හඳුන්වපු ඉහළ කොලිටියේ ඩන්ලොප් බෝල වලට. හැබැයි ඉතින් මේ බෝල නම් අස්ප ගණන්.

 

6. ඔට්ටුවට මැච් ගැහීම

ඒ කා​ලේ ඕනෑම ගමක ක්‍රිකට් සෙල්ලම් කරන වෙනම සෙට් කීපයක් හිටියා. වෙලේ සෙට් එක, කනත්ත උඩ​හ සෙට් එක, කඩේ ඉස්සරහ පාරේ සෙට් එක වගේ පිරිස්. ඉතින් යාළුවො යාළුවොම ක්‍රිකට් ගහලා ඇති වුණාම අනිත් ටීම්ස් එක්කත් මැච් දාගන්නවා. එක්කො ඒ අය සෙල්ලම් කරන තැන, එහෙමත් නැත්නම් අපි සෙල්ලම් කරන තැන මේ මැච් එකට යොදාගන්නවා. සල්ලි ඔට්ටුවට හරි ටෙනිස් බෝල ඔට්ටුවට හරි තමයි මේ සෙල්ලම සිද්ධ කළේ. හැබැයි ඉතින් මේ මැච් වල හරියට හොර වැඩ වෙනවා, වලි එහෙමත් වැටෙනවා.

 

7. ලෙදර් මැච්

ටෙනිස් බෝල වලින්, රබර් බෝල වලින් මැච් ගහන අපිට ටීවී එකේ මැච් එකක් දෙකක් බැලුවාම එන ලොකුම ආසාවක් තමයි කවදා හරි ලොකු ලෙදර් බෝලෙකිනුත් මැච් එකක් ගහන එක. ගල් ගෙඩිය වගේ තියන ලෙදර් බෝලෙ ගැන ඒ කාලෙ කොල්ලො කුරුට්ටො එක එක සිහින කතා ගොතන් හිටියා. ලෙදර් බෝලේ බර, දවසක් අයියලා එක්ක මැච් එකක් ගහද්දි ලෙදර් බෝලයක් කකුලේ වැදිලා දවස් ගාණක් කකුල ඉදිමුණු එක වගේ කතන්දර. අන්තිමේදි කට්ටියම සති ගණන් කට්ට කාලා සල්ලි එකතු කරලා බේබි ලෙදර් බෝලයක් හරි ගන්නවා. කාඩ්බෝඩ් වලින් පෑඩ් හදලා, වත්තෙ පිටියෙ වැඩ කරන්න පාවිච්චි කරන රබර් ග්ලවුස් දෙකක් එහෙම දාලා තමයි එදාට පිටියට බහින්නෙ. හැබැයි ඉතින් ලෙදර් බොලේට අර ටෙනිස් බැට් පතෙන් නෙලද්දි දත් හකු පූට්ටු වෙනවා දෙදරිල්ලට..

 

ඔයාත් ඒ කාලේ ගමේ වෙලේ, වත්තේ පිටියේ මැච් ගහපු කෙනෙක්නම්, ඒ සම්බන්​ධ ඔයාගෙ සුන්දර මතක ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *