රට රටවල කෑම සහ කෑම වට්ටෝරු වෙනස් වෙන්න හේතු

රට රටවල කෑම බීම කලින් කලට වෙනස් වෙනවා. ඒ කෑම බීම රටාවන් කෙරේ බලපාන විවිධ සාධක තියෙනවා. ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙලා තියෙන්නේ කිලෝමීටර 32ක පටු මුහුදු තීරයකින්. අපි ඔය මුහුදු තීරයෙන් එතෙර වෙලා දකුණු ඉන්දියාවට ගියොත් එහි කෑම රටාවන් අපේ කෑම කන රටාවට වැඩිය වෙනස් ආකාරයක් ගන්නවා. ඒ දකුණු ඉන්දියාවේ ආභාෂය තියෙන යාපනේට ගියත් ඒ වෙනස ලාවට අපිට දැකගන්නට පුළුවන්. ඒ කෑම බීම වෙනස්කම් සහ ඒවාට හේතු අපි ටිකක් හොයාබලමු.

 

1. යටත්විජිත බලපෑම්

ඉන්දියාව සහ අපේ රට වගේ යටත්විජිත රටවල් ගත්තොත් ඒ රටවල කෑම වලට අපිව යටත් කරගෙන හිටපු ජාතීන්ගේ ආභාෂය කෙළින්ම ලැබිලා තියෙනවා. කොකිස්, කැවුම්, දොදොල් වගේ ආහාර දැනට අපේ අපේ කියලා ආහාරයට ගත්තට ඇත්තටම ඒවා අපිට යටත්විජිත කාලේ ලැබුණු දායාදයන්. ඒ වගේම අපි වගේ සමාජ පසුබිමක් තියෙන ඉන්දියාවේ පළාත් වල ඉඳිආප්ප, ආප්ප විතරක් නෙමෙයි, කොත්තු පවා ආසන්නව ඒ විදිහට තියෙනවා. ඉන්දුනීසියාව වගේ යටත් විජිත රටවලත් කෑම වලට ඒ රටවල බලපෑම ඇවිත් තියෙනවා. ඒ වගේම අපේ රටවලින් අරං ගිය කුළුබඩු නිසා ඒ කාලේ යුරෝපයේ කෑම වලත් වෙනස්කම් ඇති වුණා.

 

 

2. නීති රීති සහ ආනයන අපනයන

අපේ රටට පිටරටින් ආහාර එන්න වෙන්නේ නැවෙන්. එතකොට නැව් ගාස්තු එකතු වෙනවා. ඒ නිසා අපිට වෙන රටවලින් එන කෑම ජාති වලට ගොඩක් මිලක් ගෙවන්න වෙනවා. අපිට මෙහේ නැති අල වර්ගයකින් හදන අප්‍රිකාවේ කෑම ජාතියක් මෙහෙදි හදාගන්න අමාරුයි මොකද ඒ අල ජාතිය මෙහෙට ගෙන්නාගන්න එක ගැටළුවක්. රට රටවල එක එක කාලෙට නීති රීති එකතු වෙනවා. ලංකාවට සහල් රටින් ගෙන්වන්න නිති රීති, බදු එකතු වෙනවා. ඒ වගේම පාන්පිටි, පරිප්පු වගේ රටින් එන දේවල් වලටත් නැව්ගාස්තු සහ තවත් දේවල් එකතු වෙනවා. ඒ නිසා අපි දේශීය සහල් වැඩිපුර පාවිච්චියට හුරු වෙලා තියෙනවා. ඒ වගේ රටේ ආනයන අපනයන නීතිත් ආහාර වලට බලපානවා.

 

 

3. උයන ආකාරය

කෑම උයන විදිහත් රටින් රටට වෙනස්. ඇමරිකාවේ, යුරෝපයේ ජනයා මස් පලහා කන්න වඩාත් මනාපයි. ඔවුන් බාබකිවු සහ කෙළින්ම මස් පුළුස්සන ක්‍රම හරහා ආහාර පිළියෙල කරගන්නවා. ඒත් ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවල මස් වලට වඩා ධාන්‍ය වර්ග ආහාරයට ගන්නවා. සහල් උයන රටවල වුවත් හාල් වලින් බත් පිසගන්නේ එකම ආකාරයට නෙමෙයි. චීනේ ස්ටිකී රයිස් ආහාරයට ගන්න පිරිස වැඩියි. ජපානයේ ජනයා අමුවෙන් මාළු කන්න ආසයි. ඔවුන්ගේ වට්ටෝරු වල අමු මාළු තියෙනවා. ඒත් ජර්මනිය වගේ රටක් ගත්තොත් ඔවුන් මාළු උයලා තමයි  ආහාරයට ගන්නේ. මේ විදිහට කෑම හදන ආකාරයත් රටින් රටට, පළාතෙන් පළාතට වෙනස් වෙනවා.

 

 

4. වැවෙන දේවල්

අපේ ලංකාවේ වුණත් දෙල් කොස් හැදෙන කාලෙට ඒවා ලාබයි. එවිට මිනිසුන් වැඩිපුර ඒවා ආහාරයට ගන්නවා. ඒ විදිහට එක් එක් ලෝකයේ කළාප අනුව වැවෙන දේවල් වැඩියි. අප්‍රිකාවේ එක් කොටසක කිරි ගවයින් ඉන්න නිසා කිරි ආහර සුලභයි. ඔවුන් කෑම වලට එලඟි තෙල්, කිරි වගේ දේවල් එකතු කරගන්නවා. ඉන්දියාවේ කිරි ගවයින් ඉන්න පැති වල කෑමට කිරි වැඩිපුර එකතු වෙනවා. ඒත් අපේ රටේ කිරි වෙනම ආහාරයට ගත්තත්, පොල් කිරි සහ පොල්තෙල් තමයි උයන්න පාවිච්චි වෙන්නේ.

 

 

5. දේශගුණික තත්ත්වයන්

එස්කිමෝවරුන් ඔවුන්ගේ කෑම වලට වැඩිපුර මාළු එකතු කරගන්නවා. මොකද ඔවුන්ට හමුවෙන ප්‍රධානම ආහාරය වෙන්නේ මාළු. ඒ වගේම කාන්තාර වල වාසය කරන ඔටුවා කිරි ලබාගන්න වගේම මසටත් කාන්තාර රටවල පාවිච්චි වෙනවා. දැඩි ශීතල සහ දැඩි උණුසුම් කළාපවල කාලාන්තරයක් තිස්සේ ජීවත්වන ජනතාව ඒ පරිසර තත්ත්වයන්ට අදාළව සාර්ථක දේවල් ආහාරයට ගන්නවා. උදාහරණ විදිහට අපේ වැදි ජනතාව ජීවත් වුණු වනාන්තර පරිසරයේ තිබුණ ගහ කොළ, පල වැල වගේම මස් වර්ග ඔවුන් එදා ආහාරයට ගත්තා.

 

 

6. ආර්ථික වටපිටාව

අපි කලින් කිව්ව විදිහට මැදපෙරදිග ජනතාව ඉන්නේ කාන්තාර පසුබිමක නිසා ඒ පරිසරයට උචිත ආහාර ගන්නට ඔවුන්ට සිදු වනවා. ඒත් පුරාතනයේ මැදපෙරදිග ජනයා සතුන් ඇතිකිරීමෙන් ආහාර සකසා ගත්තා. පසුකාලීනව ඔවුන් වෙළඳාම තුළින් දියුණු වීම නිසා විවිධ කෑම බීම ලබාගන්න ඔවුන්ට පහසු වුණා. අද වනවිට මැදපෙරදිග තෙල් වලින් එන සල්ලි තියෙන නිසා ඔවුන්ට ඔවුන් කැමති ආහාරයක් මිලදී ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔවුන් කාන්තාර පසුබිමේ හිටියත් ආහාර වලින් කිසි අඩුපාඩුවක් නැහැ. අද මන්දපෝෂණයෙන් පෙළෙන දුප්පත් රටවල නියඟය වැනි ස්වාභාවික හේතු තිබුණත් ඔවුන්ට මිල මුදල් තිබුණා නම් ආහාර රටින් ගෙන්වාගන්නට පුළුවන්.

 

 

7. තාක්ෂණය

ඇමරිකානුවන් මීට අවුරුදු 50කට පෙර ආහාරයට ගත් දේවල් සහ දැන් ආහාරයට ගන්න දේවල් වෙනස්. මන්ද ඔවුන්ගේ ආහාර වට්ටෝරු තාක්ෂණය මගින් වෙනස් කරලා ඉවරයි. අපේ රටෙත් සෑම නිවසකම දැන් බ්ලෙන්ඩර් එකක්, අවන් එකක්, ගෑස් කුකර් එකක් වගේ මූලික දේවල් ටික තියෙනවා. ඒ නිසා අද අපේ කෑම වට්ටෝරු අපේ සීයලා පප්පලාගේ කාලේ කෑම වට්ටෝරු වලට වඩා වෙනස් තැනක් ගන්නවා. ඉස්සර අපිට කේක් එකක් රස බලන්නට කඩේට යන්නට වුණා. නැතිනම් බේකරි ශොප් එකකට යන්නට වුණා. ඒත් අද තාක්ෂණය නිසා අපිට යූ ටියුබ් බලාගෙන, අඩුම කුඩුම ටික එකලාසයක් කරගෙන කෑම හදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ තාක්ෂණය නිසා.

 

කෑම කියන්නේ හැම දෙනාටම උපදෙස් දෙන්න, වෙනස් කරන්න පුළුවන් දෙයක්. උදාහරණ විදිහට අඟහරු ග්‍රහයාගේ ජලය තිබේද නැද්ද කියල වගේ ප්‍රශ්නයක් අපිට හරියටම විශ්ලේෂණය කරගන්න වෙන්නේ ඒ සම්බන්ධ විද්‍යාඥයින්ගෙන් දැනගෙන. එහෙත් කෑම සම්බන්ධයෙන් අපි හැමෝටම මොනාහරි අදහසක් තියෙනවා. ඉතින් කෑම වල විවිධත්වය ගැන යම් තොරතුරක් ඔයාල මේ ලිපියෙන් දැන ගත්තා නම් යාළුවෝ සමග එය බෙදාගන්න අමතක කරන්නට එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *