බීමත්කම නිසා නම කැත කරගත්​ත ප්‍රසිද්ධ ක්‍රිකට් තරු

ක්‍රීඩකයන් මත්පැන් පානය කරනවා කියන එක අමුතු දෙයක් නම් නෙමෙයි. වර්තමානයේදී ක්‍රීඩකයන් මුහුණ දෙන ශරීරය යෝග්‍යතා ක්‍රියාකාරකම්වල ස්වභාව​ය නිසා මත්පැන් ටිකක් පානය කිරීම ඒ තරම්ම හානියක් නැතිය කිය​න මතයකුත් අහන්න තියනවා. කොහොම වෙතත් සමහර ක්‍රීඩකයෝ කාලෙන් කාලෙට මත්පැන්වල ආධිපත්‍යය​ට යට වීම නිසා ක්‍රීඩාවෙන් තමන් ලද කීර්තියට හානි කරගන්න සමත් වෙලා තියනවා. ​මේ කියන්නේ ඒ විදිහේ මත්පැන් බීලා නම කැත කරගත්ත සුපිරි ක්‍රීඩකයො 7 දෙනෙක් ගැන.

 

1. ඩේවිඩ් වෝනර් (David Warner)

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කියන්නේ බො​හොම මතභේදාත්මක සිද්ධි රැසකටම මැදිහත් වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පන්දුව පළුදු කිරීමේ වරද​ට කාලයක් ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉන්නත් වෝනර්ට සිදු වුණා. 2013 වසරේ අළු බඳුන තරඟාවලිය අතරතුරදී වෝනර් බීමත්කම නිසා ලොකු කරදරයක වැටෙන්න සමත් වෙනවා. සමාජ ශාලාවක මත්පැනින් මත් වෙලා ඉද්දී ඔහු එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් එකක් වාදයකට ඇවිලෙනවා. එතැනදී වෝනර් ජෝ රූට්ට පහර දෙනවා. ජෝ රූට් මුස්ලිම් ජාතිකයින්ට අවමන් කරපු නිසා තමන් කෝපයට පත් වුණා කියල තමයි ඩේවිඩ් වෝනර් ඒ අවස්ථාව ගැන කියලා තිබ්බේ. කො​හොම නමුත් මේ ගැටුම නිසා වෝනර්ට ඒ අවුරුද්දේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියත් අහිමි වෙනවා.

 

2. හර්ෂල් ගිබ්ස් (Herschelle Gibbs)

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුණු හර්ෂල් ගිබ්ස් කියන්නේ මත්පැන් පානයට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු ක්‍රීඩකයෙක්. 2006 අවුරුද්දේදි ඕස්ට්‍රේලියාවට එරෙහි​ව එවකට එක්දින කණ්ඩායමක් හඹා ගිහින් රැස් කරපු වැඩිම ලකුණු ගණන වුණු ලකුණු 438ක් රැස් කරන්නට දකුණු අප්‍රිකාව සමත් වෙනවා. ඒ තරඟයේදී අති ප්‍රවේගකාරී ලකුණු 175ක් රැස් කරමින් ඒ ජයග්‍රහණයට උපරිම දායකත්වයක් දෙන්නේ හර්ෂල් ගිබ්ස් විසින්. හැබැයි වැඩි දෙනෙක් නොදන්නවා වුණාට ගිබ්ස් ඒ තරඟයට කලින් දවසේ සෑහෙන මත්පැන් පානය කරලා හැන්ගෝවර් පිට තමයි ඒ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ. 2015 අවුරුද්දෙදී බීමත්ව අධික වේගයෙන් රිය පදවලා පොලිස් අත්අඩංගුවට පත් වෙන්නටත් ගිබ්ස්ට සිදු වෙනවා.

 

3. ජේම්ස් ෆෝක්නර් (James Faulkner)

තුන් ඉරියව්වෙන් දක්ෂකම් පාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේම්ස් ෆෝක්නරුත් 2015 අවුරුද්දේදී බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට පත් වෙනවා. ඒ අවුරුද්දේදී ලැන්කර්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඉන්දැද්දි එංගලන්තයේදී තමයි ඔහු මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ. මැන්චෙස්ටර්වලදී ජේම්ස් ෆෝක්නර් සහ ටිම් පේන් ගමන් ගත් රථය අනතුරකට පත් වෙන්නේ ජේම්ස් ​ෆෝක්නර් අධික ලෙස බීමත්ව රිය පැදවූ නිසයි. අවසානයේදී මේ වරද​ට ​​ඔහුට තරඟ 4ක තහනමකුත් පැණවෙනවා.

 

4. ජෙසී රයිඩර් (Jesse Ryder)

බීමත්කම නිසා ජෙසී රයිඩර් තරම් දරුණු හානි පමුණුවාගත්ත වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැතුවත් ඇති කියලා අපිට හිතෙනවා. නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වුණත්, මත්පැන්වලට ඇබ්බැහිවීම නිසා ඔහුගේ ඒ කුසලතාවයන් උපරිම තලයේ පවත්වාගන්න ජෙසී රයිඩර්ට හැකි වෙන්නේ නැහැ. එක් වරක් ඔහු ක්‍රයිස්ට්චර්ච් හී සමාජ ශාලාවකදී බීමත් වෙලා වැසිකිළියට ඇතුළු වෙන්න යන්නේ වීදුරු ජනේලයකට අතින් පහර දෙමිනුයි. එහිදී ඔහු දරුණු කැපුම් තුවාලවලට ලක් වෙනවා. ඉන් පස්සේ ආයෙමත් ක්‍රයිස්චර්ච්හී මත්පැන් ශාලාවක බී​මතින් සිදුකරගන්න ලද ගුටි බැට හුවමාරුවක් නිසා දින දෙකක් කෝමා තත්ත්වයට පත්වෙලා අමාරුවෙන් දිවි ගලවාගන්න ජෙසී රයිඩර්ට සිද්ධ වෙනවා.

 

5. ඇන්ඩෘ සයිමන්ඩ්ස් (Andrew Symonds)

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් කියන්නේ හොඳට කන බොන පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්. සයිමන්ඩ්ස්ගේ විනෝදකාමී, සෙල්ලක්කාර ජීවිතය නිසා ක්‍රිකට් තරඟ අතරතුරත් නොයෙකුත් අර්බුදවලට මුහුණ දෙන්න ඔහුටත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ටත් සිදුවූ අවස්ථා කිහිපයක්ම වාර්තා වෙලා තියනවා. 2005 වසරේදී බංග්ලාදේශයත් එක්ක එක්දින තරඟයකට සයිමන්ඩ්ස් ක්‍රීඩා කරන්න එන්නෙ හොඳටම බීමත්ව. එනිසා ඒ තරඟය ඔහුට අහිමි වෙනවා වගේම තවත් තර​ඟ 2ක තහනමකුත් පැණවෙනවා. ඉන් පස්සේ 2009 විස්සයි විස්ස ලෝක කුසලානයේදීත් සයිමන්ඩ්ස් කණ්ඩායමේ නීති උල්ලංඝනය කරමින් මත්පැන් පානය කිරී​ම නිසා ඔහුව තරඟාවලිය අතරතුරදීම නැවත හරවා යැවෙනවා. ඒ සිදුවීමත් සමගම සයිමන්ඩ්ස්ගේ ක්‍රිකට් දිවියත් හමාර වෙනවා.

 

6. රිකී පොන්ටින් (Ricky Ponting)

රිකී පොන්ටින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් විතරක් නෙමෙයි, ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයෙනුත් බිහිවුණු දක්ෂම පිතිකරුවෙක් සහ නායකයෙක් හැටියටයි. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වගේම පිටියෙන් පිටතදීත් වරින් වර පොන්ටින් පෙන්වපු ගති ලක්ෂණ නම් එතරම් මහත්මා ගුණයෙන් යුතු ඒවා නෙමෙයි. පොන්ටින් කාලයක් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වෙලා හිටපු ක්‍රීඩකයෙක්. එක වරක් ක්‍රිකට් තරඟාවලියක් අතරතුරදී සිඩ්නි හී සමාජ ශාලාවකට ගිය පොන්ටින් සිහි විකල් වෙන තරමටම මත්පැන් පානයේ යෙදෙනවා. අන්තිමේදී ඔහු පහුවදා ඇහැරෙන්නේ වෙනත් හෝටල් කාමරයක් තුළදීයි. ඒ විතරක් නෙමෙයි, පහර කෑමක් නිසා ඔහුගේ එක ඇසක් කළු ගැහිලාත් තිබෙන බව ඔහුට වැටහෙනවා. නමුත් තමන් හෝටල් කාමරයට ආවේ කොහොමද, තමන්ට පහර දුන්නේ කවුද කියලාවත් ඔහුට මතකයක් නැහැ. මේ සිදුවීමෙන් පස්සේ මත්පැන් ඇබ්බැහිය වළක්වාගන්න විශේෂඥ උපදෙස් ගන්නත් පොන්ටින් යොමු වෙනවා.

 

7. බෙන් ස්ටෝක්ස් (Ben Stokes)

අද වෙනකොට ක්‍රිකට් ලෝකයේ ඉන්න අති දක්ෂම ක්‍රීඩකයෙක් හැටියට බෙන් ස්ටෝක්ස්ව අපිට හඳුන්වන්න පුළුවන්. මෑත භාගයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කියන අංශ තුනෙන්ම එංගලන්තය ඉදිරියට ඒමේ ගෞරවයෙන් සෑහෙන කොටසක් බෙන් ස්ටෝක්ස්ටත් හිමියි. කොහොම නමුත් මේ විශිෂ්ට ක්‍රීඩකයාත් කාලෙන් කාලෙට මත්පැනට ගිජු වීම නිසා කළු පැල්ලම් ඇති කරගත් ක්‍රීඩකයෙක් බව නොකියාම බැහැ. 2013 වසරේදී සිදු කරන ලද ඕස්ට්‍රේලියානු සංචාරයක් අතරතුරදී කණ්ඩායම් කළමනාකාරීත්වයේ විරෝධතාවය නොතකා දිගින් දිගටම මත්පැන් පානය කිරීම නිසා ස්ටෝක්ස්ට එරෙහිව විනය විරෝධී ක්‍රියාමාර්ග ගැනෙ​නවා. ඉන් පස්​සේ 2017 වසරේදීත් සමාජ ශාලාවකදී බීමත්​ව දරුණු ගැටුමක් ඇති කර ගැනීම හේතුවෙන් බෙන් ස්ටෝක්ස්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනවා. නමුත් ඔහු කළහකාරීව ක්‍රියා ක​ළේ පීඩාවට පත් සමලිංගික යුවළක් ආරක්ෂා කරගැනීමට බව පසුව හෙළි වනවා. දීර්ඝ සිර දඬුවමක් ලැබීමේ අවදානමකින් සිටියත්, අවසන් මොහොතේදී සත්‍ය හෙළිවීම නිසා ස්ටෝක්ස් නිදහස ලබනවා.