සබන් වල සුවඳවත් ඉතිහාසයෙන් බිඳක් දැනගනිමු

මානව ඉතිහාසයේ සිදුවුණ වැදගත් සිදුවීම් අතර සබන් සොයාගැනීමත් එක් අතකින් ලෝකයට වැදගත් සොයාගැනීමක්. මිනිසුන්ට වඩාත් පහසුවෙන් ලබාගන්න, හදාගන්න පුළුවන් සබන් කාර්මීකරණයෙන් පස්සේ ජනගහණය වැඩිවෙද්දි පිරිසිදු කරන වැඩ වලට වැදගත් වුණා. අදත් අපි ඇඟ හෝදන්න, නාන්න, මූණ සෝදන්න වගේම අනෙක් පිරිසිදු කිරීම් රැසකට සබන් සහ සබන් ඇතුළත් සංයෝග පාවිච්චි කරනවා. ඉතින් සබන් ගැන ඉතිහාසගත කරුණු කිහිපයක් අපි සොයා බලමු.

 

1. සබන් ඉතිහාසය

මීට අවුරුදු 4800කට පෙර පෞරාණික ඊජිප්තුවේත් සබන් පාවිච්චි කළ බවට සාක්ෂි අනාවරණය වෙනවා. ඒ අනුව ඔවුන් වර්තමාන සබන් සංයෝගයට ඉතා ආසන්න දෙයක් පිරිසිදු කිරිමේ කටයුතු වලට යොදාගෙන තිබුණා. සබන් වල ඉංගිරිසි නම වන සෝප් යන්න පෞරාණික රෝමානුවන්ගේ මිත්‍යා චරිතයක් වන මවුන්ට් සෝපෝ නැමැති චරිතය ඇසුරෙන් ආපු එකක්. මෑත කාර්මික විප්ලව කාලේ මුල්ම සබන් සමාගම විදිහට ප්‍රොක්ටර් සහ ගැම්බල් (Procter & Gambel) හෙවත් පී ඇන් ජී සමාගම 1837දී පමණ බිහිවෙලා තියෙනවා. 19 වන සියවසේදි ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය සබන් ලොවට හඳුන්වාදුන් ජාතීන් ලෙස ඉතිහාසයට එකතු වෙනවා.

 

2. සෝප් ඔපෙරා

සබන් කියන්නේ මෑත කාලයේදිත් විශාල වෙළඳ ප්‍රචාරණ යාන්ත්‍රණයන්ට හසුවන ව්‍යාපාරයක්. මේ සබන් වලින් මුලින්ම රේඩියෝ වැඩසටහනකට අනුග්‍රහය දැක්වූයේ 1927දීයි. ඒ පී ඇන් ජී සමාගම වෙනුවෙන් ඔවුන්ගේ සමාගමේ සබන් නිශ්පාදන ගෘහණියන්ට හඳුන්වා දීම සඳහා. කෙසේ වෙතත් ඉන් පසු මේ සබන් අනුග්‍රහයෙන් රඟ දැක්වෙන ගුවන්විදුලි නාටක සෝප් ඔපෙරා ලෙස හැඳින්වුණා. පසුකලෙක 1952 දී මේ සෝප් ඔපෙරා කියන නමින් කැඩිලා ඇවිත් ඒ වාණිජ අතින් සාර්ථක එතරම්ම ගැඹුරු නැති ගුවන්විදුලි වැඩසටහන් සෝප්ස් ලෙස හැඳින්වෙන්න පටන් ගත්තා.

 

3. සබන් ටැක්ස් එක

ලංකාවෙන් ඉන්දියාවට යන දඹදිව වන්දනා නඩ අතර තිබුණ මතයක් තමයි ඉන්දියාවේ අයට ලංකාවේ සබන් හරි වටිනවා කියන කතාව. ඇතැම් විට සබන් වල වටිනාකම අඩු වුණත් ඉන්දියාවේ දුප්පත් ජනතාවට සබන් ගන්නට මුදල් නැති වීම නිසා ඔවුන් සබන් වටිනා දෙයක් විදිහට සැළකුවා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඇල්කොහොල් වලට වගේම සබන් වලටත් බදු ගහපු කාලයක් එංගලන්ත ඉතිහාසයේ හමු වෙනවා. ඒ 1712 දී. ඒ කාලේ සබන් ලක්ෂරි බඩුවක් විදිහට සලකලා ටැක්ස් ගහලා තියෙනවා. ඉතින් ඒ කාලේ මිනිස්සු අරක්කු වැඩිවුණාම කසිප්පු පෙරනවා වගේ සබන් කඩේ නැති නිසා ගෙදර සබන් හදාගන්න නීති විරෝධී සබන් සැදීමේ ගෘහ කර්මාන්ත පවත්වාගෙන ගිහින් තියෙනවා.

 

4. සබන් සහ ඩයිනමයිට්

1850 ගණන්වලදී ඩයිනමයිට් සහ සබන් කියන දෙවර්ගයම හදන්න එකම මූලද්‍රව්‍යයක් උපයෝගී කරගත්තා. ඒ වෙද්දි කලින් පනවපු සබන් බදු ආදිය ඉවත් වෙලා විවිධ ආකාරයේ සබන් වෙළඳපොලට ආවා. සබන් දියර විදිහට වගේම සබන් කැට වශයෙනුත් ඒ කාලේ ජනප්‍රිය වුණා. කොහොම වුණත් සබන් වලට සහ පුපුරණ ද්‍රව්‍ය වලට ග්ලිසරින් යොදාගැනීමත් එක්ක ලෝක යුද්ධ කටයුතු වලටත් මේ සබන් හදන මූලද්‍රව්‍ය උවමනා වුණා. ඒ නිසා සබන් නිෂ්පාදනය අඩු වුණා. ඉතින් ඒ නිසා සබන් නැතුව සොල්දාදුවන්ට හරිම අසීරු තත්ත්වයන්ට මූණ දෙන්න වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.

 

5. සබන් සහ රෝග ව්‍යාප්තිය

සබන් කියන්නේ සෞඛ්‍ය වෙනුවෙන් දැනටත් ලෝකයේ වැඩි දායකත්වයක් සපයන දෙයක්. ඇල්කොහොල් මගින් අත සේදීමට වඩා සබන් වලින් අත් සේදීමෙන් කොරෝනා වෛරස අතින් ඉවත්වෙනවා කියලා විද්‍යාඥයින් සෙයාගෙන තිබුණා. ඒ වගේම අපේ රටෙත් සබන් කෑලි තියෙන, අතින් සහ සෙන්සර් වලින් ක්‍රියාකරන සිංක් කාර්යාල ඉදිරිපිට ඉදි වුණා. ඉතින් අද වනවිට ඇන්ටිබැක්ටීරියල් ආදී විශේෂ ගතිගුණ තියෙන සබන් වර්ගත් වෙළඳපොලේ තියෙනවා. ඒ කොයිහැටි වුවත් නාසය කට අතගෑමට ප්‍රථම අත් දෙක සබන් දා හෝදගන්න පුළුවන් නම් ඒ මගින් ශ්වසන රෝග, ඉන්ෆ්ලුවන්සා රෝග වැළඳීමේ හැකියාව සෑහෙන අඩු වෙනවා.

 

6. අද අපි පාවිච්චි කරන්නේ සබන්මද?

මේක විවාදාපන්න ගැටළුවක්. අපි සාමාන්‍යයෙන් සබන් කියලා හැඳින්වූවාට දැන් වෙළඳපොලේ මිලදී ගන්නට තිබෙන බොහොමයක් සබන් වර්ග වල සබන් කියන නමවත් ලේබල් එකේ නැහැ. තිබෙන්නේ බේදින් බාර් වැනි නමක් පමණයි. ඒ අනුව අද වනවිට සබන් කියන සංයෝගයට වඩා ඒ හා සමාන ලාභදායී වෙනත් පිරිසිදුකාරක සබන් විදිහට වෙළඳපොලේ තිබෙනවා. ඒ වගේම සබන් සංයෝගය සාපේක්ෂව අඩු කරලා ඒ වෙනුවට වෙනත් සංයෝග ඇතුළත් කරලා එවන සබන් වර්ගත් දැන් සුලභයි. නාන්න පාවිච්චි කරන සබන් කැට සහ දියර තුළ සබන් කියන නමින් හැඳින්වෙන පුරාණ සංයෝගය අඩු වීම සබන් නමට හානියක් වුණත් ඒ හරහා පිරිසිදු කිරීම කියන කාර්යයට නම් එතරම් බලපෑමක් එල්ල වෙන්නේ නැති බවක් තමයි පැවසෙන්නේ.

 

7. සබන් වෙළඳපොල 

ලොව වටිනාම සබන් කෑලි රත්‍රන් සහ දියමන්ති ඇතුළත් කරලා කටාර් රටේ හැදෙනවා. ඒ සබන් කැටයක් ඩොලර් 2800ක් පමණ මිලාධිකයි . ලෝකයේ සබන් නිෂ්පාදනවල ගෝලීය වටිනාකම 2010 වර්ෂයේදී පමණක් ඩොලර් බිලියන 50 ඉක්මවන බවත් සඳහන් වෙනවා. සබන් වල ආදිකාලීන සාමාජිකයින් වුණු සන්ලයිට් හදන ලීවර් සමාගමත් ඊටත් පෙර සිට පැවත එන පී ඇන් ජී සමාගමත් තවමත් ලොව පුරා සබන් ආධිපත්‍යය පතුරුවලා තියෙනවා.

 

සබන් වල අදාළ මේද ප්‍රමාණය තියෙන මට්ටම අනුව සබන් වර්ගීකරණයට ලක් වෙනවා. එය ටී එෆ් එම් (TFM) ලෙස දැක්වෙනවා. සබන් යොදා දෑත් සේදීම 2020 වර්ෂයේ මුල් කාර්තුවෙන් පසු මුලු ලොවම කතා වුණ සිද්ධියක් වුණා. මන්ද කොරෝනා පැතිරීම මර්දනයට ගත හැකි එක් වඩාත් පහසු ක්‍රියාමාර්ගයක් තමයි අත් සබන් යොදා සේදීම. ඉතින් සබන් ගැන තියෙන මේ වැදගත් තොරතුරු නිතරම නාන ඔයාලගේ යාළුවෝ අතර බෙදාගන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *