තව අවුරුදු සීයකට පස්සේ පෘථිවියේ දේශගුණය කොහොම වෙයිද? මිනිස්සුන්ට ඉන්න පුළුවන් වෙයිද?

මේ දවස් වල කොහොම රස්නයක්ද තියෙන්නේ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් අවුරුද්දක් පාසාම අපිට මේ විදියේ අධික රස්නයක් තියෙන, වතුර හිඟ වෙන, නියං කාලයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි අපි නිකමට හිතලා බැලුවොත්, මීට අවුරුදු විස්සකට විතර කලින්, ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඔය වගේ දැඩි රස්නයක් තිබුණෙ නැහැ කියලා මතක් වෙයි. ඒ කාලෙත් ඉඳලා හිටලා නියඟයන් ආවට, ඒවා සාමාන්‍ය දේවල් නෙවෙයි. ඕක ඔය වැඩි​මහලු කෙනෙක්ගෙන් එහෙම ඇහුවොත් කියයි, අබුද්දස්ස කාලෙට දේශගුණෙත් විකල් වෙලා කියලා. හැබැයි ඉතින් අපි දන්න දෙයක් තමයි දේශගුණේ අද මේ තියෙන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලත් දායකත්වය නිසා කියලා. 

නිකමට හරි හිතලා බැලුවොත්, තව අවුරුදු සීයකට පස්සේ පෘථිවිය කොයි වගේ වෙයිද? මොන වගේ දේශගුණික විපර්යාස වෙලා තියෙයිද? ඒවා මොන විදියට මිනිස්සුන්ගේ ජීවිත වලට බලපාලා තියෙයිද? එහෙම නැතිනම් ඒ වෙනකොට මිනිස්සු නැති වෙලා තියෙයිද? අන්න ඒ ගැන පොඩ්ඩක් හොයාබලන්න තමයි මේ උත්සාහය.

 

1. 2012 ලෝක විනාසේ?

ඔව්, අර 2012 ෆිල්ම් එකේ පෙන්නුවනේ ඒ අවුරුද්දේ ලෝකේ විනාස වෙනවා කියලා. විනාස වෙනවයි කියන්නේ, අති දැවැන්ත ගිණි කඳු විදාරණයන්, අති දැවැන්ත භූමි කම්පාවන්, අති දැවැන්ත සුනාමි වගේ කතන්දර වෙලා, මුළු ලෝකෙම ජීවය අවසාන වෙලා ලෝකේ අලුතෙන් පටන් ගන්න සීන් එකක්. මේකේ නම් හේතුව විදියට කියන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නෙවෙයි, හැබැයි ඔය ෆිල්ම් එකෙන් පස්සෙත්, ඊට කලිනුත් ගොඩක් අය කිව්ව දෙයක් තමයි මිනිස්සු ගස් කපලා, පරිසර දූෂණය කරලා කරන විකාර වැඩ නිසා ලෝකේ ඔය විදියට දවසක එක පාරම විනාස වෙයි කියලා. නෑ. එහෙම ලෝක විනාසයක් නම් එන්නෙ නෑ කියලා කියන්න පුළුවන්. කොහොමටවත් ඊලඟ අවුරුදු 100 ඇතුළතදී නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

 

2. මිනිස්සු තේරුම් ගනීවිද?

මෙන්න මේක බොහොම වැදගත් පොයින්ට් එකක්. දැන් වෙනකොටත් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ, අපි තමයි සොබාව​ධර්මේ පාලනය කරන්නේ කියලා ලොරි ටෝක් දීගෙන හිතුමනාපේ සෙල්ලම් කරපු එකේ ඵලවිපාක. ඒ නිසාම දැන් වෙනකොට පරිසර පද්ධතීන්ට, කාලගුණයට සහ පොදුවේ පෘථිවියේ පැවැත්මට හානි කරන මිනිස් ක්‍රියාකාරකම් නවත්තන්න ඕනය කියලා ලොකු මතයක් තියෙනවා. දැනටමත් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කරගෙන, හරිතාගාර වායු විමෝචනය අවම කරගෙන සෑහෙන ගේමක් ඇතිවෙමින් යනවා. ඉතින් ඕක අනාගතයේදීත් තව තීව්‍ර වෙනවා මිසක් නවතින්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම හැමදෙයක්ම පරිසර හිතකාමී ආකාරයට කරන ලෝකයක් තව අවුරුදු 100 ක් වෙනකොට බිහිවෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි.

 

3. ගෝලීය උණුසුම

හැබැයි, දැන් අපිට ගෝලීය උණුසුම දැනිලා පශ්චාත් භාග රත් වෙලා හදිසියේ පරිසර හිතකාමී වෙන්න හිතුවත්, පරිසරයට ඇත්තටම වෙලා තියෙන හානිය පිළිසකර කරන්න අවුරුදු කීපෙකින් තියා දශක කීපෙකිනුත් අමාරු වෙයි. ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් නැතත්, සංවෘත පද්ධතියක් කොහොමටත් ක්‍රම ක්‍රමයෙන් දූෂ්‍ය වෙනවා. ඉතින් පෘථිවියටත් ඒ නියමයෙන් ගැලවෙන්න හැටියක් නැහැනේ. ආන්න ඒ නිසා කොහොමටත් තව අවුරුදු 100 ගිය තැනදී වුනත් අපිට ගෝලීය උණුසුමේ ප්‍රතිඵලයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොමත් ඒ වෙනකොට ලෝකේ හැම තැනකම පාහේ උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙයි. දැනට අපිට සාමාන්‍යයෙන් දැඩි උෂ්ණත්වය සම්බන්ධ අනතුරු ඇඟවීම් විතරයි කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්නේ. හැබැයි තව අවුරුදු 100 කට පස්සේ අතිශය අවදානම් උෂ්ණත්ව කාල එන්න පුළුවන්.

 

4. වහිනකොටත් කණ පැලෙන්න වැහි

විද්‍යාඥයෝ කියන දෙයක් තමයි, මේ කාලගුණ විපර්යාසයන්ගෙන් සිද්ධ වෙන්නේ සමස්ත ගෝලීය උණුසුම ඉහළ යෑම විතරක් නොවෙන බව. ඒ කියන්නේ වහිනකොටත් කණ පැලෙන්න වහින තත්ත්වයක් තමයි පුරෝකථනය කෙරෙන්නේ. සැකද? නිකමට හිතලා බලන්න මීට අවුරුදු විස්සකට තිහකට කලින්, ලංකාවේ ගං වතුරක් කියන්නේ අතිශය කලාතුරකින් සිද්ධ වුණු දෙයක් නෙවෙයිද කියලා. හැබැයි දැන් වෙනකොට නම් උෂ්ණ කාලේ පහුවෙලා වහින කාලේ එනකොට, ඔය පටස් ගාලා යට වෙන පහත් බිම් වල ඉන්න අයට සූදානම් සරීරෙන් ඉන්න වෙලා තියෙන්නේ. වසරක් පාසා ගංවතුර එන තත්ත්වයක් දැන් ඇතිවෙලා තියෙනවා. ඉතින් තව අවුරුදු 100 කට පස්සේත් මේ විදියටම ගියොත්, ඒ තත්ත්වය හෝ ඊටත් අන්ත තත්වයක් තමයි අත්දකින්න වෙන්නේ.

 

5. නොදිරන කැළි කසල

අපි මේ වෙනකොට මනුෂ්‍යයා පරිභෝජනය කරන දේවලින් ඉතුරු වෙන කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සෑහෙන්න හිතන්න පටන් අරගෙන තියෙනවා. ඒකට දිරා යන අමුද්‍රව්‍ය වලින් හදපු දේවල් භාවිතා කිරීම, කැළි කසළ නිසි පිළිවෙලට බැහැර කිරීම වගේ කරුණු කාරණා ඇතුළත්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වෙනකොටත් අපි ජීවත් වෙන ග්‍රහලෝකය උඩ පුදුමාකාර කැළි කසල ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ග්‍රහලෝකයෙන් පිට අභ්‍යවකාශයෙත් මිනිස්සුන්ගේ කැළි කසළ කක්ෂගත වෙලා තියෙනවා. මහා සමුද්‍ර වල විශාල දූපත් රාජ්‍යයන් තරම් විශාල ප්ලාස්ටික් දූපත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් තව අවුරුදු 100 ක් යනකොට අපි සම්පූර්ණයෙන්ම අපේ කැළි කසළ ප්‍රශ්නය ජයගත්තත්, මේ වෙනකල් එකතු කරපු කැළි කසළ වලින් වෙන හානිය සම්පූර්ණයෙන් නැවතිලා තියේවි කියලා හිතන්න අමාරුයි.

හැබැයි අපි දැන්ම තියාම කැළි කසළ ප්‍රශ්නය හරියට කළමනාකරණය කරගත්තේ නැතිනම්, අපේ ජල මූලාශ්‍ර වල ඉඳලා ජීවත් වෙන පරිසරය දක්වා දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා කියන එකත් නියතයි. 

 

6. සමුද්‍ර ජල මට්ටම

තව අවුරුදු 100 ක් යනකොට සමුද්‍ර ජල මට්ටම ඉහළ නගිනවා කියන එක විද්‍යාඥයෝ දැන්ම තියාම කියන දෙයක්. ඒකට හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ගෝලීය උෂ්ණත්වය වැඩි වීමත් එක්ක ග්ලැසියර දියවීම. දෙවෙනි කාරණාව තමයි, වඩාත් උෂ්ණත්වයෙන් ඉහළ ජල ස්කන්ධයක් වැඩි ඉඩ ප්‍රමාණයක් ගැනීම. ඉතින් විද්‍යාඥයෝ හිතනවා තව අවුරුදු සීයක් යනකොට සමුද්‍ර ජල මට්ටම පොදුවේ අඩි 2.5 ක් හෝ සමහර වෙලාවට අඩි 3 ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා. ඒක ගණන් ගන්න තරම් ලොකු දෙයක් නෙවෙයි කියලද හිතන්නේ? හැබැයි මතක තියාගන්න. අඩි දෙකහමාරක් මුහුදු මට්ටම වැඩි වෙනවා කියන්නේ ගොඩබිම් වලින් හිතනවට වඩා ප්‍රමාණයක් මුහුදට යනවා. විශේෂයෙන්ම වෙරළාසන්න පරිසරයන් වල ජීවත් වෙන අයට තමයි වැඩිම තර්ජනය තියෙන්නේ. අඩු තරමින් මිලියන හතරක මිනිස්සු මේ නිසා අවතැන් වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ හිතනවා.

 

7. සත්තු

අපි මේ කියපු හැම කතන්දරයක්ම එක්ක, ලෝකේ සත්ව සංහතියත් බරපතළ අර්බුදයකට මුහුණ දෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපි දකින දෙයක් තමයි, ගොඩක් සත්​ව විශේෂ වඳ වීමේ තර්ජනයට ශීඝ්‍රයෙන් මුහුණ දෙමින් තියෙනවා කියන එක. මීට අවුරුදු කීපෙකට කලින් ලෝක වනජීවී අරමුදලෙන් කියපු දෙයක් තමයි, පහුවුණු වසර 40 ඇතුළත ලෝකේ වනජීවී ගහණයෙන් භාගයක් වඳ වෙලා යයි කියන එක. ඒ වගේම ඉදිරි වසර පණහ ඇතුළතදීත් අති විශාල සත්ව ප්‍රමාණයක් පෘථිවි තලයෙන් වඳ වෙලා යයි කියලත් පර්යේෂකයෝ කියනවා. ඒ වගේ සමූහ වඳ වීමකින් ආයෙමත් ප්‍රකෘති තත්ත්වයට එන්න පෘථිවියට වසර මිලියන තුනක්වත් ගත වෙයි කියලත් මේ පුරෝකථනයන්ගෙන් කියවෙනවා. ඉතින් වනජීවය මේ විදියට වඳවීම මිනිස් සත්වයන්ටත් බොහොම බැරෑරුම් විදියට බලපානවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මොකද පරිසර පද්ධතියක් විදියට ගත්තහම අපි හැමෝම එකිනෙකා මතත්,. පරිසරය මතත්, පරිසරය අපි මතත් යැපෙනවා.

 

හැබැයි එකක්. මේ අපි කියලා තියෙන ගොඩක් දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක තියෙයි, අපි දැන්ම තියාම මිනිස් ක්‍රියාකාරකම් වලින් පරිසර පද්ධතියට වෙන හානිය ගැන හිතලා, ඒවා වෙනස් කරගන්න හිතුවොත්. උදාහරණයක් විදියට කිවුවොත්, පොසිල ඉන්ධන භාවිතය නවත්තලා පුනර්ජනීය බලශක්ති භාවිතය අරඹන්න දැන්මම හිතන්න ඕන. ඒ වගේම අපි හැමෝම තනි තනි පුද්ගලයෝ විදියට පරිසරයට කරන සුළු හානි පවා නවත්තන්න අදම හිතට ගන්නත් ඕන. අන්න එතකොට අඩු තරමින් අපේ දරුවන්ට හරි ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් ඉතුරු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *