මෙහෙම වෙනස් විදියේ අත් වැඩත් ලෝකේ තියෙනවා කියලා දැනගෙන හිටියද?

දැන් ඔය ආට් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියලා ස්ටයිල් එකට කිවුවහම මොනවද කියලා තේරෙන්නෙ නැහැ වගේද? අත් වැඩ, චිත්‍රකර්ම කිව්වොත් තේරෙයිද? ඔව්. හැන්ඩික්‍රාෆ්ට් කියලා එහෙම කියන්නෙත් ඔය අත් වැඩ වලටම තමයි. ඉස්සර ඉස්කෝලෙ කාලෙදි කරපු වාර්නිෂ් කොළ හැඩ වලට කපලා කළු ඩ්‍රොයිං පොතේ අලෝන එක, කඩදාසි මල් හදන එක, ඔරිගාමි නිර්මාණ කරන එක, කතිර මැස්මෙන් නිර්මාණ කරන එක වගේ දේවලුත් දැන් කාලේ බොහොම ජනප්‍රිය ක්‍රාෆ්ට් නැතිනම් අත්වැඩ තමයි. හැබැයි මේවා තවදුරටත් පොඩි ළමයි කරන ඒවා කියලා එකක් නෑ. වැඩිහිටියන්ට වුනත් තමන්ගේ නිදහස් වෙලාවට කරන්න පුළුවන් අපි මේ කියන අත්වැඩ. ඕන නම් වැඩිහිටියන්ට තියෙනවා ලීබඩු හදන එක, වානේ කිණිසි හදන එක, ආභරණ නිර්මාණය වගේ තව ඇඩ්වාන්ස් ලෙවල් එකේ අත්වැඩක් වුනත් විනෝදය වෙනුවෙන් තෝරගන්න පුළුවන්. මේවා විනෝදාංශ. මේ අත්වැඩ විනෝදාංශ වලින් ඇත්තටම ලැබෙන්නේ හිතට සතුට, සැනසීම, විවේකය විතරක් නෙවෙයි. සමහර අය මේ විනෝදාංශ හොඳ ආදායම් මාර්ග බවටත් හරවගෙන තියෙනවා. 

දැන් මේවා ඇරෙන්න තව අමුතු අත්වැඩ ජාති ලෝකේ නැද්ද? වෙන කවුරුවත් ලේසියෙන් කරන්නෙ නැති තාලේ එව්වා? තියෙනවා. ආන්න ඒවා ටිකක් තමයි අපි අද කියන්න යන්නේ. සමහර වෙලාවට මේ දවස් වල ගෙදර ඉන්න එකේ, ඕවෑයින් එකක් පටන් ගන්නත් බැරි නැහැනේ!

 

1. Resin Craft

රෙසීන් වර්ක් කිව්වට ඕකට හැමෝම කියන්නේ එපොක්සි නිර්මාණ කියලා. එපොක්සි රෙසීන් කියන්නේ ඇත්තටම පොලිඑපොක්සයිඩ්ස් කියලා කියන පොලිමර්/ප්‍රිපොලිමර් කාණ්ඩයක්. සරලව ගත්තොත් එපොක්සි රෙසින් කඩේ ගන්න තියෙනවා. එපොක්සි ද්‍රාවණයක් විදියට තියෙන්නේ. ඒකත් එක්ක ගන්න ඕන සවිකුරුකාරයකක් හෙවත් හාඩ්නර් එකකුත්. ඔය දෙකම එකට තමයි විකුණන්නේ. දැන් සරල මූලධර්මය මේකයි. එපොක්සි ද්‍රාවණයට හාඩ්නර් ද්‍රාවණය දාලා හොඳින් කලතලා මිශ්‍ර කරලා තිබ්බට පස්සේ ඒක සුපිරියටම හයි වෙනවා. කෙලින්ම ප්ලාස්‍ටික් වගේ වෙනවා. අන්න එතකොට එපොක්සි එක හාඩ්නර් එකත් එක්ක මික්ස් කරලා, ඒකට ඕන පාටක් වුනත් දාලා, ඒක ඕන හැඩේකට හිටින්න අච්චුවකට දාලා තමන්ට අවශ්‍ය විදියේ නිර්මාණ කරන්න පුළුවන්. තමන්ගේ නිර්මාණශීලීත්වයේ විදියට ලී, ගස් වල කොළ, මල්, අතු, කිණිති, සෙල්ලම් බඩු වගේ ඕනම දෙයක් උපයෝගී කරගනිමින් රෙසින් නිර්මාණ කරන්න පුළුවන්.

 

2. Wood Turning

වුඩ්වර්කින් කියන්නේ වඩුවැඩනේ. එතකොට වුඩ් ටර්නින් කියන්නේ? මෙහෙමයි. ඔන්න අපිට හම්බුවෙනවා දර කොටයක්. ඔය දර කොටේ කිසි හැඩයක් අනං මනං නෑ. හැබැයි අපි ඔය දර කොටේ ලියවන පට්ටලේට හයි කරලා, ලියවන පට්ටලේ වේගෙන් කරකැවෙන කොට නියනක් අල්ලලා, ගාණට සමමිතික වෙනකල් රවුම් කරගන්නවා. ඕන නම් වෙන වක්‍රාකාර හැඩයක් වුනත් කරගන්න පුළුවන්. ඔය විදියට ඕන නම් දර කොටේ ඇතුළ හාරගන්නත් පුළුවන්. ඕන නම් ඕක වටේ අච්චුවක් ප්ලාස්‍ටික් ෂීට් එකකින් හදලා, ඒකට රෙසීන් දාලා ඝන වෙනකල් ඉඳලා, ආයෙමත් ලියවන පට්ටලේට දාලා රවුම් කරගෙන අමුතු නිර්මාණයක් කරගන්නත් පුළුවන්. මෙන්න මේකට තමයි වුඩ් ටර්නින් කියන්නේ. මේ විදියට මල් පෝච්චි, විසිතුරු භාණ්ඩ, දැව කලා කෘති වගේ සෑහෙන්න දේවල් හදන්න පුළුවන්. ඕන නම් පෑන් පෙට්ටි, ඉඳිකටු පෙට්ටි, පුටු මේස වල කකුල් වගේ අවශ්‍ය දේවල් හදාගන්නත් පුළුවන්.

 

3. Gadget Restoration

මෙන්න මේක ටිකක් මූලික දැනුමක් වුවමනා වෙන වැඩක්. දැන් ඔය එක එක විදියේ උපාංග, උපකරණ තියෙනවා අපි පාවිච්චි කරලා විසික් කරන. හැබැයි ගොඩක් වෙලාවට ඔව්වා විසික් කරන්නේ ඒවයින් වැඩක් ගන්න බැරි නිසා නෙවෙයි. විශේෂයෙන්ම ඉස්සර හදපු ඔය උපාංග, උපකරණ පරම්පරා ගණන් පවතින්න හදලා තියෙන්නේ. උදාහරණ විදියට ගන්න පුළුවන් පරණ සිපෝ ලයිටර්, බ්ලේඩ් දාලා පාවිච්චි කරන පරණ තාලේ රැවුල බාන රේසර් වගේ එව්වා. ඕවා පැත්තකට දාන්නේ ගොඩක් වෙලාවට අලුත් සීන් ලෝකෙට එන නිසා. හැබැයි පැත්තක දාලා, දශක ගණන් මළකඩ කකා තිබුණා වුනත්, මේවා අලුත්වැඩියා කරලා ගන්න පුළුවන්. ආන්න ඒක තමයි මේ ගැජට් රෙස්ටොරේෂන් කියලා කියන්නේ. මේකේ චැලෙන්ජ් එක වෙන්නේ අලුත්වැඩියා කරන එකම නෙවෙයි. ගැජට් එක තිබ්බ විදියටම ගන්න එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට, සිපෝ ලයිටර් එකක ඉස්සරහා මොකක් හරි ලාංඡනයක් ගහලා තිබ්බනං, ඒක පවා නැවත පරණ විදියටම ප්‍රතිෂ්ඨාපනය කරන එක. මේ විදියට සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් වුනත් රීස්ටෝර් කරන්න පුලුවන්. මේක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි පට්ට විනෝදයි සහ ඕන නම් සල්ලි හම්බු කරන්නත් කදිමයි.

 

4. Stone Carving

ඉස්සර අපේ තිබුණු එක එක එව්වා එකතු කරන විනෝදාංශ වලින්, ගොඩක් අය නොකරපු විනෝදාංශයක් තමයි විසිතුරු ගල් එකතු කිරීම. ඔය විසිතුරු ගල් කියන්නේ වත්ත පහළ තියෙන කබොක් ගල් වත්, කළු ගල් වත් නෙවෙයි. හැබැයි සමහර වෙලාවට වත්ත පහළින් වුනත් හම්බුවෙන්න පුළුවන්, හැබැයි ඊට වඩා ගලාගෙන යන ගඟක්, ඇළක්, දොළක් වගේ තැනකින්, මහා වනාන්තරයකින් වගේ තැනකින් මුණගැහෙන්න පුළුවන් දුර්ලභ ගණයේ ගල් එකතු කිරීම තමයි මේ විනෝදාංශයට අයිති වෙන්නේ. කොහොම වුනත් ස්ටෝන් කාර්වින් හෙවත් ගල් කැටයම් කියන්නේ මේ විනෝදාංශය තවත් එහාට අරගෙන ගියපු වැඩක්. ඒ කියන්නේ සියුම් මෙවලම් උපයෝගී කරගනිමින් මේ සුමට ගල් කැට වල කැටයම් කපන එක සහ ඒ වලින් වෙනත් විවිධ නිර්මාණ කරන එක. ඇත්තටම නිර්මාණශීලීත්වය තියෙනවා නම්, දොළ පාරකින් හොයාගත්තු පුංචි සුමට ගල් කැටයක හිතාගන්න බැරි විදියේ කැටයම් නිර්මාණ කරන්න පුළුවන්.

 

5. Terrariums

දැන් ඔය බොන්සායි කලාවට ආස අය ඉන්නවනේ. මේ කියන්න යන්නෙත් ආන්න ඒ වගේ ආට් එකක් ගැන. මේකට කියන්නේ ටෙරෙරියම්ස් කියලා. ටෙරෙරියම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් සීල් කරන්න පුළුවන් වීදුරු භාජනයක් ඇතුළේ හදන ජෛව පද්ධතියකට. ඒ කියන්නේ ඒක ඇතුළට ගල්, පස්, වැලි දාලා, ඒකට අවශ්‍ය විදියේ ගස්, තණ වගේ දේවලුත් දාලා, ඒකට අවශ්‍ය ජලය ලබාදීලා, හිරු එළියත් එක්ක ස්වභාවිකවම පුංචි පහේ ජෛව පද්ධතියක් හැදෙන්න දෙන එක. හැබැයි මේක අපිට කලා නිර්මාණයක් කරගන්න පුළුවන්, අපේ දක්ෂතාවය සහ නිර්මාණශීලීත්වය එක්ක. හරියටම කිව්වොත්, නොකඩවාම වැඩෙන කලා නිර්මාණයක්. මේක ඉතාමත්ම හිතට තෘප්තියක් ගෙන දෙන, අපූරු විනෝදාංශයක් වෙනවා අනිවාර්යයි.

 

6. Cosmetic making

දැන් ඔය කොස්මෙටික්ස් කිව්වහම සාමාන්‍යයෙන් ගිණි ගණන් නේ. හැබැයි කතන්දරේ කියන්නේ මෙව්වා ගෙදර වුනත් හදාගන්න පුළුවන් ලු. ෂුවර් නැද්ද? කෝමාරිකා අඩංගු ෆේස් පැක් එකක් මූණට දාන කෙල්ලෝ ඉන්නේ දැන් වුනාට, ඉස්සර අම්මලගේ ආච්චිලාගෙ කාලේ ඒ ගොල්ලෝ කෝමාරිකා මූණේ ගාලා රූ සපුව ගොඩදාගත්තේ නැද්ද? සැවැන්දරායි අරකයි මේකයි අඩංගු ශාකසාර තෛලය කියලා ඔලුවේ ගාන්න ෆොරීන් බ්‍රෑන්ඩ් එකක තෙල් බෝතල් දැන් ආවට, ඉස්සර ආච්චිලාගේ අම්මලාගේ කාලේ ගෙදරම ඔලුවෙ ගාන සුවඳ තෙල් හින්දෙ නැද්ද? ආන්න ඒ වගේ තමයි. ඇත්තටම හරි විදියට, හරි ක්‍රමයට කරනවා නම් කොස්මෙටික්ස් ගෙදර හදන්න පුළුවන්. ඒකට ක්‍රම හොයාගන්නත් පුළුවන්. විනෝදාංශයක් විදියටත් මරු! මේ විදියේ නිතර පාවිච්චි වෙන බියුටි ප්‍රොඩක්ට්ස් ගෙදර හදාගන්න ක්‍රම සහ විධි ලේසියෙන්ම අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.

 

7. Feather Painting

අපි පුංචි කාලේ සමහර යාලුවන්ට තිබ්බා පිහාටු එකතු කරන විනෝදාංශයක්. හැබැයි සමහරු නං ඉතින් දකින දකින පිහාට්ට එකතු කරන නිසා, ගොඩක් ඒ අයගේ කලෙක්ෂන් එකේ තිබුණේ කපුටු පිහාටු. ඒත් වැඩේ සීරියස් කරපු යාලුවන් ඔය පිහාටු එකතු කිරිල්ල එක්කම බර්ඩ් වොචින් හෙවත් කුරුල්ලෝ බැලිල්ලත් කරපු නිසා, ඒ අයගේ කලෙක්ෂන් වල එක එක හැඩ රටා තියෙන මාර පිහාටු තිබුණා. හරි. ඔය වෛවර්ණ පිහාටු නෙවෙයි, අපි ගමු කවුරුත් දන්න කපුටු පිහාට්ටක්. කළුම කළුයි, එච්චරම තමයි. වෙන කිසි ගතියක්, විශේෂත්වයක් නෑ. හැබැයි, අපි ඔය පිහාට්ට මොකක් හරි පැටන් එකකට පාට කළොත් මොකද? එහෙම නැතිනම් පිහාට්ට උඩ චිත්‍රයක් ඇන්දොත්? කියන තරම් ලේසි නෑ පුතෝ. මොකද මේක බොහොම සියුම්වට කරන්න ඕන දෙයක්. හැබැයි ප්‍රතිඵලය ඉතාම තෘප්තිදායකයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *