ටැකෝ ගැනයි ටැකෝබෙල් ගැනයි අපි නොදන්න දේවල්

facts and history of tacos and tacobell

ටැකෝ ගැන කෙසේවෙතත් අපේ අය මේ වෙද්දි ටැකොබෙල් ගැන නම් අනිවාර්යයෙන් ම දන්නවා ඇති. ඇමෙරිකාවේ විශාලතම මෙක්සිකානු අවන්හල් ජාලය වන ටැකොබෙල් බොහොම ලඟදි දවසක අපේ රටෙත් තමන්ගේ ශාඛාවක් විවෘත කළා. ටැකෝබෙල් නිර්මාපකයා ග්ලෙන් බෙල් කියලා පුද්ගලයෙක්. ලෝකේ වටේ විසිරුණු 6000 කට වැඩි අවන්හල් ජාලයක් ටැකෝබෙල් ආයතනය සතුයි. මෙක්සිකානු සම්ප්‍රදායික ආහාර වට්ටෝරු වන ටැකෝ, නාචෝ, බුරිටෝස් වගේ ප්‍රනීත ආහාර ටැකොබෙල් අවන්හලේ දි ඔබට රස බලන්නට පුළුවන්. අවුරුද්දකට ලොව පුරා පාරිභෝගිකයන් බිලියන දෙකකට පමණ ටැකොබෙල් තමන්ගේ සේවා සපයන බවට වාර්තා වෙනවා.

facts and history of tacos and tacobell

Source – pinterest.com

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ තමයි ටැකොබෙල් අවන්හල් වල ආරම්භය සටහන් වෙන්නේ. සමාගමේ නිර්මාතෘ ග්ලෙන් බෙල් මහත්මය තරුණ කාලේදී මුලින්ම පටන් ගත්තේ හොට් ඩෝග් අවන්හලක්. ඒ වුනත් පාරේ අනිත් පැත්තේ තියන මිට්ලා කැෆේ කියන මෙක්සිකානු ආපන ශාලාවට ගොඩ වෙන්න මිනිස්සු පාර දිගේ දිග පෝලිම් වල බලගන ඉන්න හැටි බෙල් මහත්මයට දකින්න ලැබුනා. නිතර දකින නිසා මේකට හේතුව ගිහිල්ලම බලන්න ඕන කියල හිතපු තරුණ බෙල් මහත්මයා පස්සේ කලෙක මේ අවන්හලේ හොඳ ගනුදෙනු කරුවෙක් වුණා ලු. අන්තිමේ දි කොහොමහරි රස බලපු වට්ටෝරු ටික හොයාගන්න එයාට පුළුවන් වෙලා. ඉතින් 1951 අග භාගයේදී, එහෙමත් නැත්නම් 1952 මුල් කාලේ වගේ ග්ලෙන් බෙල් මහත්මය අලුත් ටැකෝ අවන්හලක් පටන් ගන්නවා ටැකෝ- ටියා නමින්. මේක තමයි දැන් වෙද්දි ටැකොබෙල් කියන සුපිරි මෙක්සිකානු අවන්හල් ජාලය විදිහට ලෝකේ පුරා ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.1978 දි පෙප්සිකො සමගම ග්ලෙන් බෙල් මහත්මයාගෙන් ටැකොබෙල් ජාලය මිලදී ගන්නවා.  1995 වෙද්දි ටැකොබෙල් ලෝකප්‍රකට KFC අවන්හල් සමූහය සමග හවුල් ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ පීසා හට් එක්කත් ලෝන්ග් ජෝන් සිල්වර් එක්කත් ටැකොබෙල් එකතු වුණා.

විශේෂත්වය තමයි ටැකොබෙල් හි මූලික ව්‍යාපාරික අරමුණ පහසු මිලට සුපිරි අහර වේලක් ලබා දෙන එක. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇමෙරිකානු ඩොලර් එකට අඩු මිල වලට නියම වුන විශේෂ ආහාර මෙනු තියෙනවා. ඇමෙරිකානුවන් ඒවා හඳුන්වන්නේ Dollar Cravings කියලයි. කුළුබඩු මිශ්‍ර වුණු සැරට හුරු සම්ප්‍රදායික ටැකෝ විතරක් නෙවෙයි, පැණිරස අයිස්ක්‍රීම් සහ වෆ්ල් වලින් හදන ටැකෝ වර්ගත් දැන් වෙද්දි ටැකොබෙල් අවන්හල් වල වැඩියෙන් ම අලෙවි වෙන වට්ටෝරු අතරට එක වෙලා තියෙනවා. කොහොම වුනත් සමාගමේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් නම් ටැකොබෙල් දරන්නේ එච්චර හොඳ නමක් නෙවෙයි. 2005 දි CIW ආයතනය මානව හිමිකම් සම්බන්ධයෙන් ටැකොබෙල් ආයතනයට විරුද්ධව ගොනු කරපු නඩුවකින් ටැකොබෙල් පරාජයට පත් වුණා. අවසානයේ ඔවුන්ට සිදු වුණා ෆ්ලොරීඩාවේ තක්කාලි සැපයුම් සේවකයන් ගේ වැටුප් සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරන්නට.

හැබැයි තවමත් ප්‍රණීත මෙක්සිකානු ආහාර සැපයුම් කරුවන් අතරේ ඉදිරියෙන් ම ඉන්නට ටැකොබෙල් සමත් වෙලා තියෙනවා. ඔන්න ලංකාවෙත් දැන් ටැකොබෙල් තියෙන නිසා කැමතිනම් ගිහිල්ල රස බලන්නත් පුළුවනි.

ටැකොබෙල් ගැන මෙහෙම කතා තිබුණට බෙල් මහත්මයාගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වුණේ සමාගමටත් වඩා මේ ප්‍රනීත මෙක්සිකානු රසය, ටැකෝ. ටැකොබෙල් ගැන දන්නා අයත් සමහරවිට ටකෝ ගැන හරියටම දන්නේ නැතුව ඇති. ඒ නිසා ටැකෝ ගැනත් ටිකක් හොයල බැලුවොත් හොඳයි.

facts and history of tacos and tacobell

Source – yummly.com

ටැකෝ වලට ඉතින් කවුරුත් කැමතියි නේ. ඒ ගැන කතා දෙකක් නෑ. ඔබ දන්නවද ටැකෝ මුලින්ම හදලා තියෙන්නේ කවුද කියල? ඒ කතාව මෙක්සිකෝවට ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණි කාලය තරම් ඈතට දිව යනවා. ඒ කාලයේ මෙක්සිකෝ නිම්නයේ ජීවත් වුනු ස්වදේශික ජනයා කුඩා මාළු මැදට පුරවපු ටැකෝ ආහාරයට අරන් තියෙනවා. Hernando Cortez කියන ස්පාඤ්ඤ නාවිකයා ඇතුළු පිරිස තමයි ටැකෝ රස බලපු පළවෙනි යුරෝපීයයන් කණ්ඩායම. ඒ වගේ ම තමයි OLMECA කියන ස්වදේශික ගෝත්‍රයේ කාන්තාවෝ තමන්ගේ ස්වාමි පුරුෂයන්ට හදන කෑම විශාල රොටියක් වගේ දෙයක ඔතල දීලා තියෙනවා ලු අතර මගදී කෑමට ගන්න පුළුවන් වෙන විදිහට. ඔන්න ඔය ක්‍රමයෙන් දියුණු තියුණු වෙලා අන්තිමට අපි අද දකින ටැකෝ හැදුනයි කියලත් කතාවක් තියෙනවා. ටැකෝ නිසා නම් කරපු දෙවිවරුත් ඉපැරණි මෙක්සිකෝවේ අදහපු බවට ජනප්‍රවාද තියෙනවා.

ටැකෝ කියන වචනේ මෙක්සිකන්- ස්පාඤ්ඤ භාෂාවෙන් ඉංග්‍රීසියට හැරෙව්වම එහි අදහස “සැහැල්ලු දිවා ආහාරය” කියන එකයි. ඇත්තටම බැලුවොත් ටැකෝ එකක් ඇතුලේ කෑම වර්ග ගොඩක් තියෙන නිසා එහෙම කියන එකෙත් ඇති වැරැද්දක් නැහැ. ගොඩක් දේවල් එකතු වුණු තනි ආහාරයක් නිසා පැහැදිලිවම ටැකෝ කියන්නේ දිවා වේලකට කියාපු කෑමක්.

facts and history of tacos and tacobell

Source – deliciousasitlooks.com

සම්ප්‍රදායික ටැකෝ වලත් ප්‍රභේද ගණනාවක් ම තියෙනවා. පිරවුම වගේම කවරය අනුවත් මේ විශේෂ එකිනෙකින් වෙනස් වෙනවා. ටැකෝ වල කවරය හරියටම තේරෙන විදිහට කිව්වොත් රොටියක් වගේ. මේ රොටිය හදන්නේ ඉරිඟු නැත්නම් තිරිඟු පිටි වලින්. මැදට දාන පිරවුම තමයි රසවත් ම කොටස. පිරවුම සකස් කරන්න නොයෙකුත් දේවල් භාවිත වෙනවා. කුකුළු මස්, ඌරු මස්, එළු මස්, බේකන්, මුහුදු මාළු, ඉස්සන්, දැල්ලන් වගේ ම විවිධ එළවලු වර්ග සහ චීස් ඒ අතරට දක්වන්න පුළුවනි. තක්කාලි, චිලි පෙපර්, ළූණු වගේම අලිගැටපේර ත් ටැකෝ වල Garnishing වලට යොදා ගන්නවා.

facts and history of tacos and tacobell

Source – lamalincherahway.com

සම්ප්‍රදායික ටැකෝ වර්ග වලට අමතරව සූප ශාස්ත්‍රයේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන උදවිය දැන් කාලේ වෙද්දි අලුත් අලුත් ටැකෝ වර්ග ලෝකෙට හඳුන්වා දීලා තියෙනවා. මේ අතරේ විශේෂයෙන් ම පිටත වැස්ම බොහොම ඝනකම් ටැකෝ සහ මෘදු වැස්මක් සහිත ටැකෝ ප්‍රධානයි. Hard Shell Taco සහ  Soft shell Taco කියල මේ වර්ග දෙක හඳුන්වනවා. 1947 දි මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නු Hard shell taco හරිම ක්‍රිස්පී ගතියට හැපෙන නිසා බොහෝ දෙනෙක් මේවට කැමතියි. ඒ වගේමයි ටැකෝ ලෝකේ පුර ජනප්‍රිය වෙන්න ගත්තෙත් hard shell taco නිසා. දැන් වෙද්දි අයිස්ක්‍රීම් සහ වෆ්ල් ටැකෝ බොහොම ජනප්‍රියයි.

facts and history of tacos and tacobell

Source – travelandleisure.com

Indian taco එහෙමත් නැත්නම් navajo taco කියන්නේ තවත් විශේෂ ආහාරයක්. මේකෙදි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Tortilla වෙනුවට වැස්ම විදිහට පාවිච්චි කරන්නේ Frybread එකක්. නම ඉන්දියන් වුණාට මේ ටැකෝ වල අයිතිකාරයෝ නම් ඉන්දියානුවෝ නෙවෙයි, ඇමරිකානු සහ කැනේඩියානු ස්වදේශික ජනතාව. navajo taco හරියට රොටියක් උඩ තියපු පිරවුමක් වගෙයි.

facts and history of tacos and tacobell

Source – tsgcookin.com

සාමාන්‍යයෙන් ටැකෝ වල පෝෂ්‍ය ගුණය ගැන කතා කලොත් උරුමස්, චීස් සහ ලේටුස් ඇතුලත් ටැකෝ ග්‍රෑම් 100 ක කැලරි 226ක්, මේදය ග්‍රෑම් 13ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 20ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 9ක් වගේම විටමින්, කොලේස්ට්‍රෝල් සෝඩියම් වැනි ලවණ වර්ගත් ඇතුලත් වෙනවා. අනිවාර්යෙන්ම මේ අගයන් ටැකෝ විශේෂ අනුව වෙනස් වෙනවා.මොකද ටැකෝ කියන්නේ සෑහෙන විවිධත්වයක් තියෙන ආහාර වර්ගයක් නේ. තමන්ගේ සෞඛ්‍යයට හිතකර වෙන පරිදි ටැකෝ තෝරා ගන්නත් ඒ නිසා පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔන්න කෑමක් කාලා ලෙඩ වැඩි වුණොත් කෑමට බනින්න තියෙන අවස්ථාව නම් ටැකෝ වල හරි ම අඩුයි.

facts and history of tacos and tacobell

Source – ratebeer.com

ටැකෝ වල ජනප්‍රියතාව කොච්චරද කියනවා නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ “ජාතික ටැකෝ දිනය” කියල දිනයකුත් නම් කරලා තියෙනවා. දැනගන්න ලැබෙන විදිහට නම් ඇමෙරිකාවේ මේ දිනය සමරන්නේ ඔක්තෝබර් මාසේ 4 වැනිදා, මෙක්සිකෝවේ මාර්තු මාසේ 31 වැනිදාටයි, ජාතික ටැකෝ දිනය යෙදිලා තියෙන්නේ. වාර්තා වලට අනුව 2012 වර්ෂයේදී විතරක් ඇමෙරිකානුවන් ටැකෝ බිලියන 4.5ක් ආහාරයට අරන් තියෙනවා. ඉතින් හිතන්නකෝ ටැකෝ කොයි තරම් ජනතාව අතර ගිහිල්ල තියෙනවද කියල.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *