දුප්පතාගේ කෑම වේලෙන් තරු පහේ කෑම වේලකට මාරු වුණ ආහාර වර්ග

දවස් දෙක තුනක පඩිය එක වේලකින් ඉවර කරන කෑම වර්ග තියෙනවනේ. ඒවා ඉතින් නිකන් ම කාලා දාන්නේ නැතුව ඒවයේ යටගියාව හොයන්න හිතිලා නැද්ද? ඇයි ඉතින් වියදමට සාපේක්ෂව ලෙඩ රෝග හැරුණු කොට ඒ වගේ දෙයක් හරි ඇඟේ ඉතුරු වෙන්නේ නැතෑ. ඒවගේ කෑම කීපයක නොදුටු පැත්තක් ගැන කතා කරන්නයි මේ සූදානම. මේවා දැන් ගිනි ගණන් වුණාට ඉස්සර තිබිලා තියෙන්නේ එදා වේල ටුවර්ස් සාමාන්‍ය ජනතාවට.

 


1. පිට්සා


චුට්ටං විතර පිට්සා එකක වුණත් ඉතින් ගණන චූටි නෑනේ. වෙන එකක් තියා එක පිට්සා කෑල්ලක් වුණත් බඩට වට්ට ගන්න හිතනවට වඩා ගාණක් කැප කරනවා. පිට්සාවල ආරම්භය ඇති වුණ ඉතාලියේ පිට්සා කියන්නේ ඔය තක්කාලි, ඔලිව්, මස් ටිකක් දාලා ක්‍රස්ට් එකත් එක්ක හදන අතිශය සාමාන්‍ය කෑමක්. මේක පොඩ්ඩක් පොශ් කෑමක් විදියට උඩට එන්නේ මාගරීටා පිට්සා එක්ක. අර කලින් තිබුණු සරල පිට්සා එක පොඩ්ඩක් සංකීර්ණ කරලා තව තව අමුද්‍රව්‍ය එකතු කරලා තමයි ඉතාලියේ දෙවන රැජින වන මාගරීටා බිසව කාලා තියෙන්නේ. ඉතින් ඔතනින් පොඩ්ඩක් ලෙවල් එකකට ආපු පිට්සා කන්න අද ඉතින් පොකැට්ටුවට දැනෙන ගාණක් යට කරන්න වෙනවනේ.



2. සුෂි


විශ්වාස කරන්න ඉතින් සුෂි කියන්නේ ජපානයේ ධීවර ජනතාවගේ කෑම වේල. නමුත් අද සුෂි කන්න පින් කරන්න ඕනි මට්ටමේ ලෙවල් එකක තමයි තියෙන්නේ. හැම රෙස්ටෝරන්ට් එකේම වගේ ඇත්තෙත් නැහැ. තියෙන ඒවත් එසේ මෙසේ තැන් නෙවෙයි. සුෂි ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ 20වන සියවසෙන් පස්සේ. එතකොට ඒ වෙනකන් ඒක දුප්පත් ජනතාවගේ විතරයි බඩකට පිරෙව්වේ.



3. ටිරමිසු


ටිරමිසු කියන්නේ ඉතාලියානු අතුරුපසක්. අයිස්ක්‍රීම්, වටලප්පන්, යෝගට් වගේ නෙවේ ටිකක් ගණනින් සහ රසයෙන් වැඩි අතුරුපසක්. ලංකාවෙදිත් රහ බලන්න බැරි කෑමක් නෙවේ. ටිරමිසු ආරම්භ වෙලා තියෙන්නේ ඉතාලියේ එක් ප්‍රදේශයක කම්කරු ප්‍රජාවට ශක්තිය වඩවා ගන්න දුන් ආහාරයක් විදියට. මේවා රහ කර කර කන ලොකු නෝනා මහත්තුරු මේ වතගොත දැනගෙන කනවා හොඳයි.



4. පැස්ටා


පුනරුද සමයේ ඉතාලියේ බොහෝ දුගියන්ගේ කුස ගිනි නිවූ ආහාරය පැස්ටා. අද ඉතින් පැස්ටා කන්න වෛවාරණ හැඳි ගෑරුප්පු තියෙනවා. එදා පාරවල් බෝක්කු උඩ ඉඳන් ඉතාලි ජාතිකයන් පවා මේවා කාලා තියෙන්නේ අතින්. අතින් කන එක අපිට හුරු වුණාට ඔවුන්ට හුරු දෙයක් නෙවෙයි. ඉතින් පැස්ටා කියන්නේ ගෙවල්වල හැඳි ගෑරුප්පු පවා නැති, ගෙවල් පවා නැති මිනිස්සුන්ගේ බඩගිනි නිවපු ආහාරයක්. 16 වන සියවසෙන් පස්සේ පැස්ටා නැති ඉතාලියානු මෙනුවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පැස්ටා ෆැක්ටරි එක්ක තවත් පොඩි තත්ත්වයක් ආහාරයට එකතු වෙන්නෙ. අද ඉතින් රසවත් පැස්ටා ප්ලේට්ටුවක ගණනත් එක්ක පෑහෙන්න ටිකක් විතර අමාරුයි.

 


5. කැවියර්


කැවියර් කියන්නේ ලුණු දාපු මාළු බිත්තර විශේෂයක්. කැවියර් ග්‍රෑම් 30ක වගේ ප්‍රමාණයකට අවමය රු. 15000ක් විතර වෙනවා. ඉතින් මේ ලෝකේ තියන මිල අධිකම ආහාර වර්ගයක්. දැන් මේ අහස උසට ගණන් ගිහින් තිබ්බට ඉස්සර කැවියර් වැඩි වෙලා ඇමරිකන් ජාතිකයන්ට මේවා නිකන් දීලා තියනවා. අදාළ මත්ස්‍ය විශේෂය එන්න එන්න අඩු වීම එක්කයි ගණන් ගිහින් තියෙන්නේ.



6. චිකන් වින්ග්ස්


ලෝකයේ චිකන් එක්ක වැඩ දාන රෙස්ටෝරන්ට් ෆ්‍රැන්චයිස්වල ඉඳන් ලොකු ලොකු අවන්හල් දක්වා චිකන් වින්ග්ස් තියනවා. කුකුළගේ ශරීරයේ අනෙකුත් හොඳට ම මස් තියෙන කොටස්වලටත් වඩා ඩිෂ් එකක් විදියට මිල ඉහළ චිකන් වින්ග්ස්වල. මේවා ඉස්සර කුකුළා හම ගහද්දි ම විසි කරපු අනවශ්‍ය ශරීරාංගයක්. ඒකටත් එක්ක දැන්!



7. පොකිරිස්සෝ


19 වන සියවසේ පොකිරිස්සෝ ආහාර වේලක් කියන්නේ දුප්පතුන්ව හඳුනාගන්න පුළුවන් සංකේතයක්. ඒ මිනිස්සුත් ඒවා නොකන කොට වෙලාවක මාළු අල්ලන්නත් පොහොර විදියටත් භාවිත කරා. පස්සේ මිනිස්සු දැනගත්තා පොකිරිස්සෝ හදන්න එක එක ක්‍රම. ඉතින් ඒ සූප ශාස්ත්‍ර එක්ක පොකිරිස්සගේ නියම රහ සහ අගය වැඩි වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *