සෝෂල් මීඩියා වලට එරෙහිව කෙවිට අතට ගත් ඉන්දියාව

ඉන්දියාව ට්විටර්, ෆේස්බුක්, වට්සැප් සහ ඉන්ස්ටග්‍රෑම් වලට අලුත් ගයිඩ්ලයින් ටිකක් දාල තියෙනවා. ඒ එක්ක ඒ සමාගම් වලට ඉන්දියාව තුළ පවතින්න නම් ඒ සේවා වලට, ඇප් වලට පවතින්න නම් ඉන්දියානු නීතිරෙගුලාසි වලට අවනත වෙන්නට වෙනවා. ඔවුන් දැනට ඒ සෝෂල් මීඩියා වලට හැඩගැහෙන්නට කාලයක් දීලා තියෙන්නේ. ඒත් සෝෂල් මීඩියා සමාගම් පැත්තෙන් නම් මේ ගැන හොඳ ප්‍රතිචාරයක් නැහැ.

 

 

1. ට්විටර් වලට එල්ල වූ විරෝධය

ඉන්දියාවේ වට්සැප් භාවිත කරන අය මිලියන පන්සීයක් ඉන්නවා. ෆේස්බුක් මිලියන හාරසීයක් විතර පාවිච්චි කරනවා. ඒ එක්ක බැලුවාම ට්විටර් පාවිච්චි කරන්නේ මිලියන 17ක ජනතාවක් විතරයි. පහුගිය කාලේ ඉන්දියාව වෛරස පාලනය සහ ගොවීන්ගේ උද්ඝෝෂණ වලින් අසාර්ථක වුණා. ඒ සිදුවීම් වලදී අපේ භාෂාවෙන් කියනවා නම් “ආණ්ඩුව නෑවා.” එවිට ඉන්දීය කොන්ග්‍රස් සහ විපක්ෂ කණ්ඩායම් ට්විටර් හරහා ආණ්ඩුවට එරෙහි මතයන් පැතිරුවා. ආණ්ඩුවට විරුද්ධ ඇතැම් ට්වීට් සහ ප්‍රොෆයිල් ඉවත් කරන්න කියලා ඉන්දීය ආණ්ඩුව ට්විටර් එකෙන් ඉල්ලුවා. ඒත් ඔවුන් එයට හොඳ ප්‍රතිචාර දැක්වූයේ නැහැ. ඒ නිසා මේ අලුත් නීති රීති එනවා කියලාත් මතයක් තියෙනවා.

 

 

2. වට්සැප් නැවතීම

එකම පිංතූරය හෝ වීඩියෝව සිය දහස් ගාණක් පිරිසට වට්සැප් හරහා ෂෙයාර් වෙනවා. වට්සැප් වල පාවිච්චි කරන එන්ක්‍රිප්ට් තාක්ෂණය නිසා මේ හුවමාරු වෙන දේවල් මොනවාද කියලා බලන්න පිට අයෙක්ට අමාරුයි. මේ හුවමාරු වන දත්ත ආදිය ෆේස්බුක් සමාගම මගින් ඔවුන්ගේ බිග් ඩේටා වැඩ සඳහා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ හුවමාරු වෙන සියළුම කන්ටෙන්ට් පෙරා හැරීමක් නම් සිතන්නට අමාරුයි. ඉතින් එනිසා මේ වට්සැප් හරහා හුවමාරු වෙන දේවල් සීමා කරන්න කියලා ඉන්දීය රජය ඉල්ලනවා.

 

 

3. ප්‍රයිවසි ගැටළුව 

අපි වට්සැප් හරහා තවත් කෙනෙකුට පණිවිඩයක් යවන්නේ එය මැදින් කවුරුන් හෝ බලන එකක් නැහැය කියන විශ්වාසය නිසා. කොටින්ම අපි ලිපියක් යවද්දි ඉස්සර ඒක ඇලෙව්වට පස්සේ ඊළඟ කෙළවරින් එය ලබන්නා විසින් ගලවනකල් කවුරුත් එය නොබලන බවට විශ්වාස කරනවා. රජයට හෝ වෙනත් පාර්ශ්වයකට මේ මැසේජින් ඇප් වල ඇතුළේ හුවමාරු වෙන දේවල් බලන්න අවස්ථාවක් ලැබීම භාවිත කරන අයට යම් යම් ප්‍රශ්න ඇතිකරන්නට පුළුවන්. එය සෝෂල් මීඩියා එකක් විදිහට ඒ වට්සැප් සහ ට්විටර් සන්නාම වලටත් සෘජුවම බලපාන දෙයක්.

 

 

4. ඩේටා පිට යෑම

මේ සෝෂල් මීඩියා හරහා තිබෙන දත්ත විවිධ වෙළඳ කණ්ඩායම් වලට යොමු වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. එහෙත් එය බොහොම සියුම් මට්ටමකින් සිදුවන දෙයක්. එහෙත් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන අය, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු සහ ඔවුන් ෂෙයාර් කරන, බෙදාගන්න දේවල් තොග පිටින් තවත් රාජ්‍ය යාන්ත්‍රණයක් අතට පත්වීම දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් වෙනවා. දැනට අපේ ට්විටර් එකවුන්ට් එකක හෝ ෆේස්බුක් එකක තියෙන හෝ හුවමාරු තොරතුරු අවදානමකට ලක් වුණොත් ඒ සමාගම් සෘජුවම වග කියන්නට ඕනි. එහෙත් අනාගතයේදී ඉන්දීය රජය ඉල්ලනවා වැනි අතරමැද වෙනත් යාන්ත්‍රණයක් සැදුනොත් එය තුළින් දත්ත වල ආරක්ෂාවට සමාගම් වලට කෙළින්ම වග කියන්නට බැරි වෙනවා.

 

 

5. ප්‍රායෝගිකව පුළුවන්ද?

මැසේජ් හරහා හුවමාරු වෙන දේවල් බලාකියාගන්න සහ ඒවා නියාමනය කරන්න පටන් ගැනීම ගියන්නේ ලොකු ව්‍යායාමයක්. කොටින්ම මිලියන 600ක විතර සක්‍රීය සෝෂල් මීඩියා දායකයින් සිටින ඉන්දියාවට එය තවත් අභියෝගයක්. ඊට අමතරව ඉන්දියාව කියන්නේ ප්‍රාදේශීය කළාප වශයෙන් විවිධ භාෂාවන් පාවිච්චි කරන රටක් නිසා ඔවුන්ට එය තවත් අභියෝගයක් වෙනවා. කෙසේ වෙතත් චීනය මෙන් සම්පූර්ණ සෝෂල් මීඩියා සහ අන්තර්ජාලයේ බලය ආණ්ඩුව අතට ගැනීමේ තැනකට ඉන්දියාවත් යයිද කියන සැකය මේ වනවිට තාක්ෂණික ලෝකය තුළ මතු වෙලා තියෙනවා.

 

 

6. ගෙදර හදන සෝෂල් මීඩියා

චීනයේ ට්විටර්, ෆේස්බුක් නැති වුණාට වෙනත් ඒ හා සමාන ඇප් වලින් ඒ චීන ජනයා සේවාව සළසා ගන්නවා. ඒ වගේ ඉන්දියානු නීති වලට ෆේස්බුක් සහ ට්විටර් එකඟ නොවුණොත් ඒ සඳහා ඔවුන්ගේම ඇප් පාවිච්චි කරන්න අදහසක් ඉන්දියාවට තියෙනවා. දැනටම ඉන්දියාවේ අලුත් රෙගුලාසි අනුව ඒවාට එකඟව තැනූ කූ (Koo) ඇප් එකක් ට්විටර් වෙනුවට ඉන්දියාව හඳුන්වා දීලා තියෙනවා. දැනට මැසේජ් අඩවියක් වන වට්සැප් සඳහා රජය විසින් විසඳුමක් දීලා නැතත් යම් ලෙසකින් දැඩි ලෙස වට්සැප් සිමා කළොත් භාවිතා කරන අය වෙනත් ඇප් කරා යොමු වෙන්නටත් පුළුවන්.

 

 

7. තාක්ෂණික අභියෝග

ඉන්දීය රජය විසින් දන්වා තිබෙන ආකාරයට රජය මගින් අනතුරුදායක යැයි හඳුනාගැනෙන අන්තර්ගතයන් සෝෂල් මීඩියා මගින් ඉවත් කරන්නට සෝෂල් මීඩියා වලට හැකියාව තිබිය යුතු වෙනවා. මෙය රජය පාර්ශවය මගින් කුමන තාක්ෂණික පදනමකින් සිදු කරනවාද යන්න තවමත් පැහැදිළි නැහැ. කෙසේ වෙතත් මේ නීති රීති මගින් සෝෂල් මීඩියා තාක්ෂණික අංශයේද අභියෝග අලුතින් නිර්මාණය වෙනවා. මිලියන සිය ගණනක් එකවර පාවිච්චි කරන වටපිටාවක් නිසා එය සෝෂල් මීඩියා සමාගම් වලටත් යම් පීඩාවක් එල්ල කරනවා.

 

සෝෂල් මීඩියා වලින් අපිට කැමති කැමති දේවල් කැමති ආකාරයෙන් පළ කිරීමේ නිදහස එන්න එන්නම සීමා වෙන ආකාරයක් පේනවා. ඇතැම්විට පෝස්ටු පළ කළත් එය දකින පිරිස, එය යොමුවෙන පිරිස ඇතුළතින් සීමා කරන්නට සෝෂල් මීඩියා දැනටම ක්‍රියා කරනවා. ඉතින් ඉන්දියාව සහ සෝෂල් මීඩියා අතර ගැටුම කොතනින් නිම වුණත් පියයුරක් වන් ඉන්දියාවෙන් වෑහෙන කිරි බිඳක් වගේ තියන ලංකාවටත් ඒවායේ බලපෑම එන්නට ඉඩ කඩ යහමින් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *