ටෙලිනාට්‍ය සහ චිත්‍රපටිවල රඟපාපු අ​පේ ගායක ගායිකාවෝ

පහුගිය සති කිහිපය පුරාවටම අපි නළු නිළියෝ ගැන විවිධ මාතෘකා යටතේ කතා කළා. මේ නිසා අපි අද හිතුවා වෙනසකටත් එක්ක ගායක ගායිකාවෝ ගැන කතා කරන්න.

හැබැයි විශේෂත්වය වෙන්නේ මේ ගායක ගායිකාවෝ හැම දෙනාම රඟපාල තියන එක.

 

1. ලක්ෂ්මන් විජේසේකර 

විරාගය චිත්‍රපට​යේ අරවින්දගේ චරිතය රඟපෑවේ කවුද කියලා ඔයාගෙන් ඇහුවොත් අනිත් පැත්තට උත්තරේ ලැබෙයි සනත් ගුණතිලක කියලා. ඒ වගේම අවිවාදයෙන්ම සනත් ගුණතිලකගේ විශිෂ්ටතම රංගනය තමයි විරාගය. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට විරාගය චිත්‍රපටයේ අරවින්ද​ට රඟපාන්න තිස්ස අබේසේකර මහත්මයා මුලින්ම තෝරාගෙන ඉ​ඳලා තියෙන්නේ ලක්ෂ්මන් විජේසේකරව. නමුත් චිත්‍රපටියෙ නිෂ්පාදිකාව වුණු චන්ද්‍රා මල්ලවආරච්චි මහත්මිය, ඒ අදහසට විරුද්ධ වෙලා, සනත් ගුණතිලකගේ නම යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාව කිසිසේත්ම වැරදි නෑ කියලා සනත් අපිට ඔප්පු කළා. විරාගයේ රඟපාන්න අවස්ථාව නොලැබුණත් ලක්ෂ්මන් විජේසේකර මහත්මයා අපිට මතක හිටින ටෙලිනාට්‍ය දෙකක රඟපෑවා. ඒ අපේ පළවෙනි සංගීතමය ටෙලි නාට්‍යයක් වන රේඛාව ටෙලිනාට්‍යයේ සහ අතිශයින් ජනප්‍රිය වුණු ගංගා ස​හ නිශ්ශංක ටෙලි නාට්‍යයේ.

 

2. ජගත් වික්‍රමසිංහ 

ජගත් වික්‍රමසිංහ හා හා පුරා කියලා රඟපෑමට එක් වෙන්නේ කන්දෙ ගෙදර ටෙලිනාට්‍යයෙන්. එම ටෙලි නාට්‍ය​යේ කුඩා චරිතයක් ජගත් විසින් නිරූපණය කළා. ඉන්පසුව මාලදිවයිනේ රූගත කරන ලද සාගර තරංගා ටෙලි නාට්‍යයෙත් ඔහු කැපී පෙනෙන රඟපෑමක නිරත වුණා. පුනර්භවය පදනම් කරගත් ‘දේවී’ නම් ටෙලිනාට්‍යයක රංගනයේ යෙදීමේදී ජගත් සහ එහි රඟපෑ නිළිය හදිසි අනතුරකට ලක් වන්නට ගොස් අනූනමයෙන් ජීවිතය ගලවා ගන්නවා. ජගත් වික්‍රමසිංහ කියන්නේ මේ සිදුවීමෙන් පස්සේ තමන්ට රංගනයට තිබූ ආශාව අඩු වුණා කියලායි.

 

3. සමිතා මුදුන්කොටුව 

සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ජනප්‍රිය නවකතාවක් වුණු දළ රළ පෙළ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍ය​ය පිළිබඳව මතකය තවමත් අපේ ප්‍රේක්ෂකයා තුළ රැඳී තිබෙනවා. ඒකට එක හේතුවක් වන්නේ “වලා අතුල සිරි යහනේ” ටෙලි නාට්‍ය තේමා ගීතය. ඊට අමතරව එහි ප්‍රධාන චරිත නිරූපණය කළ සොමී රත්නායක සහ සමිතා එරන්දතී මුදුන්කොටුව ගේ රඟපෑම. ගැමි පරිසරයක උපත ලබ​න තරුණියක් තමන් මෙහෙකාරියක ලෙස සේවය කිරීමට පැමිණි නිවසේ ස්වාමියා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවයක මානුෂික ස්වරූපය මේ ටෙලි නාට්‍යය තුළින් කතාබහට ලක් වුණා.

 

4. ඩබ්.ඩී අමරදේව

අශෝකමාලා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පැවරෙන්නේ මොහොමඩ් ගවුස් මාස්ටර්ට. මේ කාලයේදී ගවුස් මාස්ටර්ගෙ හොඳම ගෝලයා වෙලා ඉන්නෙ ඇල්බට් කියලා කොලුගැටයෙක්. මේ කොලු ගැටයාවත් එක්කගෙන ගවුස් මාස්ටර් ඉන්දියාවට යනවා. තමන්ගේ ගුරුවරයාගේ සංගීත කටයුතුවලට සහාය වන ගමන්ම ඇල්බට්ට අශෝකමාලා චිත්‍රපටයේ ගීත ගායනා කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. මේ අතරතුරේ දී ඇල්බට්ට තව කණා චාන්ස් එකක් වදිනවා. ඒ තමයි අශෝකමාලා චිත්‍රපටයේ තාපසයෙකුගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙන එක. අශෝකමාලා චිත්‍රපටය තිරගත වීමෙන් පස්සේ කොරලවැල්ල ප්‍රදේශයේ ජීවත් වුණු ඇල්බට්ව ක්ෂේත්‍රයේ මිතුරන් හඳුන්වන්නේ “කොරලවැල්ලේ තාපසයා” කියලා. මේ ඇල්බට්, ඒ කාලේ තිබ්බ සම්ප්‍රදාය අනුව ඉංග්‍රීසි නම අත්හැරලා දාලා පස්සේ කාලෙකදී ඩබ්ලිව්.ඩී අමරදේව බවට පත්වෙනවා.

 

5. ලතා වල්පොල 

ලතා වල්පොල මහත්මිය සිංහල සිනමාවේ චිත්‍රපට හතරක සුළු චරිත නිරූපණය කරන්න දායකත්වය ලබාදීලා තියෙනවා ඇය පළවෙනි වතාවට රංගනයට එකතුවෙන්නෙ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයෙන්. පසුව “එදා රෑ, ප්‍රේම තර​ඟය හා රද​ළ පිළිරුව” යන චිත්‍රපටිවල රඟපානවා. රද​ළ පිළිරුව චිත්‍රපටියෙදි “ආලය නම් කළේ නුඹව සොයා” ගීතය ගායනා කරමින් රංගනයේ යෙදෙන්න ඇය සමත් වෙනවා.

 

6. එච්.ආර් ජෝතිපාල 

අද වෙනකොට බොහෝ දෙනෙක්ට ජෝතිපාල කියන නළුවාව අමතක වෙලා තියෙනවා. හැබැයි ​ඒකේ දොසක් කියන්නත් බැරි, එච්.ආර් ජෝතිපාල අතිශය සාර්ථකත්වයට පත් වුණේ ගායකයෙක් විදිහට නිසා. ජෝතිපාල රංගනයෙන් දායක වුණු  චිත්‍රපටිය හතක් විතර තියෙනවා. “ඇතුළුවීම තහනම්, සූකිරි කෙල්ල, අබිරහස, ශාන්ති, බෝනික්කා සහ සුජීවා” ඒ චිත්‍රපටි. මීට අමතරව ජෝතිපාල විසින් චිත්‍රපටි දෙකක් නිෂ්පාදනය කරනු ලැබුවා. ඒ චිත්‍රපටි දෙක වන්නේ ‘සුමිතුරෝ’ සහ ‘ඔබයි මමයි.’ මේ චිත්‍රපට දෙකටම ජෝතිපාල රංගනයෙන් දායක වුණා.

 

7. රාජු බණ්ඩාර 

රාජු බණ්ඩාර ගේ පළවෙනි සහ අවසාන රඟපෑම ඇතුලත් වෙලා තියෙන්නෙ ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බඳු ටෙලිනාට්‍යයක. ඒ අශෝක හඳගම අතින් නිර්මාණය වුණු “දියකැටපහණ” ටෙලිනාට්‍යයි. එම ටෙලිනාට්‍යය රඟපෑම ගැන තෘප්තිමත් ​බවට තමන් පැමිණුනත් නැවත තමන් රඟපෑමේ බලාපොරොත්තුවක් නැහැයි කියලා රාජු බණ්ඩාර ඒ දවස්වලම ප්‍රකාශ කළා.

 

එහෙම නම් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම අපි ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා, ඒකට උත්තරේ කමෙන්ට් කරගෙන යන්න

 

“රේඛා ටෙලි නාට්‍යයේ ලක්ෂ්මන් විජේසේකරට අමතරව තවත් එක් ගායිකාවක් රංගනයේ යෙදුණා, ඒ ගායිකාව කවුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *