අපි වැඩි දෙනෙක් මහා දුරකට නොහිතා කරන වැරදි නිසා ලොකු හානියක් සමාජයට සිද්ධ වෙන්නට පුළුවන්. ඒක අපි කරන ක්‍රියාවක් වගේම, අපේ වචනයකින් පවා සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මේ නිසාම අපි මේ කතාව කියන්නෙ බොහෝදෙනෙක් මේක අහලවත් හැදේවි කියලයි. හැබැයි මේ දේවල් සමාජෙ කතාවෙලා තියෙන තරමට හැදුනනං මේකත් ඉතිං සුරපුරයක්. එහෙමයි කියලා අපිත් අපේ උත්සාහය අත්හරින්නෙ නැහැ. ඔබ වැඩිදුර නොහිතා මේ වැරදි කරනවාද කියා සිතන්න. එයින් සිද්ධ වෙන අනිටු පළවිපාක නවත්වාගන්න දැන්ම යුහුසුළුව ඔබේ වැරදි හදාගන්න. දන්න අඳුරන කෙනෙක් මේ වැරදි කරනවානම් එයාවත් දැනුවත් කරන්න.
1. විසිකිරීම්
ඔබ වැඩිදුර නොසිතා පාරට විසිකරන බස් ටිකට් එකක් දකින තවත් අයෙක් ඔහුගේ බස් ටිකට්ටුවත් පාරට විසි කරාවි. පිරිසිදු පාරකට ඔබ පළමු කොළය විසිකළොත් මොහොතකින් පසු ඔබට දකින්නට ලැබෙන්නේ අපිරිසිදු පාරක්. ඔබ පානය කර අහවර වන බීම කෑන් එක ඔබගේ පිපාසය නිවා අවසන් නිසා පාරට විසිකර දැමුවොත් එයට එක්වන ජලයෙන් බිහිවන ඩෙංගු මදුරුවා ඩැහැගන්නේ ඔබේ දරුවෙකුගේ ජීවිතය නොවන්නට පුළුවන්. ඒත් ඒ සමාජයේ වෙනත් දරුවෙක්. ඔබ ඒ ගැන සිතුවාද? රුපියල් සියය ඉක්මවන බීම කෑන් එකට වගේම රුපියල් පහේ බීම පැකට් එකටත් එය පොදුයි.
2. අනුන්ට උපදෙස්
යමෙක් ඔබගෙන් උපදෙස් පැතුවොත් හැරෙන්නට ඔබ ඔවුන්ට බලෙන් උපදෙස් දෙන්නට යනවානම් ඔබ කරන්නේ විශාල වරදක්. එය අප අතරේ බොහෝවිට දැකිය හැකි නිතර දෙවේලේ සිදුවන වරදක්. තාම කසාදයක් නැද්ද? අපි දන්න හොඳ ළමයෙක් ඉන්නවා කතා කරන්නද? ඔබ කවරදාක හෝ යම් කිසිවෙකුට මෙවැන්නක් කියා තිබෙනවාද? ඒ පුද්ගලයාගේ ආර්ථික පසුබිම, වෙනත් අසීරුතා, කැමැත්ත නොකැමැත්ත ගැන ඔබ සිතා බැලුවාද? දැන් බැඳලා කාලයක් නේද? ළමයෙක් හදන්නෙ නැද්ද? අම්මා පවු නැද්ද? කියා ඔබ යම් යුවළකගෙන් විමසා තිබෙනවාද? ඔවුන්ගේ කැමැත්ත නොකැමැත්ත පිළිබඳ ඔබ සිතුවාද? මෙවැනි දෙයින් බොහෝ පුද්ගලයින් වියවුලට ලක්වෙනවා වගේම බොහෝ පවුල් බිඳී යනවා. ඔබ වැඩිදුර නොසිතූ වචනයකින් මෙවැන්නක් සිදුවන්නට හැකි වග බලෙන් අනුන්ට උපදෙස් දෙන්නට ගිය ඔබට දැන්වත් සිතෙනවාද?
3. අන්තර්ගතය නොසිතීම
අපි පහුගිය කාලෙ දැක්කා එක් පිරිසක් අන්තර්ගතය නොබලා, පොතක කවරය දිහා බලලා බනින විදිහ. තවත් පිරිසක් අන්තර්ගතය මොකක් වුනත් කවරය රැඩිකල් නිසා ඒකට කඩේ ගිය විදිය. ඒක ලොකු ප්‍රශ්නයක්. බස් රථයක ස්මාට්ෆෝනයකට එබී යන මිනිසෙක් සහ පොතක් කියවමින් යන මිනිසෙක් දුටු විට ඔබට නැගෙන අදහස් දෙයාකාරයි නේද? නමුත් පොත කියවන පුද්ගලයාද පුහු වින්දනයක් ලබන්නට හැකි සේම, ස්මාට්ෆෝනයෙන් දැනුම ලබන්නට හැකි බව ඔබට ඒ සිතුවිල්ලට පෙර අමතක වුනාද?
ඔබත් පෙනුමෙන් මිනිසුන් මනිනවාද? කොණ්ඩ වවපු, කරාබු දාපු, ටැටූ ගහපු මිනිසුන් රස්තියාදුකාරයන් කියා ඔබ සිතනවාද? යම් අයෙකුට ඇපල් අයිෆෝන් එකක් තියෙන නිසා ඔබ ඒ පුද්ගලයා වැදගතෙකු කියා සිතුවාද? ඔබ තීරණවලට එළැඹෙන්නේ කොතරම් වැරදි ලෙසද?
4. ඉල්ලන ඉල්ලන දේ
ඔබ ඔබේ දරුවාට ආදරය කරන වග අමුතුවෙන් කිව යුතු නැහැ. ඇති හැකි දෙමවුපියන් වගේම නැති බැරි දෙමවුපියන් පවා තමුන්ගේ දරුවාට ආදරය කරනවා. එසේ යැයි කියා දරුවා ඉල්ලන ඉල්ලන දෑ අරන් දෙන එක දෙමවුපියන්ගේ වගකීම නොවෙයි. එයින් ඔබ දරුවාට නරක ආදර්ශයක් ලබාදෙනවා වගේම, දරුවා වටා සිටින අනෙක් දරුවන්ට නරක ආදර්ශයක් ලබාදෙනවා. එයින් අපහසුතාවයට පත්වන්නේ නැති බැරි දෙමවුපියන් පමණක් නොවෙයි, අනාගතයේ දවසක ඔබේ දරුවා සමාජයෙනුත් තමන් ඉල්ලන ඉල්ලන දේ ලබාදෙතැයි සිතන්නට ගන්නවා. එය ඔබේ දරුවාට දීර්ඝකාලීනව කරන හානියක්. නමුත් එය දැනට ඔබට ආදරය පෙන්වන සුළු ක්‍රියාවක්.
5. ඕපදූප
ඔබත් එතරම් දුරදිග නොසිතා ඕපාදූප සොයනවාද? පවුල් ආරවුල්, අනෙක් මිනිසුන්ගේ ලෙඩරෝග, ළමුන්ගේ විභාග ප්‍රතිඵල, අනෙකුන්ගේ පෙම්වතුන් සහ පෙම්වතියන් ගැන තොරතුරු, අනෙක් මිනිසුන්ගේ දේපළ, දරුඵළ ගැන ඔබ හාර අවුස්සමින් කල් ගෙවනවාද? ඔබ ඒ හරහා සමාජයට කරන හානිය පිළිබඳ ඔබට යම් තරමකින් හෝ දැනුවත් බවක් තිබෙනවාද? මෙලෙසින් ඕපාදූප සොයන අයෙකු කිසිම මොහොතක ඒවා තමන් රසවිඳ අත්හරින්නේ නැහැ. ඒ ඕපාදූප තවත් මිනිසුන්ගේ කනේ තැබීම නිසා උක්ත පුද්ගලයින්ට සිදුවිය හැකි හානිය සුළු පටු නැහැ. ඔබට තේරුනාද ඔබ කළ පවු දුරදිග නොබලා?
6. පරම්පරා පාට
ඔබේ දෙමවුපියන් යූඇන්පියට ඡන්දය දුන් නිසා ඔබත් එජාපය සරණ ගිය පුද්ගලයෙක්ද? ඔබේ නෑදෑයෙකු භීෂණ සමයේ මරා දැමුණු නිසා ඔබ සදාකාලිකව ජවිපෙට ඡන්දය දෙනවාද? මැතිණිය රැස්වීම අවසන් වී යන මොහොතේ ඔබේ ආච්චිගේ අත ඇල්ලූ නිසා ඔබ තවමත් ශ්‍රීලනීපයේ වහලෙක්ද? ඔබේ සීයා සමගින් එකට පාසල් ගිය නිසා ඔබත් මහින්ද රාජපක්ෂ මාරුවෙන පක්ෂයට මාරුවෙමින් ඡන්දය දමනවාද? පවතින තත්ත්වය අනුව ගැළපෙනම විසඳුම සොයන්නට ඔබට මොළයක් නැතිද? ඔබ යොදන කතිරය තීරණය කරන්නේ රටේ අනාගතය වග නොසිතෙන්නේද?
7. ළමයින්ට දෙන ගුරුහරුකම්
ඔබ ඔබේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය සහ තීරණ සම්බන්ධයෙන් සිදුකරන බලපෑම් කෙබඳුද? චිත්‍ර කලාවට අතිදක්ෂ ඔබේ දියණියව ඔබ “චිත්‍ර කන්නද?” කියා පරිගණක විද්‍යාවට යොමු කළාද? ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ආසා කරන ඔබේ පුතාට “උඹට පිස්සුද කරන්ට් වද්දගන්න යන්නෙ? වැදගත් රස්සාවක් කරපන්” කියා බලෙන්ම වෛද්‍ය වෘත්තිය පිළිබඳ සිහින ඔලුවට දැමුවාද? ඔබ ඔවුන්ගේ අනාගතයට කරන්නේ කොතරම් නරක බලපෑමක්ද? තමන්ගේ දරුවන්ට එතරම් විශාල වරදක් කරන්නට දෙමවුපියන්ට හැකිද?
Cover Image Source – i0.wp.com.com/ dailyecho.co.uk
Leave a Reply