ලෝකෙම සොම්බිලා අල්ලගන්න විනාසයක් ආවොත්, ලංකාවේ අපි ජීවිතේ බේරාගන්න සූදානම්ද?

දැන් ඔය සොම්බි ෆිල්ම්ස් එහෙම බලලා තියෙන අය දන්නවා අපි මේ කියන්නෙ මොකක් ගැනද කියලා. ඔය සොම්බිලා කියන්නේ ඇත්තටම බැලුවොත් පණ තියෙන මළ මිනියක් වගේ සීන්නෙකක්. ඕන නං ඔය යන්තර මන්තර ගුරුකං වල එන පිල්ලි කියලා හඳුන්වන ඒවත් ඕකට ආදේශ කරගෙන කතා කරන්න පුළුවන්. දැන් ඔය සොම්බිලා එක්තරා කාලෙක මිනිස්සු විදියට ජීවත් වෙලා හිටියත්, ඒ අය තවදුරටත් මිනිස්සු නෙවේ. ඒ අය මැරිලා, ඒත් අර මළ සිරුර එක්තරා විදියකට ජීවත් වෙනවා. එතකොට ඔය සොම්බිලාට සාමාන්‍යයෙන් ඇත්තටම ජීවත් වෙන මිනිස්සු පෙන්නන්න බෑ. ඒ අයව හොයාගෙන ඇවිත් හපනවා, කනවා, මරනවා. ඔය කතන්දර වල හැටියට එහෙම සොම්බිලාට ගොදුරු වෙලා සම්පූර්ණයෙන් විනාස නොවුණු අනික් අයත් සොම්බිලා වෙනවා. දැන් තේරෙනවනේ කතන්දරේ. ඔන්න ඔහොම තමයි ක්‍රමයෙන් සොම්බියෝ ලෝකෙම අල්ල ගන්නේ.

 

හරි, තාම නං එහෙම සොම්බි විනාසයක් ලෝකෙට වෙලා නෑ. හැබැයි ඉතින් ඔය ෆිල්ම් වල, ටීවී සීරීස් වල කියන විදියට එහෙම සොම්බි ලෝක විනාසයක් වෙන්න බැරි කමකුත් නැහැල්ලු. දැං ඔය කොරෝනා ඇවිත් තියෙන්නේ. ඒ වගේ මිනිස්සු මැරිලා ගිහිං සොම්බියෝ වෙන වෛරසයක් එහෙමත් එන්න බැයිද? ආන්න ඒ නිසා ඉතින් සූදානං සරීරෙං ඉන්න එක තමයි වැදගත්. ආන්න ඒ නිසා අපි හිතුවා, සොම්බි ලෝක විනාසයක් ආවොත් සොම්බියෙක් නොවී උන්ගෙන් ජීවිතේ බේරගන්න අපිට පුළුවන් කොහොමද කියල පොඩ්ඩක් හිතලා බලන්න.

 

1. සොම්බි ඇපොකැලිප්ස් එකෙන් බේරෙන්න සර්වයිවල් කිට්ස්!

විස්වාස කළත් නැතත්, සොම්බි ඇපොකැලිප්ස් සර්වයිවල් කිට්ස් විකුණන්න තියෙනවා බ්‍රෝ! ඔව්, ඊබේ එකෙං එහෙමත් ගෙන්න ගන්න පුළුවන්. ඒකේ ඔය ආමි එකේ දෙන ජාතියේ කල් තියාගන්න කෑම වල ඉඳලා, වතුර බෝතල්, ආයුධ මෙවලම්, ලණු, ගිනිගල් වගේ මෙකී නොකී ජාති අටෝරාසියක් තියෙනවා. ඕන්නං ගෙන්න ගන්නත් පුළුවන්!

 

හැබැයි ඒ බැයිනං අපිට පුළුවන් නියම සී ලංකන් සොම්බි සර්වයිවල් කිට් එකක් හදාගන්නත්. හොඳ මුවාත තියෙන මන්නයක්, කොහු ලණු කැරැල්ලක්, සූර්යා ගිනිපෙට්ටි පැකට්ටෙකක්, කෑලි තුනේ ටෝච්චෙකක් සහ ඒකට පරම්පරාවක් බලය දෙන එවරෙඩි ලොකු බැටරි කෑලි තුනක්, සිද්ධාලේප කුප්පියක්, නියනක්, බකට් කම්බි රෝලක්, ඕනෑ නං ප්‍රීති සුපර් පෙට්ටියක් වගේ අඩුම කුඩුම ටිකක් ට්‍රැවලින් බෑග් එකේ දාගත්ත නං වැඩේ ගොඩ. එව්වා පාවිච්චි කරන්න වෙන්නේ මොන මොන වැඩ වලටද කියන එක ඉතිං මොළේ කල්පනා කරල හොයාගන්ඩලා. 

 

2. කැපෙන අවි ආයුධ ඕනැමයි

ඔව්, සාමාන්‍යයෙන් ඔය ඕනම සොම්බි පිචර් එකක සොම්බිලා එක්ක සටන් අරන්න ගෙනියන්නේ අර මෂෙටි ජාතියේ දිග තලයක් තියෙන මන්නයක්නේ. අපිටත් තියෙනවා ඔය ජාතියේ කැපෙන ආවුද. මාළු ලෑල්ලෙ අයියගේ මාළු කපන මන්නෙනං වැඩේට සුපර්. ආයෙ තලපතෙක් පෙති ගහන්නැහේ සොම්බියෙක්ව කපලා දාතැහැකි. පොල් බිඳින මන්නෙ හොඳයි කෙලින්ම සොම්බියගේ ඔලුවටම පතබාන්න. ඕන නං පොරවක්, විසිකැත්තක් වහේ එකක් වුනත් හදිසියට නරක නෑ. බැරිම වුනොත් ඇනල පනින්න එළෝලු කපන පිහිය වුනත් කමක් නෑ. හැබැයි ඉතින් බටර් පිහි, පාන් කපන පිහි එහෙමනං ගෙනියන්න එපා හරිද! ඒවෑයිං සොම්බිලාව කපන්න උන්ව කපන ලෑල්ලක් උඩ තියලා පිහිය උඩ නගින්න වෙයි.

 

හැබැයි තව ඔප්ෂන් එකක් තියෙනවා. ඔය චණ්ඩි අයියෙක් එහෙම ලඟ පාත ඉන්නව නං සරාස් ගාලා කපාගෙන බහින කිරිච්චියක්, උල් පිහියක්, කඩුවක් වගේ දෙයක් හොයාගන්න පුළුවන්. බැයිනං නියම සිංහල කඩුවක් කෞතුකාගාරෙං පන්නමු!

 

3. ෆයර් ආම්ස්?

හැබයි ඉතින් සොම්බි ඇපොකැලිප්ස් එකක් ආවොත් ඔය මොනව නැතත් තුවක්කු පිස්තෝල ටිකක් ඕනෑමයි. අන්න ප්‍රස්නේ. ලංකාවේ තියෙනවැයි ඔය සොම්බි පිචර් වල පෙන්නන විදියේ තුවක්කු විකුණන ස්ටෝර්ස්. එහෙම තිබ්බ නං අර කොමාන්ඩෝ එකේ ආනෝල්ඩ් කළා වගේ ෆයර් ආම්ස් ෂොපින් පාරක් දාලා, සොම්බි හමුදාවකට ගහන්න බඩු හොයාගන්න තිබ්බා. මෙහේ ඉතින් ලේසියකට හොයාගන්න වෙන්නේ ගල්කටස් එකක්, එයාර් රයිපල් එකක් තමා. ඕන නං බැංකුවක සිකුරිටි අංකල් කෙනෙක්ගෙන් රිපීටර් එකක් හරි පරණ තාලේ ෂොට්ගන් එකක් හරි ඉල්ල ගන්නත් පුළුවන්. හැබැයි පොඩි ප්‍රස්නයක් තියෙනවා. සොම්බියෝ සද්දෙට හොයාගෙන එන්නේ. මොකෝ ඔය තුවක්කු වලට සයිලන්සර් ලොවෙත් තියෙනවෑ. අන්න ඒ නිසා සොම්බියගෙ ඔලුවට කොට්ටයක්වත් තියලා තමයි වෙඩි තියන්ඩ වෙන්නෙ!

 

4. ගෙදර බලකොටුවක් කර ගමුද?

දැන් ඔය සොම්බි ඇපොකැලිප්ස් එකක් ආවොත් කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්කෝ සොම්බින්ගෙන් බේරි බේරී, තැනින් තැනට යන්න ඕන. එහෙම නැතිනං හොඳ ආරක්ෂක බලකොටුවක් හදාගන්න ඕන. දැන් ඔය දෙවෙනි වැඩේ වඩා සාර්ථකයි වගේ නං, කරන්න තියෙන්නේ වැටමාර කෝටු ටිකක් කපලා, උල් කරලා, තාප්පේ දිගේ ඇලේට ඉස්සරහට හිටින්න හිටෝන එක. එතකොට සොම්බියෝ ආවත් කෝටු වල ඇමිණෙනවනේ. අර තාප්ප උඩ වීදුරු කටු හයිකළාට නං තාප්ප දිගේ බඩගාන සොම්බියෙක්ව ආම්බාන් කරන්න බැරි වෙයි. ඒ නිසා එක්කෝ තාප්ප උඩට තව යකඩ උල් ටිකක් වත් හයිකරන්ඩලා.

 

ගෙදර දොරවල් ජනෙක් වලට එහෙමත් අමතර යකඩ තහඩු එහෙම හයි කරලා, ගෙදර බංකරයක් කළාට පස්සේ, අර කැලිබර් පණහේ විතර තඩි ගන් දෙකක් තුනක් ගෙනත් වහල උඩ දෙතුන්පැත්තට මානලා හයි කළත් කමක් නෑ. පුළුවං වුනොත් යුද්ධ ටැංකියක් එහෙම ආමි ඩිපෝ එකෙන් පන්නලා මිදුලේ නවත්තලා තිබ්බත් කමක් නෑ. බෑඩ්ඈස් ලුක් එකක් හරි එනවනේ!

 

5. වාහනයක්?

ඔව්, සොම්බින්ට ඔරොත්තු දෙන වාහනයක් කියන්නේ බොන්ඩ ඕන ප්‍රස්නයක්. ආයෙ ලොකු ලොකු ෆෝ වීල් වලින් ගිහින් වැඩ දාන්න බෑ මේ ලංකාවේ. ආයෙ නුවර පාරට හරි ගාලු පාරට හරි දැම්ම ගමන් ලෝක විනාසේ එනකල්ම ට්‍රැෆික්. එතකොට වැගන් ආර් වලින් ගිහින් සොම්බි මරන්නත් බෑනේ. අපේ සර්වයිවල් බඩු ටිකයි, කෑමට බීමට වතුර හාල් ගෝනි ටිකයි පටෝ ගත්තහම වාහනේ ෆ්‍රේම් එක බිම ගෑවෙනවා.

 

පෙට්‍රල් ප්‍රස්නයක් නැත්තං සොම්බි ඇපොකැලිප්ස් එකක එහෙන් මෙහෙන් සොම්බින්ට වෙට්ටු දාලා ගිහින් ගේම දීලා බඩුත් පටෝගෙන එන්න මරුම බාණ්ඩ කීපයක් තියෙනවා. එකක් ත්‍රීවිල් එක (හැබයි පියාජියෝ එපා, සොම්බිලා හැතැප්මක් දුර තියලා සද්දෙ ඇහිලා රෙඩි වෙලා බලං ඉඳී). එකක් චැලිය. නැත්තං ස්කූටිය, එහෙමත් නැතිනම් දුප්පතාගේ හිතවතා තැපැල් නයින්ටිය.

 

ඔය ඉස්පෝට්‍මීට් කොල්ලන්ට කෙල්ලන්ට නං මවුන්ටන් බයික් එකත් මදෑ!

 

6. කෑම බීම තොග පිටින්!

මේක නං ප්‍රස්නයක් තමා. හැබැයි ඉතින් ඕකට අපිට යෝජනා කරන්න පුළුවන් දේවල් සීමිතයි. දැන් ඔය ලොක්ඩවුන් වල එහෙම ඉඳලා එක්ස්පීරියන්ස් තියෙන නිසා සොම්බි ඇපොකැලිප්ස් එකක අනතුරු පේනකොටම කෑම බීම අමුද්‍රව්‍ය, වියළි ආහාර එහෙම ස්ටොක් කරගන්න එක හොඳා. සමපෝෂ, ක්‍රීම් ක්‍රැකර් එහෙමත් අමතක කරන්ඩ එපා. එතකොට ඔය ආමි එකේ කනෙක්ෂන් එහෙම තියෙන අයට අර ආමි එකෙන් දෙන MRE (Meals ready to eat) කියන කෑම පැකට් පාවිච්චි කරන්න පුළුවන් වෙයි.

 

හැබැයි ඔය එකක්වත් දීර්ඝ කාලීන විසඳුම් නෙවෙයිනේ. දඩයම් කරලා කන්න දඩයම් සත්තු එහෙමත් ටවුන් වල නෑනේ. ආන්න ඒ නිසා හොඳම දේ තමයි දැම්ම තියාම වගා සංග්‍රාමයක් පටන් ගන්න එක. ඒ කියන්නේ අර කොරෝනා කාලේ වගේ කටින් පැ​ළ හිටෝන එක නෙවෙයි. හැබෑවටම ගෙවත්තේ කන බොන මයියොක්කා අලයක්, එ​ළෝලුවක් වවා ගන්න එක.

 

7. කරන්ට් එක නැතුව ෆෝන් එක චාර්ජ් කරන්නෙ කොහොමෙයි?

මේ කියන්න යන්නෙ නං සොම්බි ඇපොකැලිප්ස් ආවෙ නැතත් ප්‍රයෝජනවත් දෙයක්. කොහොමත් මාසෙට දෙතුන් විඩයක් කරන්ට් යන එකේ, නරකද සෝලාර් පැනල් ටිකක් ගහගත්තොත් දැම්මම? ඒ බැරි නං ගෙදර වත්තේ ඉඩ කඩ තියෙන, හුළං තියෙන උන්දැලට වින්ඩ් මිල් එකක් වුනත් අටෝගන්න පුළුවන්. එතකොට ආයෙ කරන්ට් නෑ කියලා අප්සට් එකක් නෑ. ෆෝන් චාර්ජ් කරගන්න, බ්ලෙන්ඩරේ වැඩ කරන්න, ෆෑන් දාගන්න කරන්ට් එක තියෙනවා.

 

ඕන නං ඉලෙක්ට්‍රික් කාර් එකකුත් ගන්න තියෙන්නේ, එතකොට උඩ කියපු වාහන ප්‍රස්නෙත් ෂේප් කරගත්තෑකි. 

 

8. බොන්න වතුර?

මෙන්න මේකත් බොන්නම ඕන ප්‍රස්නයක්. දැන් අපේ අයියලා සොම්බි ඇපොකැලිප්ස් ආපු ගමන් අයිතිකාරයෝ දාලා දුවපු බාර් වලට එහෙම වග කියලා, රහමෙර ස්ටොක් කරගෙන ඉඳී. හැබැයි එව්වා තිබ්බට වැඩක් ඇතෑ වතුර නැතුව. අර කවදාවත්, මොන නියඟෙටත් හිදෙන්නැති ලිං ගෙවල් වලම තියෙන ගම්බද පැති වලට නං ඕක එච්චර දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් පාරෙන් එන නළජලයෙන් යැපෙන හාදයොන්ට නං ඕක ලෝක ප්‍රස්නයක් (වෝටර් බෝඩ් එකේ එවුවොත් සොම්බිල වෙලා, ඈ!). ඒ නිසා හොඳම දේ තමයි ලීටර් 19 වතුර බෝතල් ටිකක් එහෙම ස්ටොක් කරගෙන තියාගන්න එක. ඇලෙන් දොලෙන් වතුර ගත්තොත් උණු කර නිවාගන්නත් මතක තියාගන්න. ඕවෑ සොම්බිලා වැටිලා ඉන්න පුළුවන්!

 

9. සන්නාහ සන්නද්ධ වෙමු!

ඔව්. මේකත් හිතලා බලන්න ඕන ප්‍රශ්නයක්. දැන් ලංකාවේ ඔය ආමර්ඩ් ජැකට් අනං මනං හොයන්න හීන දැක දැක ඉන්න එපා. හැමදාම අඳින ඩෙනිම ඇන්දත් කමක් නෑ, තමන්ගේ අත පය හොඳට ආවරණය කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ සොම්බින්ට හපන්න බැරි වෙන්න ආවරණය කරගන්න කියලා. බූට්ස් දෙකක් දාලා, සයිකලේ යනකොට දාන දණහිස් ආවරණ දෙකක් දාලා, සයිකලේ ජැකට් එක ඇඳලා, ඊට යටින් අත් දෙකට පරණ සඟරා ටිකක් තියලා බැඳලා, පිටකොටුවෙන් ගත්තු සන්ග්ලාස් දෙක දාගත්තහම ආයෙ සොම්බි සේනාවකට වුනත් වගකියන්න බැරියැයි. ඔළුව බේරගන්න ඕන වගේ නං පුල් පේස් හෙල්මට් එකක් දාගමු.

 

10. ආමි ට්‍රේනින්?

දැන් ඔන්න ඇත්ත ප්‍රශ්නේ. මේ ලෝකේ බැලූ බැලූ අත සොම්බි. උන්ගෙන් බේරුණොත්, ඉතුරු වෙලා ගැන්සි ගැහිලා අපිව මංකොල්ල කන්න බලාගෙන ඉන්න චණ්ඩි අයියලාට අහුවෙනවා. ඒ නිසා එකම විසඳුම අපිත් එහෙම චණ්ඩි සීන් එකකට එන්ටර් වෙන එක තමයි. හැබැයි හිත හොඳ චණ්ඩි හරිද, අපි මංකොල්ල කන්නෙ නෑ, මිනිස්සු මරන්නෙ නෑ. අපි ගේම දෙන්නේ සොම්බින්ට. හැබැයි අපෙන් ගේම ඉල්ලන්න එන ඕන අයියෙක් තොටලඟට ඇවිත් කවුද සොම්බි මරණ සමන් කියලා අහලා බලන්ඩ! ආයෙ නොකිව්වයි කියන්ඩෙපා!!

 

ඔව්, එහෙම ගේම ඉල්ලන්නත් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන. හැබැයි ඒ එක්කම ඇත්තටම පොඩි ආමි ට්‍රේනින් එකක් බැරි නං කැඩට් ට්‍රේනින් එකක්වත් තිබ්බොත් ඒත් හොඳයි. කැලේ කොලේ කරක් ගහන්න සර්වයිවල් ට්‍රේනින් එකක් එහෙමත් කරලා තිබ්බොත් මරු. සොම්බියෝ පරද්දලා දුවන්න ෆිට්නස් නං අනිවා ඕනෑ පුතා. ඒකට ඉතින් දැම්ම තියා ජිම් එකේ රෙජිස්ටර් වුනත් කමක් නෑ!

 

එහෙමනම් සුභ සොම්බි සංහාරයක්. මේ ටික කරන්න කම්මැලි කෙනෙක්ට අර පිස්සු ඩේව්ට වගේ සොම්බි එක්ක ගේම ඉල්ලන පැළ ටිකක් වවාගෙන ෂපාන් එකේ ඉන්නටත් හැකියාව ඇත!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *