උයන කියන තැන් වල තියෙන ආරක්ෂාව ගැන අපි නැවත නැවත සිතන්නට පහුගිය කාලේ පෙළඹුණා. ඒකට මූලික හේතුවක් ගෑස් පිපිරීම. අපි උයලා පිහලා ආහාර ගන්න හුරු වුණ ජාතියක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ආහාර පිළියෙල කරගන්න උදුනක් නිවසක තියෙනවා. ඉතින් ඒ ඒ උදුන් වල ආරක්ෂාව ගැන විස්තර ටිකක් දැනගමු.
1. ගෑස් ලිප
ගෑස් ලිප පාලනය කරන්න පුළුවන් දැල්ලක් සහිත, උවමනා තරම් රස්නයක් ඉක්මනින් දෙන්න පුළුවන් එකක් නිසා බොහොම වේගෙන් අපේ රටේ ගෙවල්වලත් ජනප්‍රිය වුණා. මෑතකදි ගෑස් වල සංයුතිය ගැනත් ගෑස් ලිප් පිපිරීම් ගැනත් වැඩිපුර වාර්තා වුණා. මේ ගෑස් ලංකාවේ අපිට සිලින්ඩරයෙන් එන්නේ. ලෝකයේ දියුණු නගර වල ගෑස් නල ඔස්සේ ගෙදරටම එනවා. ගෑස් සිලින්ඩර පාවිච්චියේදි ඒ රෙගියුලේටර සහ බට වගේම නියමිත තත්ත්වයේ ගෑස් උදුන් පාවිච්චි කරන්නත් ඕනි. ඒ වගේම ගෑස් ලීක් එකක් ඇති බවට යම් සුවඳක් ගඳක් හෝ සලකුණක් තිබුණොත් වහාම ගෑස් සැපයුම නවත්වන්න කටයුතු කරන්න ඕනි. ගෑස් වලින් උයන පිහන තැනක් එළිමහනට විවෘත ජනේලයක් අසල වගේ තියන්න පුළුවන් නම් තවත් හොඳයි.
2. භූමිතෙල් ලිප
ලාම්පුතෙල් භූමිතෙල් ලිප් මාදිලි කිහිපයක් එනවා. එයින් එකක් තමයි තිර ක්‍රමය. ඒකෙදි තිර පෙඟිලා, ඒකෙන් තමයි ලිප පත්තු වෙන්නේ. ඒකේ ලොකු අවුලක් නැහැ. ඉඳ හිටක ලිප බැක් ෆයර් වෙලා යට තිරත් පත්තු වෙන්න පුළුවන්. ඒකෙදි තිර වලින් එන දැල්ල මෘදු කරන්න යකඩ සිලින්ඩර රාමු යොදාගන්නවා. ඒ කොටස් පිරිසිදුව, පිළිවෙලට දිරන්නේ නැතුව පාවිච්චි කරන්න ඕනි. දෙවන ක්‍රමය තමයි සම්පීඩිත වාතය හරහා භූමිතෙල් ගිනි දැල්වීම. මේක ටිකක් අනතුරුදායක වැඩක්. ඒකෙදිත් භූමිතෙල් ලිපේ කොටස් ගෙවීයෑමක් තියෙනවා නම් හෝ සිලින්ඩරයේ ලීක් එකක් තියෙනවා නම් ඒ ගැන අවධානයෙන් පාවිච්චි කරන්නට ඕනි.
3. දර ලිප
දර ලිප ඉතින් අපි හැමෝටම පුරුදු ලිප. අපි එක පාරක් හරි ඇස් දෙකෙන් දර ලිපක් දැකලා තියෙනවා. දර ලිප දහනයේදී වෙන්න පුළුවන් දෙයක් තමයි අපි අපිට උවමනා දේ හදාගත්තට පස්සේ ලිප නිවන්න ලොකු අවධානයක් දෙන්නේ නැති වීම. ඇතැම් වෙලාවට ලිප ආයෙත් ඇවිලිලා අනතුරු සිද්ද වෙන්න පුළුවන්. අනෙක් අතින් දර ලිප පරණ ක්‍රමයට පාවිච්චි කරද්දි ලොකු දුමක් එනවා. ඒ දුම කාබන් මොනොක්සයිඩ් සහිත එකක් නිසා කුස්සියේ නිතර ඉන්න ගෘහණියන්ට හොඳ නැහැ. දර ලිපක් පාවිච්චි කරනවා නම් මේ දුම එළියට යන්න චිමිනියක් තියෙන්න ඕනි. ඒ වගේම නව වැඩිදියුණු කරන ලද දර ලිපක් පාවිච්චි කරන්න පුළුවන් නම් එයින් දර අඩුවෙන්, දැල්ල වැඩියෙන් ලබාගන්න පුළුවන්.
4. ඉන්ෆාරෙඩ් ලිප
ඉන්ෆාරෙඩ් ලිප කියල නවීන තාලෙට හැඳින්නුවාට ඇත්තටම මේ කලින් ඉස්සර තිබුණ හොට් ප්ලේට් එකේම අලුත් ආකෘතියක්. මේකෙදි නවීන විදිහට ඉස්සර වගේ වතුර සහ අනන් මනන් හැලුනාට අවුලක් වෙන්නේ නැති වෙන්න හොඳට වීදුරුවක් ගහලා තියෙනවා. මේකෙදි මේ වීදුරුව රත් වෙනවා. ඉන් පස්සේ තමයි භාජන රත් වෙන්නේ. මේ කුකර් එකට ලොකු ධාරාවක් අදිනවා. ඉතින් මේ ලිප් පාවිච්චි කරද්දි ගෙදර වයරින් එක ගැනත් සැළකිලිමත් වෙන්නට ඕනි.
5. ඉන්ඩක්ෂන් කුකර්
විදුලිය පිරිමැස්ම අතින් ඉන්ඩක්ෂන් කුකර් එක ඉස්සරහින් ඉන්නවා. ඉන්ඩක්ෂන් කුකර් එකේ උයනකොට වෙන්න පුළුවන් ආබාධ සෑහෙන අඩුයි. සාපේක්ෂව ගෑස් සහ වෙනත් විදුලි සහ ඉන්ධන ලිප් වලට සාපේක්ෂව ලාබම විදිහක් තමයි ඉන්ඩක්ෂන් කුකර් එක. මේකේ අනෙක්වාට සාපේක්ෂව භාවිතයේදි සැළකිලිමත් වෙන්න දෙයක් නැතිම තරම්. භාජනය තිබ්බාට පස්සේ එහි ඇතුළට තමයි කෙලින්ම තාපය ඇදී යන්නේ. ඒත් ඉන්ඩක්ෂන් කුකර් එකකට මාරු වෙන්න ඉන්නවා නම් ඒකට ටික දවසක් හුරු වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒකට ගැළපෙන බඳුන් මිලදී ගන්නත් වෙනවා.
6. ප්‍රෙශර් කුකර් එක
අපි තම්බලා කෑම කන විදිහට වඩාත්ම ගැලපෙන වේගවත් ක්‍රමයක් තමයි ප්‍රෙශර් කුකර් එක. ඇට ටිකක් තම්බගන්න, අල ටිකක් තම්බගන්න වගේම එළවළුවක් හදාගන්නත් මේ ප්‍රෙශර් කුකර් එක පාවිච්චි කරන්න පුළුවන්. කෙලින්ම අපි සපයන තාපයට අමතරව ප්‍රෙශර් කුකර් එක ඇතුළේ ජලවාෂ්ප මගිනුත් ඒ අදාළ දේට දැඩි පීඩනයක්, තාපයක් එල්ල කරනවා. ඒ නිසා ඉක්මනින් දේවල් හදාගන්න ප්‍රෙශර් කුකරය හරහා පුළුවන්. ඒත් ප්‍රෙශර් කුකරයේ ඒ අදාළ පීඩනය නිදහස් කරන වෑල්වය නිසි ලෙස තිබේදැයි, එය රිලීස් වෙනවාදැයි පාවිච්චියට පෙර සොයා බලන්නට ඕනි. ඒ වගේම ප්‍රෙශර් කුකරය නිසි පරිදි නිවාගන්නේ නැතිව එහි පියන අරින්නට යෑමත් නොකළම යුතු දෙයක්.
7. විදුලි පෝරණුව
ඉලෙක්ට්‍රික් අවන් නැතිනම් විදුලි පෝරණුවත් කෑම ජාති හදන්න දැන් දැන් පාවිච්චියට එනවා. විදුලි පාවිච්චිය වැඩි නිසා මේ ඉලෙක්ට්‍රික් අවන් සම්බන්ධ කරන පේනු ආදියට නිසි පරිදි වැඩි ධාරාවකට ඔරොත්තු දෙන විදිහට සකසා ගන්නට ඕනි. ඒ වගේම විදුලි පෝරණුවේ එක් එක් දේවල් දාන්න ඕනි කාලය සහ උෂ්ණත්වයක් තියෙනවා. වැරදි විදිහට සෙටින්ස් සකස් කළොත් අවුල් කෑමක් එනවා වගේම අවන් එකට එයින් හානි වෙන්නත් පුළුවන්. මේ විදුලි පෝරණු නමගිය බ්‍රෑන්ඩ් එකකින් සුලබ වර්ගයක් මිලදී ගන්න පුළුවන් නම් තවත් හොඳයි.
උදුන් පාවිච්චියේදි දරුවන් ගැනත් විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕනි. පාවිච්චියෙන් පසු ඒවා නිසියාකාරව ස්විච් ඕෆ් කර ගලවා තැබීම, උණුසුම් භාජන දරුවන්ගෙන් ඈත් කර තැබීම වගේ දේවල් කළ යුතුම දේවල් වෙනවා දරුවන් ඉද්දි. ඉතින් එක් එක් උදුන් වල තියෙන යම් යම් කාරණා ගැන ඔයාල විස්තර ටිකක් මේ ලිපිය හරහා දැනගන්න ඇති කියලා අපි හිතනවා.
Leave a Reply