මිනිහෙක් පරිපූර්ණ වෙන්නනම් පුතෙක් හදන්න ඕන, ගහක් වවන්න ඕන සහ පොතක් ලියන්න ඕන කියල කතන්දරයක් අහල තියෙනවා නේද? එහෙම කිව්වට ඉතින් ඔය ලියනවයි කියන රාජකාරිය හැමෝටමත් කරන්න බැහැ. ඒකට හොඳ ඉවසීමක්, හසල දැනුමක්, සමබර චින්තනයක් වගේම වෙන්කරන්න කාලය සහ හිතේ නිදහස කියන කාරණා මහා ගොඩක් සම්පූර්ණ වෙන්න ඕනෙ. අනිත් එක තමයි ලියනව කියන්නෙ පිටු බරගාණක නවකතාවක් හෝ ශාස්ත්‍රීය ග්රන්ථයක් ලියල පල කරන එකමත් නෙමෙයි. තමන්ගේ හිතට දැනෙන සිතුවිල්ලක් වචන දෙක තුනක කවියකින්, එක්කෝ පුංචි රචනාවකින් සමාජයට දැනෙන්න ලියන කෙනත් ඉතින් ලියන්නෙක් තමයි. හැබැයි ඔහොම හිතට දැනෙන දේවල් ලියල ලෝක අමාරු කරේ දාගත්ත උන්දැලා ඉතිහාසයේ ඕන තරම්. මේ කියන්න යන්නෙ අන්න එහෙම තමන් ලියපු දේවල් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උන කතුවරු කීපදෙනෙක් ගැනයි.
1. Ahmed Naji, Egypt
ඊජිප්තුවේ අහමඩ් නාජි කියන මේ කතුවරයා හිරබත් කන්නේ ඔහුගේ Using Life කියන නවකතාව පිළිබඳව ඇතිවුන ගැටළුවක් හේතුවෙන්. නමුත් විශේෂම කාරණය කියන්නෙ මේ නවකතාව ඊජිප්තු වාරණ මණ්ඩලය විසින් මුලින්ම අනුමත කළ නවකතාවක් වීම. නමුත් මේ පොතේ අන්තර්ගතය වුන ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය සහ ලිහිල් ජීවන රටාව ගැන ඊජිප්තු පුරවැසියෙක්ම කරන පැමිණිල්ලක් හේතුවෙන් නාජිට සිරබත් කන්න සිදුවෙනවා. පැමිණිල්ලේ සඳහන් වෙන්නෙ කියවීම මඟින් ඔහුගේ හෘද ස්පන්ධනය වේගවත් වෙලා රුධිර පීඩනය ඉහළ යන තරමටම මහජන සදාචාරය උල්ලංඝණය වන කාරණ මේ පොතේ ඇතුළත් උන බවයි. කොහොම උනත් 2015 දී නාජි වසර දෙකකට සිර දඬුවමකට යටත් වෙලා සංචාරක තහනමක් යටතේ මාස 10ක කාලයකින් නිදහස ලබනවා. පසුකාලින නඩු විභාගයේදී ඔහුට නැවත දඩ මුදලක් ගෙවන්නත් සිදුවෙනවා. කොහොම උනත් නාජි දැන් සිය බිරිඳත් සමඟ එක්සත් ජනපදයේ ජිවත් වෙන බව තමයි කියන්නෙ.
2. Nurmuhemmet Yasin, China
චීන ජාතික යාසින් කියන්නෙ චීනයේ ෂින්ජියැන් උයිගර් ස්වයන් පාලන කලාපයේ ජිවත් උන උයිගර් ලේඛකයෙක් සහ කවියෙක්. ඔහු විසින් රචනා කරලා පළ කරන පළවෙනි කෙටිකතාව උන “The Blue Piegon” එහෙමත් නැත්තම් නිල් පරවියා කියන කතාවේ අන්තර්ගතය සහ නම හේතුකොටගෙන ඔහුට 2005 වසරේදී වසර 10ක සිර දඬුවමකට නියම වෙන්න සිද්ධ වෙනවා. චෝදනාව වෙන්නෙ කතාවේ අන්තර්ගතය මඟින් බෙදුම්වාදය උසිගැන්වීමට උත්සාහ කිරීම කියන එකයි. කතාවේ සඳහන් වෙන්නෙ නිල් පරවි රජෙක් වෙන පරවියන් පිරිසක් විසින් අල්ලගත්තට පස්සේ වහලෙක් විදිහට සිරභාරයේ ගත කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු විෂ සහිත ස්ට්‍රෝබෙරි ගෙඩියක් කාල සියදිවි හානි කරගැනීම ගැනයි. නිල් පාට කියන්නේ උයිගර් නිදහස් සටනේදී භාවිත කරන වර්ණයක් වීමත් මේ කතාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් තහනමට ලක් කරන්න හේතුවක් උන බව කියනවා. කොහොම උනත් මේ කතන්දරේ නිසා ලේඛකයාට විතරක් නෙමෙයි පොත ප්රකාශනයට පත් කරපු ප්රකාශකයටත් අවුරුදු 3ක කාලයකට හිරේ යන්න උනා කියල තමයි කියන්නෙ.
3. Tal Al-Mallouhi, Syria
ඔන්න මේ ලිස්ට් එකේ කාන්තාවනුත් ඉන්නවා. සිරියානු ජාතික මල්ලූහි කියන්නේ 2009 වසරේදී 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. ඇය ලියන්නෙ බ්ලොග් අඩවියක්. කවි සහ සමාජ විවරණ වලින් සමන්විත ඇගේ බ්ලොග් අඩවිය මඟින් විදේශීය රාජ්‍යයකට ඔත්තු සැපයෙන බව කියමින් කිසිඳු සාක්ෂියක් නොමතිව සැකපිට පමණක් රාජ්‍ය ආරක්ෂක අංශයන් විසින් අයව අත්අඩංගුවට ගන්නවා. මාස 9ක කාලයක් අවිනිශ්චිත චෝදනා යටතේ ඇයව රඳවා ගෙන අවසානයේ කිසිඳු චෝදනාවක් හෝ සාක්ෂියක් නොමැතිව උනත් අධිකරණය විසින් ඇයට වසර 5ක සිර දඬුවමක් නියම කරනවා. කාලෙකට පස්සේ ඇයව නිදහස් කළ බව රාජ්‍ය ආරක්ෂක වාර්තා මඟින් කියවුණත් අත්අඩංගුවට පත් උනාට පස්සෙ මේ වෙනකන්ම ඇගේ පවුලේ කිසිම කෙනෙක් ඇය ගැන තොරතුරක් කියන්න දන්නේ නම් නැහැ.
4. Zunar, Malaysia
මැලේසියානු ජාතික සුනාර් එහෙම නැත්තම් සුල්කිෆ්ලී අන්වර් කියන්නේ මුලිකවම කාටූන් නිර්මාණ ශිල්පියෙක්. පාලනයට ලක්වුණ රාජ්‍ය මාධ්‍ය විසින් ආවරණය නොකරපු මැලේසියානු දේශපාලනයේ දූෂණ සහ අයුක්තිය විවේචනය කරමින් නිර්මාණය කෙරුණු කාටුන් පෙළක් ට්විටර් වෙබ් අඩවියේ පල කිරීම කියන වරදට 2015 වර්ෂයේදී සුනාර්ව අත්අඩංගුවට ගන්නවා. දේශද්‍රෝහී චෝදනා 9ක් යටතේ අවුරුදු 43ක සිර දඬුවමක් ඔහුට හිමිවෙනවා. ඒ විතරක් නෙමෙයි 2015 වර්ෂයට කලින් ඉඳන්ම, ඒ කියන්නේ 2004 ඉඳන්ම රජය විසින් විවිධ අවස්ථාවන් වලදී සුනාර්ව අත්අඩංගුවට අරගෙන, ඔහුගේ ප්‍රකාශකයා, මුද්‍රණ යන්ත්‍ර වැටලීම් කරලා, ඔහුගේ පොත් 9ක් තහනම් කරන්නත් කටයුතු කරල තියෙනවා. ඒ පොත් මිලදී ගන්නා ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න බවට තර්ජන පවා කරලා තියෙනවා. කොහොම උනත් 2018 මැතිවරණයෙන් නව රජයක් පත්වෙලා, හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත්තට පස්සේ සුනාර්ව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරෙනවා.
5. Dareen Tatour, Israel/Palestine
මැයත් කාන්තා ලේඛිකාවක්. 2015 සහ 2016 දී ඊශ්‍රායල් රජය ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම් වලට සමාජ මාධ්‍ය හරහා අනුබල දුන් බව කියමින් 400 පමණ පිරිස අත්අඩංගුවට ගන්නවා. උතුරු ඊශ්‍රායලයේ ජීවත් උන පලස්තීන කවියෙකු වුන ටාටෝර් ඒ අතරින් එක්කෙනෙක්. ඇය ෆේස්බුක් සහ යූ ටියුබ් වල පළකරපු කවි හේතුවෙන් තමයි ඇයව අත්අඩංගුවට ලක්වෙන්නේ. සාහිත්‍යකරුවන් 300කට ආසන්න පිරිසක් කවි ලිවීම අපරාධයක් නොවන බව කියමින් ඇයව නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කළත් 2018 දී ඇයට මාස 5ක සිර දඬුවමකට ලක්වෙන්න සිදුවෙනවා.
6. Ashraf Fayadh, Saudi Arabia
අෂ්රෆ් ෆයාද් කියන්නේ හඳුනාගැනීමේ ලියකියවිලි කිසිම දෙයක් නැතුව සවුදි අරාබියේ ජීවත් උන පලස්තීන සරණාගතයෙක්. ඔහුව 2013 දී අත්අඩංගුවට ගන්නේ ආගමික බලධාරීන්ට ලැබෙන පැමිණිල්ලක් අනුවයි. එයින් කියවෙන්නේ ඔහුගේ කාව්‍ය සංග්‍රහය මඟින් අදේවවාදය ප්‍රවර්ධනය කිරීම, නබිතුමාට අපහාස කිරීම සහ ශුද්ධ වූ අල් කුරාණය පිලිබඳ සැක පහළවෙන කරුණු දැක්වීම සිදු කෙරෙනවා කියන එකයි. ඇදහිල්ලට විරුද්ධව කැරළි ගැසීම කියන චෝදනාව මත 2015 දී ඔහුට මරණ දණ්ඩනය නියම වුනත් අවසාන මොහොතේ ඉදිරිපත් කළ අභියාචනයක් මඟින් එය වසර 8ක සිර දඬුවමක් සහ කස පහර 800ක් දක්වා අඩු කෙරෙනවා.
7. ශක්තික සත්කුමාර
ඔන්න ඔය හිරේ විලංගුවේ වැටුන කතුවරුන්ගේ ලැයිස්තුවට අපේ ලංකාවෙන් ඇතුළත් වුන මේ දවස්වල සෑහෙන්න කතා බහට ලක්වෙන කෙනෙක් තමයි මේ කියන්නේ. ශක්තික කියන්නේ සම්මානලාභී කතුවරයෙක්. 2019 අප්‍රේල් මාසෙ 01 වැනිදා ශක්තික අත්අඩංගුවට පත්වෙන්නේ එක්තරා බෞද්ධ කණ්ඩායමකගේ පැමිණිල්ලක් මතයි. ඔහු විසින් මෑතක රචනා කරලා ෆේස්බුක් සහ ප්‍රාදේශීය සිංහල භාෂා ප්‍රකාශන කිහිපයක පළකරපු “අර්ධ” කියන කෙටි කතාව තුළ ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර සමලිංගික සබඳතා පිලිබඳ වක්රාකාර කරුණු ඇතුළත් වුනාය කියන පදනම මතයි මේ පැමිණිල්ල යොමුවෙලා තියෙන්නේ. “වෙනස් කොට සැලකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වයට පොළඹවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී සිටීම” තහනම් කිරීම සඳහා පිහිටුවන ලද ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත්තු සත්කුමරට තවම ඇප හම්බවෙලානම් නැහැ.
Leave a Reply