Mixed Martial Art සටන් තරඟ පවත්වන UFC එක කියන්නේ මේ වෙද්දි ලංකාවේත් ක්‍රීඩා රසිකයෝ අතරේ ජනප්‍රිය නමක්. කොනර් මැග්‍රෙගර්, රොන්ඩා රවුසි වගේ චරිත හරහා තමයි අපි වගේ පුංචි රටවල පවා මේ ක්‍රීඩා ආයතනය ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ. ඉතින් දැනටමත් UFC බලන අයටත්, ඉදිරියේදී බලන්න බලාපොරොත්තු වෙන අයටත් අපි හිතුවා අපිට අනුව UFC සටන් බිමේ හිටපු සහ ඉන්න හොඳම සටන්කරුවෝ කීප දෙනෙක්ව ලැයිස්තුගත කරන්න. මේ ලැයිස්තුවට අහුවෙලා නැති, ඔබ කැමති හොඳම සටන්කරුවා ගැනත් අපිට කමෙන්ටුවකින් කියන්න ඔබට පුළුවන්.
1. හබීබ් නර්මගමෙඩෝ (Khabib Nurmagomedov)
UFC තරඟ බිමේ මේ වෙද්දී ඉන්න අංක එකේ සටන්කරුවා කියලා හබීබ්ව සලකන්න පුළුවන්. රෙස්ලිං පැත්තට බර, තාක්ෂණික වශයෙන් පිරිපුන් මේ සටන්කරුවාගේ සටන් විලාසය සමහරුන්ට නම් ටිකක් විතර කම්මැලි සහගතයි. සටන් 28ක් අපරාජිතව සිටින හබීබ්, සටනක් තියා එක සටන් වටයක්වත් පැරදිලා තියනවද කියන එක ප්‍රශ්නයක්. හබීබ්ගේ සටන් අතරින් ඔහුට යම් තරමක හරි තර්ජනයක් එල්ල කරන්න සමත් වුණේ “ග්ලීසන් ටිබෝ” විතරයි (සමහර හබීබ් විරුද්ධවාදියෝ කියනවා මේ තරඟය හබීබ් පැරදුනා කියලත්) කොහොම වුණත් හබීබ් UFC සටන් බිමේ ජනප්‍රියත්වයෙන් ඉහළටම නගින්නේ කොනර් මැග්රෙගර්ව පරාජය කිරීමත් එක්කයි. මෑතක් වෙනකන්ම UFC එක ඇතුළේ හබීබ්ට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් ප්‍රබලම ක්‍රීඩකයා හැටියට කවුරුත් සැළකුව ටෝනි ෆර්ගියුසන්ට ජස්ටින් ගේචි අතින් නොසිතූ පරාජයක් හිමිවුණා. එනිසා හබීබ් ගේ මීළඟ අභියෝගය කවුරු වෙයිද කියන එක ගැනයි මේ දවස්වල කාගේත් අවධානය යොමු වෙලා තියෙන්නෙ.
2. ජොන් ජෝන්ස් (Jon Jones)
UFC සටන් බිමේ ලයිට් හෙවිවේට් ශූරයා හැටියට වැජඹෙන ජොන් ජෝන්ස් කියන්නේ තමන්වම විනාශය කරා ගෙන ගිය සටන් කරුවෙක්. මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, තහනම් උත්තේජක ගැනීම් සහ නීති විරෝධී හැසිරීම් නිසා කාලෙන් කාලෙට නීතියෙන් දඬුවම් විඳින්නත්, සටන් බිමෙන් ඈත් වෙන්නත් ඔහුට සිදුවුණා. ඒත් ජොන් ජෝන්ස් කියන්නේ MMA ලෝකයෙන් බිහිවෙච්ච අති විශිෂ්ටම සටන්කරුවෙක් කියන එක අවිවාදිතයි. ජොන් ජෝන්සුත් අපරාජිත UFC සටන්කරුවෙක්. ඔහුගේ නම ඉදිරියේ එක පරාජයක් සටහන් වුණත්, ඒක ජොන් ජෝන්ස් විසින් එල්ල කරපු නීති විරෝධී පහරක් නිසා ඔහුට උරුම වුණු පරාජයක්. මෑතකදී ඩොමිනික් රේයස් එක්ක පවත්වපු සටනින් ජොන් ජෝන්ස්ට ජය හිමිවුණත් ඒක දැඩි විවාදයට බඳුන් වුණා. ඒ දෙදෙනා අතර අනිවාර්යයෙන් නැවත සටනක් පැවැත්වෙන්න නියමිතයි.
3. ඩිමීත්රියස් ජොන්සන් (Demetrious Johnson)
මයිටි මවුස් නමින් හඳුන්වන ඩිමීත්රියස් ජොන්සන් මේ වෙද්දී නම් UFC වලින් සමු අරගෙන සිංගප්පූරුවේ ONE Championship යටතේයි තරඟ කරන්නේ. ඔහු ෆ්ලයිවේට් කියන සැහැල්ලු බර පන්තිය යටතේ සටන් කරපු සටන්කරුවෙක්. පිට පිට සෑහෙන කාලයක් ෆ්ලයිවේට් ශූරයා හැටියටත් ඩිමීත්රියස් ජොන්සන් වැජඹුනා. සටන්කරුවෙක් හැටියට ඉතාම පරිපූර්ණ තාක්ෂණයකින් යුක්ත වුණත් ශූරයෙක් හැටියට UFC රේටිංස් ඉහළ නංවන්න, සටන් තරඟවලට සෙනග අද්දවන්න ඔහුට හැකියාවක් තිබුණේ නැති වීම අවාසනාවක්. UFC සටන් බිමෙන් ඔහුගේ සමුගැනීමට ඒකත් එක හේතුවක් වෙන්න ඇති.
4. ඇන්ඩර්සන් සිල්වා (Anderson Silva)
ඇන්ඩර්සන් සිල්වා කියන්නේ මිශ්‍ර මාර්ෂල් ආට්ස් ලෝකයේ මැජික් කාරයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඔහුගේ සටන් වාර්තා දිහා බැලුවම නම් කෙනෙක්ට ඒ හැටි විශේෂත්වයක් නොතේරුණත් පරණ UFC ලෝලීන් නම් හොඳටම දන්නවා ඇන්ඩර්සන් සිල්වා කියන්නේ කවුද කියලා. ඇන්ඩර්සන් සිල්වාට තිබ්බේ අනිත් සටන් කරුවන්ට වඩා වෙනස්වුණ අමුතුම ශෛලියක සටන් විලාශයක්. තමන්ගේ ප්‍රතිවාදියාට ඔච්චම් කරමින්, ප්‍රේක්ෂකයන්ව තමන්ගේ අමුතු ඉරියව් ඔස්සේ පිනවමින් තමයි ඇන්ඩර්සන් සිල්වා සටන් කළේ. UFC තරඟයකදී ඇන්ඩර්සන් ලබපු පළවෙනි පරාජයට හේතුව වුණෙත් මේ ඕනෑවට වඩා වැඩ දැමිල්ලම තමයි. තමන් ලබපු ඒ පළමු පරාජයෙන් පස්සේ ඇන්ඩර්සන් සිල්වාගේ ඇද වැටිල්ල සිද්ධ වුණා කියලයි අපි හිතන්නේ. දැනුත් ඉඳහිට ඇන්ඩර්සන් සිල්වා සටන් බිමට පිවිසුණත්, ඔහුගේ යටගියාවේ තිබුණු තේජස් ගතිය දැන්නම් නැතිම වෙලා ගිහින් කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
5. ජෝර්ජස් සෙන් පියර් (Georges St-Pierre)
UFC සටන් බිමේ ශ්‍රේෂ්ඨතමයා හැටියට වැඩි පිරිසක් මේ වෙද්දි හඳුන්වන්නේ හබීබ් නර්මගොමෙඩෝවයි. නමුත් ඒ හා සමානම තවත් පිරිසකගේ අදහස තමයි ජෝර්ජස් සෙන් පියර් එක්ක සටනක් දැම්මොත් හබීබ්ට ඇපත් නැතිවෙන බව. මේ බව දන්න UFC සභාපති ඩේනා වයිට් මේ දෙන්නා අතර තරඟයක් සෙට් කරන එක මගඅරින බවට නොයෙකුත් කට කතාත් අපිට අහන්න ලැබෙනවා. ජෝර්ජස් සෙන් පියර් මේ වෙද්දි UFC වලින් ඈත් වෙලායි ඉන්නේ. වයසත් අවුරුදු 38ක්. නමුත් 2017දී අන්තිම වතාවට මයිකල් බිස්පින් එක්ක ජෝර්ජස් සටන් කරපු සටන දැක්ක කෙනෙක්ටනම් හිතෙන්නේ ජෝර්ජස් තාමත් ඉන්නේ තමන්ගේ සටන් කලාවේ උච්ච ස්ථානයක කියලයි. තාක්ෂණයෙන් පිරිපුන් සටන් කරුවෙක් වෙන ජෝර්ජස් සෙන් පියර් සහ හබීබ් අතර සටනක් දැම්මොත් ඒක ලෝකේ පුරා ඉන්න MMA ලෝලීන්ට සැණකෙළියක් වෙනවා අනිවාර්යයයි.
6. මැට් හියුස් (Matt Hughes)
UFC නාමය ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත රටවල, විශේෂයෙන් අපි වගේ ආසියාතික රටවල පැතිරෙන්න කලින් හිටපු අති දක්ෂ සටන්කරුවෙක් තමයි මැට් හියුස් කියන්නේ. රෙස්ලිං සබ්මිෂන් වගේම අතින් පයින් සටන් කරන ස්ටෑන්ඩ් අපි ගේම් එකෙනුත් එක වගේ දක්ෂතා දක්වපු මැට් හියුස්ට තිබ්බේ විශ්මයජනක ශක්තියක්. මැට් හියුස් සහ ෆ්රෑන්ක් ට්‍රිග් අතර පැවැත්වුණු, UFC ඉතිහාසයේ හොඳම සටනක් හැටියට සලකන සටන හොඳම උදාහරණයක් මැට් හියුස්ගේ ශක්තිය සහ ධෛර්යය ගැන හොඳ අදහසක් ගන්න.
කාලයක් තිස්සේ UFC සටන් බිමේ වෙල්ටර්වේට් ශූරතාවය දරන්නට මැට් හියුස්ට හැකිවුණා. UFC එක ඇතුළෙදි මැට් හියුස්ව පරද්දන්න හැකි වුණු නම් දෙකක් පස්සෙ කාලෙක ඊළඟ පරම්පරාවේ UFC ශ්‍රේෂ්ඨයො දෙන්නෙක් බවට පත් වුණා. ඒ තමයි බීජේ පෙන් සහ ජෝර්ජස් සෙන් පියර්.
7. හොයිස් ග්‍රේසි (Royce Gracie)
මාර්ෂල් ආර්ට්ස් සටන් කලාව ලෝකය පුරා ප්‍රවර්ධනය කරන්න පුරෝගාමී වුණු පිරිසක් වුණු බ්‍රසීලයේ ග්‍රේසි පරම්පරාවෙන් තමයි හොයිස් ග්‍රේසි පැවතගෙන එන්නේ. UFC ඉතිහාසය ඇතුළෙත් හොයිස් ග්රේසිට සුවිශේෂී තැනක් හිමිවෙනවා. ඒකට හේතුව UFC ඉතිහාසයේ පළමු සටන් තරඟාවලිය ජයග්‍රහණය කළේ ඔහු වීම. දැන් වගේ සැර නීති රීති නැතුව ඉතාම බිහිසුණු විදිහට පවත්වපු ඒ UFC 1 තරඟාවලියේදී ලෝකය පුරා පැතිරී විසිරුණු විවිධ සටන් කලාවලට අයත් සටන්කරුවෝ එකිනෙකා එක්ක හැප්පුනා. මේ තරඟාවලියේදී හැමෝම නොහිතපු විදිහේ කෙසඟ තරඟකරුවෙක්, පිඹුරෙක් වගේ ඇඟ වටේ එතෙන අමුතුම සටන් ශෛලියක් උපයෝගී කරගෙන සද්දන්ත සටන්කරුවන්ව පරද්දන්න සමත් වුණා. දක්ෂ සටන්කරුවෙක් වුණ කෙන් ෂැම්රොක්ව අවසාන තරඟයේදී පරාජය කරමින් ඒ තරඟාවලිය ජයගන්න හොයිස් ග්‍රේසි නම් වූ මේ සටන්කරුවා සමත් වුණේ මිශ්‍ර සටන් කලාවක් වෙන ජියු ජිට්සුවල භයානකකම ගැන ලෝකයේම අවධානය යොමු කරවමින්. මේ වෙද්දී විශ්‍රාම ලත් සටන් කරුවෙක් වුණත්, UFC තරඟ බිම තුළ සෑහෙන කාලයක් අපරාජිතව සිටිමින් සටන් කරපු හොයිස් ග්‍රේසි කියන්නේ UFC ශ්‍රේෂ්ඨයින් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි චරිතයක්.
8. ඊශ්‍රායෙල් අඩෙසැන්යා (Israel Adesanya)
නම ඊශ්‍රායෙල් වුණාට අඩෙසැන්යා නයිජීරියානු ජාතිකයෙක්. මේ වෙද්දී UFC සටන් බිමේ ශුරතා දෙකක් නයිජීරියානු ජාතිකයින් විසින් දරණවා. අඩෙසැන්යා මිඩ්ල්වේට් ශූරයා වෙද්දී තවත් නයිජීරියානු ජාතිකයෙක් වෙන කමරු උස්මාන් වෙල්ටර්වේට් ශූරයා හැටියට වැජඹෙනවා. අඩෙසැන්යා MMA තරඟ බිම ඇතුළේ අපරාජිත ක්‍රීඩකයෙක්. පෙනුමට ලොකු ශක්තියක් තියන ක්‍රීඩකයෙක් හැටියට නොපෙනුනනත්, ඕනෑම වෙලාවක එක පාරකින් ප්‍රතිවාදියාව නොකවුට් කිරීමේ හැකියාවකින් අඩෙසැන්යා සන්නද්ධයි. සටන්කරුවෙක්ට තියෙන්න ඕනේ බුද්ධිමත් බවත් අඩු නැතුව අඩෙසැන්යා සතුයි කියලා අපිට තේරුම් ගියේ ඔහුගේ අන්තිම සටන හරහායි. භයානක සටන්කරුවෙක් වුණු යොඑල් රොමීරෝ එක්ක පවත්වපු ඒ සටන අන්තිම කම්මැලි සටනක් වුණත්, උපක්රමශීලීව ඒ තරඟය ජයගන්න අඩෙසැන්යා තමන්ගේ තරඟ සැලසුම ගහපු විදිහ අපූරුයි!
9. හෙන්රි සෙහූඩෝ (Henry Cejudo)
ඔලිම්පික් රන් පදක්කම් ලාභී රෙස්ලිං ශූරයෙක් වෙන හෙන්රි සෙහූඩෝ UFC එකත් එක්ක එකතු වෙන්නේ 2014 අවුරුද්දේයි. හිටපු UFC ෆ්ලයිවේට් ශූරයා වුණු ඩිමීත්රියස් ජොන්සන් අවුරුදු ගණනාවක් තිස්සේ රැකගෙන ආපු ෆ්ලයිවේට් කිරුළ ඔහුව පරාජය කරමින් ලබාගන්න සමත්වුණු ක්‍රීඩකයා වෙන්නත් සෙහූඩෝට හැකි වුණා. හෙන්රි සෙහූඩෝ කියන්නේ සටන් කලා රසිකයින් අතරේ එතරම් ජනප්‍රිය චරිතයක් නම් නෙමෙයි. ඒත් UFC ශූරතාවයන් දෙකක්ම ඔහු විසින් එකවර දරණු ලැබුවා. ඒ ෆ්ලයිවේට් සහ බැන්ටම්වේට් ශූරතාවයන් දෙකයි. ඒ කොහොම වෙතත් පසුගිය මැයි මාසයේ පැවැත්වුණු UFC 249 දී ඩොමිනික් කෘස්ව පරාජය කිරීමෙන් අනතුරුව සෙහූඩෝ MMA සටන් බිමෙන් තමන්ගේ සමුගැන්ම ප්‍රකාශ කළා.
Leave a Reply