ලංකාවෙ මේ වෙද්දි හොඳ ටෙලි නාට්‍ය කිහිපයක් හැදීගෙන ආවත් තාමත් අපිට ටෙලිනාට්‍ය කලාව ඇතුළෙ අවුල් නොපෙනෙන ටෙලි නාට්‍ය අතේ ඇඟිලි ගාණටත් අඩුයි. ඒ නිසා අපි මේ කියන්න යන්නෙ ලංකාවෙ ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන සාමාන්‍ය ජීවිතෙන් දුර කතා කීපයක්. මේවා කොයිතරම් ජීවිතෙන් දුරයිද කියන එක මේ සටහන කියෙවුවට පස්සෙ ඔයාලට වැටහේවි. ඒ වගේම අපි මෙතන නොකියන ලොකුම පොයින්ට් එක තමයි ලංකාවෙ ටෙලි නාට්‍යවල දෙබස් සාමාන්‍ය ජීවිතෙන් කොච්චර දුරස්ද කියන එක. කවදාවත් යාළුවො, ආදරවන්තයෝ, ළමයි සහ දෙමවුපියො අතරෙ නොයන විදියෙ දෙබස් ටෙලිනාට්‍ය ඇතුළෙන් ඇහෙන විත්තිය විමසිල්ලෙන් ටෙලි නාට්‍ය බැලුවොත් ඔයාලටත් තේරේවි.
1. බෝඩිමේ සැළකිලි
![](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2019/05/Abnormal-SL-Teles-1.jpg?resize=800%2C500)
Image Source – dailymotion.com
ඔන්න වැඩ. බෝඩිංවල ඉඳපු මිනිස්සු දන්නව ඒවයෙ සළකපු විදි. වෙලාවට සල්ලි දුන්නෙ නැතත් ගණන් නොගන්න, ඒ ඒ ළමයින්ගෙ ජයග්‍රහණවලදි පාටි දෙන, ඒවයෙන් ගිය මිනිස්සු ගැන දුක් වෙන, බෝඩිංවල ඉන්න ළමයි පාඩං කරනවද? වෙලාවට කනව බොනවද? හවස තේක බිවුවෙ නැද්ද? බත් ඔක්කොම කෑවෙ නැද්ද? අඬන්නෙ ඇයි? කවුද ඒ ළමයින්ට කරදර කරන්නෙ? ඒ ළමයින්ට නිදහසේ පාඩං කරන්න නැද්ද? තේ බිවුවොත් බත් කන්නෙ නැති වෙයිද? බිස්කට් කෑවොත් මහත්වෙයිද? රෑට පාඩං කරද්දි කෝපි හදලා තියන්නද? වගේ හිතන මතන බෝඩිං තවුතිසාවෙවත් නෑ ආයුබොවංඩ. එහෙම වෙන්නනං රුපියල් පනස්දාහක් විතර ගන්න වෙනව කුළිය විතරක්.
2. මුදල් නොගැලපිලි – 1
ටෙලිවල තියෙන අනිත් ලොකුම අවුල තමයි මේ ලක්ෂරි කාර් තියාගෙන, ලොකු ගෙවල්, හෝටල්, යාලු මිත්‍රයො තියාගෙන ඉන්න උන් එක පාරටම දුප්පත් වෙන හැටි. කවුරුත් හිතන්නෙ නැති විදියට තමයි එවුව වෙන්නෙ. ඔන්න අතීතෙ වැරැද්දක් පෙන්නලා ඒක නිසා ඩිං ගාලා මෙයාලගෙ බිස්නස් එක නැති වෙනවා. හැබැයි පුතෝ ගෙවල් එහෙම්මමයි. එහෙම වුනා කියල එයාලා පාරට නොවැටි තියෙනවද? නැහැනෙ… නැහැනෙ… යකෝ කෝටි ගාණක ගෙවල් තියෙන වාහන තියෙන උන් පාරට වැටෙන්නෙ කොහොමද කියල නිකමටවත් හිතන්න එපැයි. අනික පාරට වැටුනා කියල අඳින ඇඳුම් ටිකේ, දාන කෝට්වල අගය අඩු වෙලත් නෑ. අන්න එහෙම හිතාගන්න බැරි විදියෙ අසමාන්‍ය ලක්ෂණ ඒ තුළ අඩංගුයි.
3. මුදල් නොගැලපිලි – 2
![](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2019/05/Abnormal-SL-Teles-3.jpg?resize=800%2C500)
Image Source – videoblocks..com
අනික මේ සල්ලි කාරයො කියන කතා නිසා සමහර දේවල් හරිම අසාමාන්‍ය විදියකට දැනෙනව. එයාලා ලක්ෂ විස්සක් තිහක් නැති වුනත් නතිං වගේ ඉන්නෙ. හැබැයි එයාලගෙ ප්‍රධාන බිස්නස් එකෙන් එන ආදායම ලක්ෂ තුනක් විතර කියලයි කියන්නෙ. ගැලපෙන්නෙ නැහැනෙ සර්. කෝටි හතළිහක් කරන්න බෑ කියල කෝටි තිහක බිස්නස් එක අතාරිනව. හවසට ලක්ෂ 3ක් උපයපු විදිය ගැන හරිම ආඩම්බරෙන් කතා වෙනවා. අපිටම හිතාගන්න බෑ මුං සමාන්තර ලෝක දෙකක ඉන්නවද? එහෙමත් නැත්තං සිම්බාබ්වේයි, ඇමරිකාවෙයි මාරුවෙන් මාරුවට කතාව ෂූට් කරනවද කියල.
4. පරණ කෝට්
![](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2019/05/Abnormal-SL-Teles-4.jpg?resize=800%2C500)
Image Source – rideofmaui.com
මේවත් කතාවල හිතන්න අමාරු කෑලි. සමහර සල්ලි කාරයො ඉන්නව නිකං ගමන යන්නෙත් කෝට් දාලා. කොටිම්ම බිස්නස් ඩීල්වලට පාතාල කාරයෙක් හම්බෙන්න යන්නෙත් කෝට් දාලා. තමුන්ගෙ අම්මව බලන්න යන්නෙත් කෝටා දාලා. මෙන්න මේ කොස්ටියුම් අවුල ලොකුවටම තියෙනව. උදේ නැගිටලා ඇඳගෙන ගෙදරින් එළියට බැහැපු ඇඳුම නෙමෙයි කෙල්ල ගාවට ගිහින් කාර් එකෙන් බහිද්දි ඇඳගෙන ඉන්නෙ. ඉතිං මෙන්න මේ විදියෙ කන්ටිනියුටි අවුල් වගේම කොස්ටියුම් නොගැලපීම් බොහෝමයක් මේ ටෙලිනාට්‍ය ඇතුළෙ දකින්න පුළුවන්.
5. අමුතු ප්ලාස්ටික් සර්ජරි
දෙයියෝ බුදුවෙන්න ප්ලාස්ටික් සර්ජරිනං ඉතිං ලංකාවෙ ටෙලි තමයි. ලංකාවෙ ටෙලිවල ප්ලාස්ටික් සර්ජරි කරන අවස්ථා කිහිපයක් තියෙනව. ඒකෙන් ප්‍රසිද්ධම කිහිපයක් තමයි ප්‍රධාන චරිතෙ නළුව ඩිරෙක්ටරුයි ලියන මනුස්සයි එක්ක රණ්ඩු වුනාම, එක්කො ඌ මරණව, නැත්තං ඇක්සිඩන්ට් එකකින් මූණ පුච්චලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරවනවා. එහෙමත් නැත්තං ප්‍රධාන චරිතෙ හිරෙන් පැන්නම මූණ වෙනස් කරනව. මෙන්න මේකෙදි ඇත්තටම ප්ලාස්ටික් සර්ජරි කරා දැන් එයා වෙනස් මිනිහෙක් කියල පෙන්නුවට ඒ මූණෙ කලින් එකෙන් කිසිම වෙනසක් පෙන්නන්නෙ නෑ. හිටපු මුස්පේන්තුවම තමයි. වෙනසකට තියෙන්නෙ තොප්පියක් දාලා, කණ්නාඩි දෙකක් දාලා, අඳින විදිය වෙනස් කරලා, උපන් ලපයක් මකලා, එනව. හරිම විදියටනං ප්ලාස්ටික් සර්ජරියක් කරාට පස්සෙ දැනෙන වෙනසක් කරන්න හෝ ඒකට වියදම වැඩිනං වෙන නළුවෙක් ගන්නවත් එපැයි. හැබැයි අපේ බුවාලා වියදං කරන්නෙත් නෑ, හිටපු නළුවගෙ බඩගෝස්තරේට ගහන්නෙත් නෑ. බලන උන් කොහොමත් බලන විත්තිය දන්නවනෙ.
6. සීනි වීදුරු
![](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2019/05/Abnormal-SL-Teles-6.jpg?resize=800%2C500)
Image Source – rideofmaui.com
ටෙලි නාට්ටි බැලුවම මුලින්ම හිතෙන දෙයක් තමයි මුංට සීනි අමාරුව නැද්ද කියන එක. අපිට එහෙම හිතෙන්නෙ ඇයි? ඇයි යකෝ කොයි වෙලේ බැලුවත් දොඩං පෙත්ත ගහපු බීම එකක් අතේ. අඩුම තරමෙ බොන බීම එකේ පාටවත් වෙනස් වෙන්නෙ නෑ. මුං හැමදාම බොන්නෙ එකම බීම එකද දන්නෙත් නෑ. එක අතකට සීනි නොහැදෙන එක එහෙම වෙන්නත් පුළුවන්. ඇයි ඉතිං මේ බුවාලා කාවදාවත් ඒවා සම්පූර්ණයෙන්ම බොන්නෙත් නැහැනෙ. කොටිම්ම මේ වෙනකං ටෙලියක බීම වීදුරු ඉවර වෙලා නෑ.
7. ඔත්තුකාරයෝ
![](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2019/05/Abnormal-SL-Teles-7.jpg?resize=800%2C500)
Image Source – rideofmaui.com
මේ ටෙලිනාට්‍යවල ඔත්තුකාරයො ඉන්නව. එයාලව බොහෝ වෙලාවට දාන්නෙ කෙල්ල හෝ කොල්ලගෙ ඔත්තු හොයන්න. එහෙමත් නැත්තං චණ්ඩින්ගෙ කන්ට්‍රැක්ට්වලට. ඔය මොකට වුනත් ඔත්තු බලන්න ගන්නෙ සුළු චරිතයක්. ඉතිං රඟපෑම් ගොඩක් වෙලාවට අවුල්. මේවයෙදි රංගනයට විතරක් බනින්නත් බෑ. එකම වාහනයක් පිටිපස්සෙ රේස් කරගෙන එන අනිත් වාහන, ලයිට් කණුවලට හේත්තු වෙලා ඔත්තු බලන උන්, මහ පාරවල්වල මීටර් දහයක් පිටිපස්සෙන් ඇවිදගෙන යන ගමන් ඔත්තු බලන උන් වගේ ඔත්තු බලන අය කෝටියයි. මේවා ඇත්ත ජීවිතේ කිසිම විදියකින් වෙයි කියල හිතන්න අමාරු ඔත්තු බැලිලි.
Leave a Reply