රට රටවල උදේ ආහාර වේල් ගැන දැනගනිමු

ආහාර වේල කිව්වට උදෑසන කන කෑම රට රටවල් අනුව වෙනස් වෙනවා. සමහර රටවල හරි බර බත් වැනි ආහාර එකතු කරගන්නවා. තවත් රටවල්වල සැහැල්ලු පාන් වැනි ආහාර එකතු කරගන්නවා. කෙහොම වුණත් මේ උදෑසන ආහාර වේල කියන එක ලෝක සම්මතයක් වගේ හැම රටකම තියෙනවා. ඉතින් විවිධ රටවල බලපෑම් සහ වඩාත් සුලභ දේවලින් ඒ ඒ රටවල උදෑසන ආහාර වේල සාරවත් වෙනවා.

 

1. තුර්කිය – කාවල්ටි (Kahvalti) 

කාවල්ටි කියන්නේ තුර්කියේ සාම්ප්‍රදායික උදෑසන ආහාර වේල. මේ ආහාර වේල ඇඳෙන් නැගිටින්න ඔවුන්ට උදවු වෙනවා. සුමුදු පාන්, ක්‍රීම් වගේ තියෙන චීස්, ඔලිව්, තක්කාලි, පිපිඤ්ඤා, ගිනි සැරට තියෙන මිරිස් සෝස්, ජෑම්, පැණි වගේ දේවල් මේ ආහාර වේලට ඇතුළත් වෙනවා. ඒ වගේම තම්බපු බිත්තර වගේම සයිඩ් එකෙන් කෝපි එකක් සහ තේ එකකුත් මේ තුර්කි උදෑසන ආහාර වේලට ඇතුළත් වෙනවා. මේ විදිහට ගොඩක් කෑම ජාති හැම තුර්කි ජාතිකයාටම ලැබෙන්නේ නැතත් ඒ රටේ සාම්ප්‍රදායික උදෑසන ආහාර වේල ආහාර ගොඩකින් පිරිලා තියෙනවා.

 

2. කොස්ටරීකා – ගලෝ පින්තෝ (Gallo pinto) 

ගලෝ පින්තෝ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් සහ ඒ හා සබැඳි ආහාර ටිකක් තියෙන ටිකක් තදබල උදෑසන ආහාර වේලක්. මේ ෆ්‍රයිඩ් රයිස් එකට කළුපාට කවුපි එහෙමත් ඇතුළත් වෙනවා. මේ එක්කම ස්ක්‍රැම්බ්ල් කරගත් බිත්තරයක්, ලුණු රසැති ක්‍රීම් එකක් සහ පළතුරු වර්ග ඇතුළත් වෙනවා. මේ පළතුරු වලට කෙසෙල්ගෙඩි සහ අලිපේර නිතරම ඇතුළත් වෙනවා. ඒ වගේම අනෙක් උදෑසන ආහාර වේලවලට වගේම ටිකක් තද කෝපි එකක් හෝ තේ එකක් මේකට ඇතුළත් වෙනවා.

 

3. ස්විට්සර්ලන්තය : මියුස්ලි (Muesli) 

ස්විස් රටේ ගව සම්පත සරුසාරව තියෙනවා. කඳුකර රටක් වෙන ස්විස් රටේදි උදෑසන ආහාර වේල විදිහට කිරි හෝ යෝගට් සමග අලුත් පළතුරු සහ තේ කෝපි ගන්නවා. මියුස්ලි කියන ස්විස් ආහාර වේලට රටකජු, වොල්නට්, වට්ටක්කා ඇට, කජු මද, ආමන්ඩ් සහ ෆ්ලැක්ස් ඇතුළත්. ඕට්ස් ඇට හොඳින් රෝස්ට් කරගෙන එයත් මේ මියුස්ලි වලට ඇතුළත් කරගන්නවා. මේ රසවත් මිශ්‍රණයට පැණි, මුද්දරස්පලම් සහ රට ඉඳි එකතු කරගන්නවා. මේ මිශ්‍රණය හදාගෙන තියාගෙන එය කිරි සහ බටර් ආදියත් සමග උදෑසන ආහාර වේලට එකතු කරගන්නත් පුළුවන්.

 

 

4. මැලේසියාව – නාසි ලෙමක් (Nasi lemak) 

මැලේසියාව විවිධ ආකාරයේ ආහාර රටාවක් තියෙන දේශයක්. කලක පටන් චීන, මැලේ, ඉන්දියන් සහ බටහිර ආභාෂය මැලේ කෑම වලට ලැබිලා තියෙනව. නාසි ලෙමක් අපේ කිරිබත් වලට සමානයි. මේ කිරිබත් වලට ටෝස්ට් කරපු රටකජු ආදියත් ඇතුළත් වෙනවා. ඒ වගේම අපිට සමීප සම්බල් වර්ගයකුත් මේ නාසි ලෙමක් වලට ඇතුළත් වෙනවා. මේ කිරිබත් කන්න ඉතින් තම්බපු බිත්තර, බැදපු මාළු එහෙමත් මැලේ අය පාවිච්චි කරනවා. මේ නාසි ලෙමක් හදන්න ගන්න අමතර කුළුබඩු ආදිය නිසා එය දිව පිනවනවා විතරක්, නෙමෙයි ප්‍රණීත සුවඳක්ද තියෙනවා.

 

5. චීනය – ඩිම්සුම් (Dim sum) 

චීනය කියන්නේ ලොකු රටක් නිසා විවිධ ආහාර වේල් තියෙනවා. එයින් ඩිම්සුම් ගැන තමයි අපි විස්තර කරන්න යන්නේ. හුමාලයේ තම්බාපු, බයිට් එකට ගන්න පුළුවන් සයිස් එකේ ඩිෂ් ගොඩක් ඩිම්සුම් වලට ඇතුළත් වෙනවා. ඩිම්සුම් කන්නේ චොප්ස්ටික් වලින්. මේ කුඩා කුඩා බඳුන් වලට ගෙන එන ඩිම්සුම් ආහාර වේල කැමති පරිදි වෙනස් කරගන්නත් පුළුවන්. තම්බාපු බනිස්, රයිස් නූඩ්ල්ස් රෝල්ස්, ඩම්ප්ලින් වගේම ඉස්සෝ, කුකුළුවෝ සහ මස් වර්ගත් මේ ඩිම්සුම් ආහාර වේලට ඇතුළත් වෙනවා. මේ ඩිම්සුම් එකක් නොදන්නා කෙනෙක් ඇනවුම් කරනවා නම් හොඳින් ඒ ගැන දන්න කෙනෙක්ගේ සහාය ගන්න එක වටිනවා.

 

 

6. එක්සත් රාජධානිය – The Full English Breakfast

සාමාන්‍යයෙන් සංචාරක පළාතකට ගියාම මේ ඉංග්‍රීසි ආහාර වේල අපිට ලේසියෙන්ම ඇනවුම් කරන්නට පුළුවන්. ඉංග්‍රීසි උදෑසන ආහාර වේලට බටර් සමග රෝස්ට් කරපු පාන්, සොසේජස්, ස්ක්‍රැම්බ්ල් කරපු බිත්තර සහ හැම් ඇතුළත් වෙනවා. ඊට අමතරව රෝස්ට් කරන ලද අලත් බොහෝ වෙලාවට ඉංග්‍රීසි උදේ ආහාර වේල සාරවත් කරනවා. මේ ආහාර වේල සමග වෙනමම තේ එකකුත් යනවා. ඊට අමතරව පළතුරු වර්ගත් ඇතැම් වෙලාවට මේ උදෑසන ආහාර වේලට බ්‍රිතාන්‍ය ජාතිකයන් එකතු කරගන්නවා.

 

 

7. මියන්මාරය – මොහින්ගා (Mohinga) 

මියන්මාරයේ මේ දිනවල නම් හරි කළබල. ඒත් මියන්මාරය හෙවත් බුරුම රටට යන අය අතර මේ මොහින්ගා කියන උදෑසන ආහාර වේල ජනප්‍රියයි. මේ මොහින්ගා එක සුප් එකක් වගේ. එයට නූඩ්ල්ස් සහ වෙනත් ජාති ඇතුළත් වෙනවා. ධාන්‍ය වර්ග සහ තම්බපු බිත්තරත් මේ සුප් එකටම ඇතුළත් වෙනවා. මේ මොහින්ගා එක්ක ස්ටිකී රයිස් එහෙමත් මියන්මාරයේ උදෑසන ආහාර වේලට එකතු කරගන්නවා.

 

අපිට හරියට මෙන්න මේකය කියන්න උදෑසන ආහාර වේලක් නැහැ. අපි ඉඳිආප්ප, පිට්ටු, කඩල, මුං ඇට වගේම රතු බත් ආදියත් උදෑසන ආහාර වේලට එකතු කරගන්නවා. අපි ගම්වල ජීවත් වුණ ඉස්සර කාලේ නම් විවිධ ධාන්‍ය වර්ග වගේම කුරහන් තලප, පිට්ටු ආදියත් උදේ ආහාර වේලට එකතු කරගත්තා. ඉතින් අලුත් රටකට ගියොත් හරි ඒ දේශයේ උදෑසන ආහාර වේලක් රස බලන එක හොඳ අත්දැකීමක් වෙයි ඔයාලටත්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *