තමන්ට වඩා අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන පාට්නර් කෙනෙක් එක්ක ජීවත් වෙන්න උපදෙස්.

මේ කාරණාවට සම්බන්ධ කාරණාවක් ගැන ඉතින් අපි කලිනුත් කතා කළානේ. ඒ කියන්නේ අපි කලින් කතා කළා, තමන්ට වඩා වැඩි සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන පාට්නර් කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එක. දැන් ඕකේ අනික් පැත්තත් අපි කතා කරන්න ඕනනේ. ඒ කියන්නේ වඩාත් අඩු ලිංගිකාශාවන් තියෙන සහකරුවෙක් හෝ සහකාරියක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එක.

ඇත්තටම අපි ආදර සම්බන්ධතාවයක් ආරම්භ කළත්, විවාහ වෙන්න හරි එකට ජීවත් වෙන්න හරි හිතනවා නම්, ලිංගිකත්වය සම්බන්ධයෙනුත් දෙන්නට දෙන්නා ගැලපෙනවද කියන එක හිතන්න වෙනවා. දැන් ඔය නක්ෂත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණයෝ කියන්නේ, කේන්දර බලනකොටත් ඔය ලිංගිකත්වය පැත්තෙන් දෙන්නට දෙන්නා ගැලපෙනවද කියලා බලන කොටසකුත් තියෙනවා කියලා තමයි. හරි කෝක වුනත් අපි කියමු ඔන්න අපි ආදරය කරන සහකරුවා හෝ සහකාරියට තියෙන්නේ අපිට වඩා බොහොම අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක්. ඒ කියන්නේ අපිට සෑහෙන්න සෙක්ස් ඕන වුනාට, එයාට ඒ තරම් සෙක්ස් කරන්න වුවමනාවක් නෑ. හැබැයි ඒ හේතුව හින්දා වෙන් වෙන්නත් බෑ. මොකද දෙන්නට දෙන්නා මාර ආදරෙයි. අන්න එතකොට මොකද කරන්නේ? ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. හොඳ සාකච්ඡාවක්

මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ දෙන්නත් එක්කම ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන එක. ඒ කියන්නේ දෙන්නගේ ලිංගික ආශාවන් තියෙන්නේ මට්ටම් දෙකක කියන එක තේරුම් ගැනීම සහ, ඒක ගණන් නොගෙන ඉන්න එකෙන් කවදාහරි දෙන්නා එකට ගෙවන ජීවිතේ පළුදු වෙන්න හෝ බෝරින් වෙන්න පුළුවන්ය කියන එක තේරුම් ගැනීම. මෙතනදී හැබැයි එකිනෙකාව ජජ් කරන්න නරකයි. ඒ කියන්නේ එයාගේ සෙක්ස් ඩ්‍රයිව් එක අඩු වෙන එක එයාගේ වැරැද්දක් නෙවෙයි. ඒ වගේම තමන්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි වීම තමන්ගේ වැරැද්දකුත් නෙවෙයි. අන්න ඒ නිසා මෙතනදී ඔය ඊගෝ ප්‍රශ්න එහෙම අතෑරලා මේ ගැන සාකච්ඡා කරන එක තමයි වටින්නේ. එතනින් එහාට පහළ තියෙන විදියේ යම් යම් උපාය උපක්‍රම අනුගමනය කරන්න පුළුවන්.

අනිත් එක, තමන්ට වැඩි සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන නිසා තමන්ගේ පාට්නර් තමන්ට ඕන හැම වෙලේම ඒකට සැදී පැහැදී ඉන්න ඕන වගේ අදහස් තියෙනවා නම් ඒවා අයින් කරගන්න. සෙක්ස් කියන්නේ තමන්ගේ හිමිකමක් හෝ අයිතියක් විදියට හිතන එකෙන් වෙන්නේ ප්‍රශ්නේ තවත් අවුල් වෙන එක. 

 

2. ලයිෆ්ස්ටයිල් වෙනසක්!

ඇත්තටම අපේ ජීවන රටාව අපේ සෙක්ස් ලයිෆ් එකට සෑහෙන්න බලපානවා කියන එක බොරුවක් නෙවෙයි. ඒ කියන්නේ හොඳ, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන මනුස්සයෙක්ට වඩාත් හොඳ සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන්න පුළුවන් . හැබැයි ඒ වගේම තව දෙයක් තියෙනවා. තමන්ගේ විනෝදාංශ වලට, යාළු මිත්‍රයෝ එක්ක ඉන්න, එළිපහළියේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න එහෙම පොඩ්ඩක් කාලේ වෙන් කරනවා නම්, සමහර වෙලාවට අර ඕනවට වඩා වැඩියි වගේ දැනෙන සෙක්ස් ඩ්‍රයිව් එක පොඩ්ඩක් බැලන්ස් වෙනවා. අන්න ඒ නිසා තමන්ගේ ලයිෆ්ස්ටයිල් එක ඇත්තටම බැලන්ස්ද කියලා හොයලා බලලා, පොඩ්ඩක් බැලන්ස් කරගන්න එකත් වටිනවා.

 

3. දෙන්නට වැඩිපුර වෙලාවක්

මේක ඇත්තටම දෙන්නටම වැදගත්. ඒ තමයි, දෙන්නා ලව් කරන්න, එකට දේවල් කරන්න තියෙන කාලය වැඩි කරගන්න එක. විශේෂයෙන්ම දෙන්නත් එක්ක එකට ගෙදර වැඩපල කරන එකේ ඉඳන් දෙන්නත් එක්ක පොඩ්ඩක් කයියක් ගහගෙන, එකට තුරුල් වෙලා කාලය ගත කරන්න, දෙන්නත් එක්ක ඇවිදින්න යන්න වගේ දේවල් වලට කාලය ගත කරන එක, මේ සෙක්ස් ඩ්‍රයිව් එකේ වෙනස සමනය කරගන්න ඉතාම හොඳ ක්‍රමයක්. අන්න එතකොට සෙක්ස් ඩ්‍රයිව් එක අඩු එයාටත් සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි අපිටත් ඒක සංතුලනය කරගන්න ඉඩ ලැබෙනවා ආදරය ඔස්සේ. ඇත්තටම සෙක්ස් ඩ්‍රයිව් එකේ වෙනස නොතේරෙන තරමකට වුනත් ගේන්න පුළුවන් මේ ආදරය වැඩියෙන් තියෙන ලයිෆ් ස්‍ටයිල් එකකින්. 

 

4. යාන්ත්‍රික වෙන්න එපා

අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන කෙනෙක්ට සෙක්ස් කියන්නේ යාන්ත්‍රික දෙයක් වෙනකොට ඒක කරන්නම බැරි වෙන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම සෙක්ස් ඩ්‍රයිව් එක මත විතරක් රඳා පවතින දෙයක් නෙවෙයි. සමහරු ඉන්න පුළුවන්, හොඳ සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන, හැබැයි හිටපු ගමන් ඇඳට පෙරළෙන එකට අකමැති. අන්න ඒ ඕනම කෙනෙක්ට හොඳම දෙයක් තමයි, පූර්ව-සංසර්ග ක්‍රියාකාරකම් වැඩි කරන එක. ඒ කියන්නේ ගෙදර ඉන්න දෙන්නා වුනත් හැමෝම නිදාගන්නකල් ඉඳලා ඇඳේ පෙරළෙනවට වඩා, දවස පුරාම අර ආදරය පෑම්, ආදරණීය ඉඟි බිඟි, ආදර වචන වගේ දේවලින් දෙන්නට දෙන්නා සෙක්ස් කරන්න සූදානම් වෙන එක. ඊට පස්සේ සෙක්ස් කරන්න ගියහමත් කෙලින්ම සංසර්ගයට යන්න කලින් සෑහෙන්න වෙලාවක් අරගෙන ආදරය පෑම්, සිපවැළඳ ගැනීම් වගේ දේවල් කිරීම අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන පාට්නර්වත් තමන් එක්ක සෙක්ස් කරන්න සූදානම් කරගන්න හොඳ උපක්‍රමයක්. ඒකෙන් තමන්ටත් ලැබෙන තෘප්තිය වැඩි වෙනවා.

 

5. ස්වයං වින්දනය පාපයක් නොවේ!

ඇත්තටම කාන්තාවෝ අතරේවත්, පිරිමි අතරේවත් ගොඩක් දුරට ස්වයං වින්දනය කියන්නේ අසාමාන්‍ය දෙයක් නෙවෙයි. වැඩි දෙනෙක් ස්වයං වින්දනය කරනවා. හැබැයි විවාහ වුනාට පස්සේ හරි එකට ජීවත් වෙද්දී හරි තමන්ගේ පාට්නර් ඉන්නකොට ස්වයං වින්දනය කිරීම පොඩ්ඩක් විතර අප්සට් දෙයක් කියලා සමහරු හිතනවා. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. විශේෂයෙන්ම තමන් ඉහළ ලිබිඩෝ එකක් තියෙන කෙනෙක් නම්, තමන්ට හැඟීම් උද්දීපනය වෙන හැම මොහොතකම පාට්නර්ව සෙක්ස් කරන්න එකතු කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතකොට තමන් ස්වයං වින්දනය කරන එක වගේ දේවල් වලට යන්න පුලුවන්. අවශ්‍ය නම් පාට්නර්ට පුළුවන් කෙලින්ම සෙක්ස් කරන්න එකතු නොවුණත්, ස්වයං වින්දනය කරන්න අපිට උදවු කරන්න. ඒක අර උඩින්ම කියපු සාකච්ඡාවේදී කතා බහ කරලා විසඳගන්න පුළුවන් දෙයක්.

 

6. ෂෙයාරින් ඊස් කෙයාරින්!

තමන්ගේ අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන පාට්‍නර් ඇත්තටම පෙම්වතිය හෝ බිරිඳ නම්, සමහර වෙලාවට අඩු සෙක්ස් ඩ්‍රයිව් එකට හේතුව ගෙදරදොර වැඩ අධික වීම වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන පාට්නර් ඇත්තටම පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා නම්, එයාගේ අඩු සෙක්ස් ඩ්‍රයිව් එකට හේතුව රැකියාවේ තියෙන පීඩනය වෙන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ප්‍රශ්න නිසා කෙනෙක්ගේ ලිබිඩෝ එක අඩු වෙනවා කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්?

ප්‍රධානතම දෙයක් තමයි දෙන්නා දේවල් ෂෙයාර් කරගැනීම. ඒ කියන්නේ ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගේනවා කියන එක නෙවෙයි. හැබැයි අර ස්ට්‍රෙස් එක, ටෙන්ෂන් එක අඩු කරන්න අපිට පුළුවන් පාට්නර්ට උදවුවක් වෙන්න. ඒ වගේම ගෙදර වැඩ බෙදාහදාගෙන එක්ව කරන එක එහෙම ගෙදර වැඩ එක්ක එන ස්ට්‍රෙස් එක සහ ටෙන්ෂන් එක අඩු කරවන්න ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. අන්න එහෙම හැම දෙයක්ම ෂෙයාර් කරගන්න කොට, සෙක්ස් කරන්න ඇඳට යනවා කියන එකත් තව වැඩක් නොවී ඒක විනෝදයක් වෙයි.

මේ ඇරෙන්න දෙන්නාම ඔය යෝගා, භාවනා වගේ දේවලටත් පොඩි කාලයක් හරි වෙන් කරනවා නම්, ඒවෑයිනුත් සෙක්ස් ලයිෆ් එකේ හොඳ බැලන්ස් එකකට යහපතක් මිසක් අයහපතක් වෙන්නෙ නෑ!

 

7. පාලනය කරන්න බැරි තරම් සෙක්ස් ඩ්‍රයිව් එක වැඩිනම්?

මෙන්න මේ කාරණය සම්බන්ධයෙන් සෑහෙන්න සැලකිලිමත් විය යුතුයි. ඒ තමයි තමන්ගේ එදිනෙදා ජීවිතේට බාධාවක් වෙන තරමට, තමන්ගේ කටයුතු අතපසු වෙන තරමට, කොටින්ම තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමට සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි අවස්ථාවක්. අන්න ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. එතකොට ඔය උඩ කියපු කාරණා ඔස්සේ ඒක විසඳගන්න බෑ. හැබැයි බය වෙන්න ඕන කාරණාවකුත් නෙවෙයි. හොඳම දේ තමයි ඒ සම්බන්ධයෙන් නිසි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් මුණගැහිලා, කතා බස් කරලා උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න එක. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *