රටකට ජනාධිපතිවරයෙක් තෝරාගන්නකොට සලකා බැලිය යුතු නැති කරුණු මේවා තමයි!

ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක්නේ. විධායක ජනාධිපති කියන්නේ ලංකාවේ ප්‍රථම පුරවැසියා. ඉතින් ඔය ධූරයට එහෙම සෙල්ලං සේනලව තෝරගන්න බැහැනේ. බොහොම හොඳට හිතලා මතලා, රටට වැඩක් කරන්න පුළුවන්, පුද්ගලික න්‍යාය පත්‍ර නැති හාදයෙක්ව තමයි තෝරගන්න ඕන. දැන් ජනාධිපතිවරයාව තෝරගත්තහම විතරක් රට සුඛිත මුදිත වෙන්නේ නෑ තමයි. ඒත් ජනාධිපතිවරයාව හරියට තෝරගන්න එක වඩාත් යහපත් රටක් නිර්මාණය කරන එකේ එක මූලික පියවරක්. හැබැයි ප්‍රශ්නේ මේකයි. රටේ මහජනතාව තාමත් රටේ ප්‍රථම පුරවැසියාව තෝරනකොට සමහර වෙලාවට සලකලා බලන්නේ, කිසිසේත්ම සලකා නොබැලිය යුතු කරුණු කාරණා තමයි. අන්න ඒ නිසා අපි කියන්න යන්නේ රටකට විධායක ජනාධිපතිවරයෙක්ව පත් කරගන්නකොට කිසිසේත්ම සලකා නොබැලිය යුතු කරුණු ගැන. අඩු තරමේ ඒවා අත ඇරියහම වත් නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙයිනේ!

 

1. ළමයින්ව ඉඹීම

ගොඩක් වෙලාවට අපි දේශපාලකයන්ගෙන් දකින දෙයක් තමයි, යන යන තැන ළමයින්ව වඩාගෙන හුරතල් කිරීම. ඒක ඇත්තටම දරු සෙනෙහසක් එක්ක කරනවා නම් අපිට වැරදි දෙයක්ය කියලා කියන්න බැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ඔව්වා කැමරාවට, මිනිස්සුන්ට පේන්න කරන දේවල් මිසක් හැබෑ දරු සෙනෙහස නෙවෙයි කියන එක. දැන් අපිට ඕක ඇත්තටම දරු සෙනෙහසද නැද්ද කියලා හොයන්න බැහැනේ දරුවෝ ඉඹින එකෙන් විතරක්. ආන්න ඒ නිසා අපිට පුළුවන් ජනාධිපති වෙන්න හිතන උන්දෑ කෙනෙක් අතීතෙදී රටේ දරුවන් වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග හරි යෝජනා හරි දිහා බලලා උන්දැගේ දරු සෙනෙහස තීරණය කරන්න. එහෙම මොකුත් නැතිනම් අඩු තරමින් පොරොන්දු පත්‍රයේ හරි රටේ දරුවෝ වෙනුවෙන් මොනවද තියෙන්නේ කියලා බැලුවත් කාරි නෑ. එහෙම නැතුව දරුවෝ වඩාගෙන ඉඹිනවාට නං චන්දේ දෙන්න යන්න එපා!

 

2. සූර පප්පා වගේ වැඩ දොළහ කිරීම

ඔය සමහර ජනාධිපති වෙන්න ඉල්ලන උන්දැලා ඉන්නවා කෙලින්ම සූර පප්පා සීසර්ගේ වැඩ දොළහ කරලා පෙන්නනවා වගේ. පොල් ගස් නගිනවා, කුඹුරු කොටනවා, ඔංචිලි පදිනවා, ලිස්සන බෝට්ටුවේ පහළ ඉඳන් උඩට යනවා, ගමේ කොල්ලො එක්ක ක්‍රිකට් ගහනවා එක විකාරයයි. ඇත්තටම මේ දේවලින් පෙන්නන්න හදන්නේ එක්කෝ තමන් ඕල් රවුන්ඩර් කෙනෙක් කියන එක. අනික තමන් මිනිස්සු එක්ක ඉන්න, ලොකු සීන් නැති එල කොල්ලෙක්ය, එල කෙල්ලෙක්ය කියන එක. ඔය දෙකම වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට සාමාන්‍ය මිනිහාගේ හදගැස්ම තේරෙනවා වගේ දෙයකුත් ඕන නම් කියතැහැකි. හැබැයි කණගාටුවට කාරණේ මේකයි. වෙන සුදුසුකම් නැතුව සූර පප්පා වගේ වැඩ දොළහ කළාට විතරක් කෙනෙක්ව ජනාධිපති කරන්න බෑ! 

 

3. පවුලේ අය

මේකත් ලංකාවේ තියෙන සෑහෙන බොන්න ඕන කාරණාවක්. ලංකාවේ දේශපාලනයේ ඉහළ ස්ථරය පැතිරිලා තියෙන්නේ ලංකාවේ පවුල් කිහිපයක් අතර කියන එක මේ වෙනකොට දේශපාලනය ගැන උනන්දු ඕනම කෙනෙක් දන්න කාරණාවක්නේ. මේ නිසා අර කැපුවත් කොළ, කැපුවත් නිල් වගේ ඡන්ද නම් ගොඩක් වෙලාවට ජනාධිපති අපේක්ෂකයෙක්ට වැටෙන්නේ මේ පවුලේ ඉන්න අනික් දේශපාලකයෝ, දේශපාලනේ කරපු ආච්චි සීයා, නත්තා, පනත්තා එහෙමත් සලකලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ සරලයි. පවුලක එක අයෙක් ප්‍රසිද්ධ, කාර්‍යසූර දේශපාලකයෙක් වීම නිසා, ඒ පවුලේ තවත් කෙනෙකුත් විශිෂ්ට දේශපාලකයෙක් වේවි​ය කියල කියන්නෙ කොහොමද? අපි ඕන තරම් දකිනවා සාමාන්‍ය තාත්තලාගේ විශිෂ්ට පුත්තු, විශිෂ්ට තාත්තලාගේ මෙලෝ රහක් නැති පුත්තු එහෙම. එතකොට අපිට මේක කාරණාවක් විදියට ගන්න පුළුවන්ද අපේ වටිනා ඡන්දේ දෙන්න?

 

4. පංසල් යෑම

මේක අපි පංසල් යෑම කියලා නම් ක​ළේ වඩාත් ජනප්‍රිය කාරණාව පංසල් යෑම නිසා. හැබැයි ඕක කෝවිල් යෑම කියලා දාගත්තත් හරි. කොටින්ම මේකයි කතාව. දේශපාලකයෙක්ට ආගමික භක්තියක් තියෙන එක කිසිසේත්ම ගැටළුවක් නෙවෙයි. දේශපාලකයෙක් පංසල්, පල්ලි, කෝවිල් යෑමත් කිසිසේත්ම ගැටළුවක් නෙවෙයි. ඒක ඒ මනුස්සයාගේ දේශපාලන ගමනට බාධාවකුත් නෙවෙයි. හැබැයි, පංසල් යෑම, ලොකු හාමුදුරුවෝ ඉස්සරහා පෙරළි පෙරළී වැඳිම, මල් පූජා කිරීම වගේ කාරණා, එතකොට අනික් ආගම් ගත්තත් ඒ ඒ සිද්ධස්ථාන වල වුවමනාවෙන් වතාවත් කිරීම වගේ කාරණා කවදාවත් සාර්ථකව රට කරවන නියමුවෙක්ය කියන්න නිර්ණායක නෙවෙයි. ආන්න ඒ නිසා එහෙම නිතර පංසල් යන දේශපාලකයෙක්ට සාදු කාර දීලා තමන්ගේ ඡන්දය පූජා කරන්න හිතන්න එපා!

 

5. ආකර්ෂණීය කථා බහ

ආකර්ෂණීය කථා බහ කියන්නේ අඩු තරමේ ලංකාවේ දේශපාලනයේදී අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන දෙයක්ය කියන එකට අටුවාටීකා, ටිප්පණි අවශ්‍ය නැහැ. හැබැයි ඇත්තටම ආකර්ෂණීය කථාබහට ඡන්ද දායකයෝ රැවටෙනවා කියන්නේ, ආකර්ෂණීය විදියට, මිනිස්සුන්ව ඇදිලා එන විදියට කථා කරන්න තියෙන හැකියාව ඇරෙන්න වෙන මොන දෙයක්වත් නැති මිනිස්සු රටේ ලොකු පුටු වලට යනවාය කියන එක තමයි. ඊට පස්සේ ඉතින් කෑ මොර දීලා වැඩක් නෑ, රටට දෙයක් නොකරන, කයිය විතරක් තියෙන එවුවෝ රට පාලනය කරනවා කියලා. ආන්න ඒ නිසා ජනාධිපතිවරයා තෝරගන්න කොට ආකර්ෂණීය කතාබහට රැවටෙන්න නරකයි. ඒ කතාබහෙන් ඇත්තටම හරයක් තියෙන, විශ්වාසය තියන්න පුළුවන් දෙයක් කියැවෙනවාද කියන එකයි හිතලා බලන්න වුවමනා වෙන්නේ!

 

6. සිංහල කම/දෙමළ කම/මුස්ලිම් කම/බර්ගර් කම

මේ ජාතිය කියන එකත් ගොඩක් දෙනෙක් ඡන්දේ දෙනකොට බලන දෙයක්. ඒකට හදාගත්තු හේතුවකුත් තියෙනවා. දැන් දෙමළ මනුස්සයෙක් අදින්නේ දෙමළ ජාතියට නිසා, සිංහල මනුස්සයෙක් අදින්නේ සිංහල ජාතියට නිසා තමන් සිංහල නම් සිංහල මිනිහට තමයි අපේ ඡන්දේ දෙන්න ඕන කියන එක. ඇත්තටම රටේ වැඩ සිද්ධ වෙන විදියට අපිට මේකට දොසක් කියන්නත් අමාරුයි. මොකද ඔය ජාතියට, ආගමට අනුව ඇදීම් කොතෙකුත් ඇස්පනාපිට දකින්න තියෙන නිසා. ඒත් රටක ජනාධිපති කෙනෙක් කියන්නේ සිංහල මිනිස්සුන්ගේ ජනාධිපති වත්, දෙමළ මිනිස්සුන්ගේ ජනාධිපති වත්, මුස්ලිම් මිනිස්සුන්ගේ ජනාධිපති වත් නෙවෙයි. එයා මුළු රටේම ජනාධිපති. ආන්න ඒ නිසා මේ ජාතිය කියන කාරණාව ඡන්දය දෙන්න හේතුවක් නොවෙන තරමට හොඳයි.

 

7. නීතියටවත් නැවෙන්නේ නැති එඩිතර කම

සමහර ජනාධිපති වෙන්න හිතන අය ඉන්නවා, මාර එඩිතරයි. ඉතින් රටේ නායකයා එඩිතර වීම හොඳයිනේ. හැබැයි සමහර වෙලාවට මේ අය නීතියටවත් ගරු කරන්නේ නැති තරමට, රටේ නීතියෙනුත් ගේම ඉල්ලන තරමට එඩිතරයි. හැබැයි ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. රටක හිතුමතේට නායකයන්ට හෝ වෙනත් අයට වෙනස් කරන්න බැරි දේවල් විදියට නීතිය සහ ව්‍යවස්ථාපිතය තිබිය යුතුමයි. මොකද, නායකයෝ පිස්සු කෙලින්න ගත්තොත් රට ගොඩගන්න ඉතුරු වෙන්නේත් ඔය දෙකේ පිහිට තමයි. ආන්න ඒ නිසා නීතියටවත් තමන් යටත් නොවෙන බව අඟවමින් ක්‍රියා කරන හරි, ඒ බව කෙලින්ම කියන හරි මිනිස්සුන්ට කරුණාකරලා ඡන්දේ දෙන්න යන්න එපා. ඔය නඩු නැතුව වුනත් අපරාධකාරයෝ එල්ලනවා කියනකොට හුරේ දාන මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි, නඩු නැති නිසා තමන් වුනත් අවශ්‍ය නම් අපරාධකාරයෙක් කියලා හංවඩු ගහලා එල්ලන්නත් එහෙව් නායකයන්ට හැකියාවක් තියෙන බව.

 

8. අරයා හොරා මූ හොරා

මෙන්න මේකත් ඔය ජනාධිපති පුටුවට යන්න ඉන්න අය කරන ප්‍රසිද්ධ කාරණාවක්. ඒ තමයි තමන්ගේ ප්‍රතිවාදීන්ට සමෝසමේ මඩ ගහන එක. හැබැයි මතක තියාගන්න, වැරදි හෙළිදරවු කිරීම සහ මඩ ගැසීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්. මඩ ගහනකොට කියන දේවල් වල තාර්කික භාවයක් නැහැ, සාක්ෂි සාධක නැහැ, නිකම්ම කතන්දර විතරයි තියෙන්නේ. හැබැයි වැරදි හෙළිදරවු කරන මිනිහෙක් තමන්ගේ කේස් එක ගොඩනඟන්නේ බොහොම තාර්කික පදනමක් උඩ, සාක්ෂි සාධක සහිතව. ආන්න ඒ නිසා ලොකුම පුටුවට යන්න ඉන්න මනුස්සයෙක්ට තාර්කිකව, සාක්ෂි සාධක සහිතව වැරදි පෙන්වා දීමක් හෝ හෙළිදරවු කිරීමක් කරන්න බැරි නම්, ඒ කෙනා කරන්නා අරූ හොරා, මූ හොරා කිය කියා කෑ ගැහීම විතරක් නම්, කරුණාකරලා එහෙම අයව ලොකු පුටුවට යවන්න ඡන්දේ දෙන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *