බලය අහිමි වූ රජ පවුල්

අතීතයේදී ලෝකයේ පැවතුණේ රාජාණ්ඩු පමණයි. කෙමෙන් කෙමෙන් නිදහස් චින්තකයන්ගේ දායකත්වය ජන සමාජය කෙරෙහි බලපෑම් ඇති කරද්දී රජවරුන් සතුව තිබූ අසීමිත බලය ප්‍රශ්න කිරීමට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ බලය සීමා කෙරුණු අතර රටවල් ක්‍රමක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කරා ගියා. ඒ සඳහා සහයෝගය දැක්වූ රජ පවුල්වලට නාමමාත්‍රිකව බලයක් ලබා දී ආරක්ෂා කර ගැනීමට ඇතැම් රටවල් සමත් වුණා. නමුත් කාලයත් සමග වෙනස් වීමට අපොහොසත් වූ රජ පවුල්වලට සිය බලය පමණක් නොව ඇතැම්විට අවාසනාවන්ත ඉරණම්වලට පවා ගොදුරු වීමට සිදු වුණා. අද අපි ඔබට කියන්න යන්නේ කාලයක් මිහිබට දෙවිවරුන් සේ බලය පතුරුවා ගනිමින් සිට බලය අහිමි වූ රාජකීය පවුල් කීපයක් පිළිබඳවයි.

 

1. නේපාල රජ පවුල

ලෝකයේ එකම හින්දු රාජ්‍යය ලෙස පිළිගැනුණු නේපාලයේ ජීවමාන දෙවියෙකු ලෙස එරට රජුව සැලකුණා. සියවස් ගණනාවක් පුරා නේපාලය ඇතුළු උතුරු ඉන්දියාවේ දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කළ ෂා රාජවංශයේ අවසානය සනිටුහන් වුණේ පාර්ලිමේන්තුව විසින් එරට රාජාණ්ඩුව අහෝසි කොට සමූහාණ්ඩුවක් ලෙස නේපාලය ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. එයට වසර හතකට පමණ පෙර කිරුළ හිමි කුමරු විසින් සිය පිය රජු බිරේන්ද්‍ර රජුව ඝාතනය කළ අතර නේපාලයේ සිහසුන රජුගේ බාල සහෝදරයා වූ ගයනේන්ද්‍ර වෙත පැවරුණා. නමුත් ඔහු ඉහත සඳහන් කළ අයුරින් නේපාලයේ අවසන් රජු බවට පත් වුණා.

 

2. ඉරාන රජපවුල

යුධ නිලධාරියකු ලෙස තම ගමන ආරම්භ කළ රේසා පාලවී අනතුරුව ඉරානයේ අගමැතිවරයා බවට පත්වුණා. අනතුරුව එවකට ඉරාන රජු ලෙස කටයුතු කරමින් සිටි අහමඩ් ෂා බලයෙන් පහ කළ ඔහු තමන්ව රජු ලෙස ප්‍රකාශයට පත්කර ගත්තා. ඔහුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා රජු බවට පත් වූ අතර එම පාලන සමයේදී සිදු වූ ඉරාන විප්ලවය හේතුවෙන් වසර 2500ක් පමණ කාලයක් පැවැති ඉරාන රාජාණ්ඩුව අවසාන සුසුම් හෙළනු ලැබුවා.

 

3. හවායි රජපවුල

දූපත් ගණනාවකින් සමන්විත ව තිබූ හවායි රාජ්‍යය 1795 වසරේ දී එක්සත් රාජ්‍යයක් බවට පත්වූයේ මහා කමේහමේහා නම් නායකයා යටතේයි. ඔහුගේ රාජවංශයත්, ඉන් අනතුරුව කලෞකා රාජවංශයත් පිළිවෙළින් හවායි රාජ්‍යය පාලනය කරනු ලැබුවා. කෙසේ නමුත් තම අසල්වැසි ඇමරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය ඉදිරියේ හවායි රාජ්‍යයට සිය ස්වාධිපත්‍යය අහිමිව ගියා.

 

4. යේමන රජ පවුල

ෂියා ඉස්ලාම් ලෝකයේ ප්‍රබල තත්ත්වයක සිටි යේමන රජ පවුලේ ඉතිහාසය වසර 1500 ක් පමණ ඈත අතීතයකට දිව යන බව ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඔවුන් රාජ්‍ය පාලනයට අමතරව ආගමික නායකයන් ලෙසත් යේමනයේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපෑම් කරනු ලැබුවා. කෙසේ නමුත් රට තුළ ඇති වූ සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යේමන රජ පවුලට ද සිය බලය අහිමිව ගියා.

 

5. රුවන්ඩාවේ ආවෙ රජ පවුල

දහ අට වන සියවසේ පටන් රුවන්ඩාව පාලනය කරනු ලැබුවේ ටුට්සි ගෝත්‍රයට අයත් රජ පවුලක් විසින්.ජර්මනිය සහ බෙල්ජියම වැනි බටහිර රටවල් රුවන්ඩාවේ සම්පත් කොල්ලකෑමට එම රජ පවුල ඉත්තෙකු ලෙස භාවිතා කිරීමට කටයුතු කළා. නමුත් රුවන්ඩාව තුළ ජනවර්ගයක් ලෙස හුටු ගෝත්‍රය ප්‍රබල තැනක සිටි අතර ඔවුන් විසින් 1959 දී ටුට්සි ග්‍රෝත්‍රයට එරෙහිව සිවිල් යුද්ධයක් දියත් කළ අතර එම සිදුවීම රුවන්ඩා විප්ලවය ලෙස හැඳින්වුණා. රුවන්ඩාව සමූහාණ්ඩුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එවකට රජු ලෙස කටයුතු කරමින් සිටී පස්වෙනි කිගේලී රජු ඇමරිකා එක්සත් ජනපදයට පලා ගියා.

 

6. ලාඕස රජපවුල

ගිනිකොනදිග ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ලාඕසය 1904 සිට 1975 දක්වා කාලය තුළ පාලනය කරනු ලැබුවේ රජ පවුලක් විසිනුයි. රජ පවුලේ තවත් ඥාතියෙකු වන සුප්හැනෝවන්ග් නම් කුමරු රාජකීය හමුදාවේද සහයෝගය ලබා ගනිමිනි ලාඕස රාජාණ්ඩුව පෙරළා දමා කොමියුනිස්ට් පාලනයක් රටේ ඇති කිරීමට නායකත්වය ලබා දෙනු ලැබුවා. ඔහු ලාඕසයේ පළමු ජනාධිපතිවරයා බවට පත්වුණා. ඔහුගේ පාලන කාලය යටතේදී පැරණි රජ පවුලේ සාමාජිකයන් ගණනාවක් ඝාතනය වූ බවට විශ්වාස කෙරෙනවා.

 

7. කොරියානු රජ පවුල

වසර දහස් ගණනක පමණ ඉතිහාසයක් සහිත කොරියානු රජ පවුලේ අවසානයට වඩාත්ම වගකිවයුතු පාර්ශවය වන්නේ ජපානයයි. දෙවැනි ලෝක යුද සමයේ දී කොරියාව ආක්‍රමණය කළ ජපානය කොරියානු රජ පවුලේ බලය අහෝසි කොට එම රජ පවුල ජපන්කරණයට ලක් කිරීමට උත්සාහ කළා. 1945 කොරියාව නිදහස ලැබීමෙන් පසුව බලයට පැමිණි දේශපාලන නායකයන් කොරියාව ජපානයට යටත් වීම කෙරෙහි වගකිවයුතු පාර්ශවයක් ලෙස කොරියානු රජ පවුල නම් කළ අතර රජ පවුලේ සාමාජිකයන්ටද විවිධ හිරිහැර කළා.

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *