සමලිංගික විවාහ සිදුකරගත් ජනප්‍රියම තරු 7ක්

ආසියානු රටවල බහුතරයක් උදවි​ය තවමත් සම සෙනෙහස දිහා බලන්නෙ අප්‍රසන්න සහ සමාජ විරෝධී ක්‍රියාවක් දිහා බලනව වගේ හැඟීමකින්. ඒත් ආදරය කියන දේ මිනිහෙක් සහ ගැහැණියක් අතර විතරක් පැවතිය යුතුයි කිය​න මතය හණමිටි අදහසක් හැටියටයි අපි දකින්නෙ. මේ හණමිටි අදහස් වලට පයින් ගහල තමන්ගේ හිත ගත්ත සම සෙනෙහස් ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය එක්ක විවාහ ගිවිසගත්තු සහ විවාහ ජීවිතයක​ට ඇතුළත් වුණු ජනප්‍රිය තරු ගැනයි අද අපේ ලිපිය.

 

1. රිකී මාර්ටින්

මීට අවුරුදු පහලොවකට විස්සකට උඩදි ලංකාව වගේම ලෝකයත් හොල්ලපු සින්දුවක් තමයි ‘මරියා’ සින්දුව. 

 

ඇහෙද්දි ඉබේ නැටවෙන රිද්මයක් තිබ්බ මේ සින්දුව ගැයුවෙත් ක​ඩවසම් ලතින් අමෙරිකානු ගායකයෙක් වෙච්ච රිකී මාර්ටින්. රිකී මාර්ටින්ගෙ සින්දුවට කොල්ලො කෙල්ලො පිස්සු වැටෙද්දි, රිකී මාර්ටින්ගෙ පෙනුමට ලංකාවෙ කෙල්ලො වහ වැටිලා හිටියෙ. රිකී පස්සෙ කාලෙකත් ජනප්‍රිය සින්දු බොහොමයක් කිවුවා. ඒ කාලේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් එක්ක රිකීගෙ දීර්ඝ ප්‍රේම සම්බන්ධයකුත් තිබ්බා. පස්සෙ ඒ සම්බන්ධතාවය බිඳ වැටුණා. 

කාලයක් යද්දි රිකී මාර්ටින්ට සමලිංගික රසිකයින්ගෙන් වැඩි ආකර්ෂණයක් පෙනෙන්න තිබුණ නිසා රිකී මාර්ටින් සමලිංගික නැඹුරුතාවයක් සහිත කෙනෙක්ද කියලා මාධ්‍ය වලින් ප්‍රශ්න නැගෙන්න පටන් ගත්තා. මුලදී රිකී මේවාට නිහඬව සිටියත් 2010 අවුරුද්දෙදි රිකී මාර්ටින් ප්‍රසිද්ධියේ පිළි ගන්නවා තමන් වාසනාවන්ත සමලිංගික නැඹුරුතාව සහිත කෙනෙක් කියලා. 2016 දී ආර්මේනියානු සම්භවයක් තියන චිත්‍ර ශිල්පියෙක් වෙ​න ජ්වාන් යූසෆ් එක්ක විවාහ ගිවිසගන්න රිකී, 2018 දී රහසින්ම ඔහු හා විවාහ වෙනවා. මේ වන විට ඔවුන් දෙදෙනා එක්වෙලා දියණියකුත් හදාගන්න අරන් තමන්ගේ පවුලට එකතු කරගෙන තියනවා.

 

2. එල්ටන් ජෝන්

‘සැක්‍රිෆයිස්’ ගීතය හරහා අතිශය ජනප්‍රියත්වයක් ලබාගත්ත එල්ටන් ජෝන්ව ලංකාවෙත් අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ වෙන්න ගත්තේ ඩයනා කුමරියගේ අවමංගල්‍යය වෙනුවෙන් ගයපු ‘ගුඩ් බායි ඉංග්ලිෂ් රෝස්’ ගීතය හින්දයි. සමලිංගිකත්වය කියන එක​ දිහා බටහිරි සමාජයත් වපරැසකින් බලන කාලයක පටන් එල්ටන් ජෝන් ගේ සමලිංගික ජීවිතය ගැන පුවත් මැවුණා. 1970 ගණන් වල ඔහුගේ පළමු පෙම්වතා වෙන්​නේ ජෝන් රීඩ් කියන සංගීත කණ්ඩායම් කළමනාකරුවෙක්. සුප්‍රසිද්ධ ක්වීන් සංගීත කණ්ඩායමෙත් කළමනාකරුව හිටි ජෝන් රීඩ් එක්ක සම්බන්ධය බිඳ වැටුනට පස්සේ එල්ටන් ජෝන් ජර්මානු කාන්තාවක් එක්ක විවාහ වෙනව. ගොඩක් අය ඒ විවාහය හැඳින්වුවෙ එල්ටන් තමන්ගේ සමලිංගිකත්වය වසන් කරන්න කරගත් බොරු විවාහයක් හැටියටයි. 1998 දී මේ විවාහෙට සමුදෙන එල්ටන් ජෝන් ඒ වෙද්දි ඔහුගේ පෙම්වතා වුණු කැනඩා ජාතින සිනමාකරුවෙක් වෙන ඩේවිඩ් ෆර්නිෂ් එක්ක 2014 දී විවාහ වෙනවා. එංගලන්තයේ සමලිංගික විවාහ සඳහා අවසර ලැබුණට පස්සේ සිදු කරපු මුල්ම විවාහ කීපය අතරින් එකක් තමයි මේ දෙන්නගෙ විවාහය.

 

3. ජෝඩි ෆොස්ටර්

1990 සහ 2000 ගණන් වලදී ‘සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස්, පැනික් රූම්, ඉන්සයිඩ් මෑන්’ වගේ හොලිඩුඩ් ත්‍රිලර් චිත්‍රපටි හරහා නිතර දකින්න ලැබුණු මුහුණක් තමයි මේ ​ජෝඩි ෆොස්ටර් කියන්​නෙ. ඇකඩමි සම්මානය දෙවරක් දිනාගන්නටත් ඇය සමත් වුණා. ජෝඩි ෆොස්ටරුත් අතීතයේ පටන්ම සමලිංගික ප්‍රේමයන්ට නැඹුරු වෙලා හිටපු තරුවක්. ඒත් ඇය තමන්ගේ පුද්ගලික ජීවිතය ඉතා ම දැඩි විදිහට මාධ්‍යයෙන් වසන් කරගෙන තමයි ජීවත් වුණේ. ඇය තමන් සමලිංගික නැඹුරුතාවයක් සහිත තැනැත්තියක් කියලා ප්‍රසිද්ධියේ පිළිගන්නේ 2013 වසරේ පැවති සම්මාන උළෙලකදීයි. ඊට පස්සේ 2014 අවුරුද්දේදි සිනමා අධ්‍යක්ෂකවරියක් සහ ඡායාරූප ශිල්පිණියක් වෙන ඇලෙක්සැන්ඩ්‍රා හෙඩිසන් එක්ක ඇය විවාහ වෙනවා.

 

4. එලන් ඩීජෙනර්ස්

එලන් ඩී ජෙනර්ස් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න ජනප්‍රියම වැඩසටහන් මෙහෙයවන්නියක්. ඇය විසින් මෙහෙයවන The Ellen DeGeneres Show එක ඒ රටේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් වැඩසටහනක්. ​එලන් තමන් සමසෙනෙහස ප්‍රිය කරන්නියක් කියලා හෙලිදරවු කරන්නේ 1997 අවුරුද්දෙදියි. එලන්ගෙ ඒ ප්‍රකාශය ඇගේ මවව පවා පුදුමයට පත් කරන්නක් වුණා. මාධ්‍ය ලෝකයෙනුත් ඇයට ​මේ ප්‍රකාශය එක්ක නොයෙක් හිත් රිදීම් ඇති වුණා. කොහොම වුණත් එලන් මේ දේවල් වලට නිර්භීතව මුහුණ දෙමින් අවසානයේ සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී හිටින ප්‍රබල චරිතයක් බවටත් පත්වුණා. අපි මීට කලින් කියපු ජෝඩි ෆොස්ටර් විවාහ වුණු ඇලෙක්සැන්ඩ්‍රා හෙඩිසන් එක්කත් කාලයක් එලන්ගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඉන් පස්සේ ඇය විවාහ වෙන්නේ නිළියක් සහ මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන පෝර්ෂියා ඩෙල් රෝසි එක්කයි. 2008 අවුරුද්දෙදි තමයි මේ දෙන්නා විවාහ වෙන්නෙ.

 

5. නීල් පැට්‍රික් හැරිස්

විදෙස් ටීවී සීරීස් බලන කට්ටියටනම් මේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. ලංකාවෙත් අතිශය ජනප්‍රිය වෙච්ච ‘How i met your mother’ ටෙලි සීරීස් එකේ බානි ස්ටින්සන් චරිතය හරහා නීල් පැට්‍රික් හැරිස් මුළු ලෝකෙම පුරා ජනප්‍රිය වුණා. මේ ටෙලි සීරීස් එකේ බානි චරිතය කියන්නේ ස්ත්‍රී ලෝලී සෙල්ලක්කාර චරිතයක්. මේ චරිතය කොයි තරම් සාර්ථකව නීල් විසින් රඟ දැක්වුවත් ඔහු සැබෑ ජීවිතේ සමලිංගික නැඹුරුවක් තියෙන පුද්ගලයෙක්. 2006 අවුරුද්දෙ තමයි නීල් හැරිස් තමන් සමලිංගික අයෙක්ය කියලා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පිළිගන්නෙ. නීල් පැට්‍රික් හැරිස් ප්‍රේමයෙන් බැඳෙන්නෙ තවත් නළුවෙක් සහ සූප වේදියෙක් වන ඩේවිඩ් බර්ට්කා එක්කයි. 2014 අවුරුද්දෙ සමලිංගික විවාහ නීතිගත වීමත් එක්ක ඒ දෙන්නා විවාහ වෙනවා. මේ විවාහ උත්සවේදි ගී ගයන්න එල්ටන් ජෝනුත් එකතු වීම විශේෂ කරුණක් වුණා. ​මේ වෙද්දි තවත් කාන්තාවකගේ උපකාර (Surrogate mother) ඇතුව මොවුන් දෙදෙනා තමන්ගේ කැදැල්ලට නිවුන් දරුවන් දෙදෙනෙකුත් එකතු කරගෙන ඉන්නවා.

 

6. සින්තියා නික්සන්

‘සෙක්ස් ඇන්ඩ් ද සිටි’ කියන ජනප්‍රිය අමෙරිකානු මාලා නාටකයෙන් තමයි සින්තියා වඩාත් රසිකයින් අතර ජනප්‍රිය වෙන්නේ. ජනප්‍රිය අමෙරිකානු නිළියක් ස​හ සමාජ ක්‍රියාකාරිණියක් වෙන සින්තියා කියන්නෙත් සම ලිංගික විවාහ දිවියකට ඇතුළු වුණු තැනැත්තියක්. ඇගේ මුල්ම සම්බන්ධතාවය නම් ඇය පවත්වන්නේ පිරිමි පාසල් ගුරුවරයෙක් එක්කයි. ඩැනී මෝසස් කියන ඒ පුද්ගලයා එක්ක අවුරුදු පහ​ලොවක කාලයක් සින්තියා ජීවත් වෙනවා. ඒ විවාහෙන් ඔවුන්ට දරුවො දෙන්නෙකුත් ලැබෙනවා. කොහොම වෙතත් 2003 දී මේ විවාහ​ය හමාර වෙනවා. ඊට පස්සෙ 2004 අවුරුද්දෙදි සින්තියා, ක්‍රිස්ටීන් මැරිනෝනි කියන කාන්තාව එක්ක සම්බන්ධකමක් අරඹනවා. 2012 අවුරුද්දෙදි මේ දෙන්නා විවාහ ජීවිතේකට ඇතුළත් වෙනවා. මේ විවාහෙන් මැරිනෝනි හරහා ඔවුන්ට දරුවෙකුත් ලැබෙනවා.

 

7. වන්ඩා සයික්ස්

වන්ඩා සයික්ස් කියන්නේ ඇමරිකාවේ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක්. හාස්‍යමය රංගනයන්වල​ට තමයි වන්ඩා වඩාත්ම ජනප්‍රිය. වන්ඩා මුලින්ම විවාහ වෙන්නේ නම් කාන්තාවක් එක්ක නෙමෙයි. 1991 වසරේදී ​ඩේව් හෝල් කියන සංගීත තැටි නිෂ්පාදකයෙක් එක්ක වන්ඩා විවාහ වෙනවා. මේ විවාහෙ අවුරුදු 7ක් පවතිනව. 2008 අවුරුද්දෙදි තමයි වන්ඩා තමන් සමලිංගික තැනැත්තියක්ය කියලා ප්‍රකාශ කරන්නෙ. වන්ඩාගේ මේ ප්‍රකාශය ඇගේ පවුලේ අයවත් පුදුම කරනවා. වන්ඩා​ගෙ දෙමවුපියො ඇගේ මේ නැඹුරුතාවයට කොතරම් විරුද්ධ වුණාද කියනවනම් ඔවුන් ඇ​ගේ විවාහ උත්සවයට සහභාගි වෙන්නෙත් නැහැ. 2008 අවුරුද්දෙදි ඇලෙක්ස් නිඩ්බාල්ස්කි කියන ප්‍රංශ ජාතික කාන්තාවක් එක්ක තමයි වන්ඩා විවාහ වෙන්නෙ. මේ විවාහයෙන් ඇලෙක්ස් හරහා ඔවුන් දරු සම්පතකුත් තමන්ගෙ කැදැල්ලට එකතු කරගන්න සමත් වෙලා තියනවා මේ වෙද්දි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *