අපි දැන් පාන්වලට ආසා වුනත් නැතත් අපේ පුංචි කාලෙ අපිට පාන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙච්ච කාලයක් තිබුනා. ඒක පාන් කන්න විතරක් නෙමෙයි, පාන් ගේන්න, පාන් හොරෙන් කන්න, පාන් ඉස්කෝලෙ ගෙනියන්න, වගේම විවිධ විවිධ ක්රම වලට පාන් හා බැඳීගෙන ඉන්න සිද්ධ වුනා. මේ කියන්න යන්නෙ පානුයි අපියි අතර ඒ කාලෙ තිබ්බ ආතල් කතා ටිකක්.
1. ඉස්කෝලෙට

Source – archanaskitchen.com
ඉස්කෝලෙට අම්මලා හැමදාම බත් දෙන්න හිතාගෙන උන්නත්, තියෙන කාර්යබහුලත්වය නිසාම පුංචි කාලෙදි ඉස්කෝලෙට කන්න යවන කෑම පෙට්ටියෙ ගොඩක් වෙලාවට තිබ්බෙ පාන්. ගෙදරදි වගේ හොදි ජාති එක්ක ඉස්කෝලෙ ගෙනිහින් පාන් කන්න බැරි හින්දා අපේ කෑම පෙට්ටියට දාපු පාන් මැද මාර රස කෑම ජාති තිබ්බා. සමහර දවස්වලට ඒවා ටෝස්ට් කරපු පාන් විදියටත් අපිට ලැබුනා. ඒ පාන් මැද අල බැදුම්, බිත්තර ඔම්ලට්, ළූණු තෙල් දාලා, පරිප්පු හින්දලා, සොසේජස්, ජෑම් වගේ දේවල් තිබුනා. මොකක් තිබුනත් කන්න ලේසි නිසා අපි ඒවා මගදිම කාලා ඉවරයි. දවල්ට වතුර බීලා සෙල්ලම් කරා.
2. ගෙදරදි

Source – freefoodphotos.com
ගෙදරදි පාන් කන්න හදද්දි අපිට අමුතු ලෙඩක් ගහනවා. ඒ තමයි ගෙදර අනිත් කට්ටිය පාන් කන විදියට අපි පාන් නොකන එක. ගෙදර පාන් කන්න මාළු හොදි හැදුවානං එදාට අපිට පාන් කන්න වෙනිං දෙයක් හොයාගන්න සිද්ධ වුනා. ඒ හින්දා ගෙදර කෙසෙල් තියෙනවද? ජෑම් ඉතුරුද? බටර් ඉවර වෙලාද? වගේ බල බල විපරං කරා. අන්තිමට මොකුත්ම නැත්තං සීනි ටිකක් හරි ඉහගෙන අපි පාන් කෑවෙ ගෙදර ගෙනියන සාම්ප්රදායකත්වයට එල්ල කරන මරු ප්රහාරයක් විදියට ඒක ගැන හිතාගෙන.
3. හිල

Source – suberbanstoneage.com
රෑට කන්න හවස ගෙනාපු උණු පාන් හොරෙන් කන්න විදියක් හෙවුව. ඉස්සරම කෑල්ලක් බලු කූඩුව ගාවට දාලා බල්ලගෙ පිටින් පාන් ගෙඩියෙම වරද පටවලා කාපු අතීතයකුත් තිබුනා. ඊටත් පස්සෙ හොරෙන් කන එකේ ආතල් එක උපරිමේට ආවට පස්සෙ පාන් ගෙඩිය යටින් හෝ පැත්තෙන් හිලක් හාරලා පාන් කඩාගෙන කෑවා. ඇත්තටම ඒක හවස ගේන උණු පාන්වල රස්නෙ යන්න කලින් කනවා කියලා හිතාගෙන කෑවා මිසක් කුපාඩි කමකට කරපු දෙයක් නෙමෙයි.
4. වාටි සහ ප්ලේන්ටී

Source – bakethiscake.com
ගෙදර කට්ටියට කන්න ගෙනාපු පාන් කන්න කලින් වාටි ටික කපනවා. මහ රෑ දහයට විතර බඩගිනි වුනාම බඩට යන්නෙ ඔන්න ඔය වාටි ටික. වාටි ටික පංජාර කුංජු කිය කිය ප්ලේන්ටියක් හදාගෙන පොඟවගෙන හපද්දි තියෙන ආතල් එක ඔය පීසඩිලාවලින් ගන්න බෑ මහත්තයො.
5. රෝස් පාන් සහ පොල් කෑලි

Source – bustle.com / paanpaan.com
පාන්වලින් අපි ආසම පාන් ජාතිය තමයි රෝස් පාන්. රෝස් පාන්වල අමුතු කර ගතියත් එක්ක එන නියම තෙල් රසට පොල් කෑල්ලක් හප හප හවසට ටීවී එක බලද්දි තියෙන ආතල් එක මහත්තයො වචනවලින් කියන්න බැහැ. මේ කාලෙ කඩවල තියෙන රෝස් පාන් ඒ රසට එන්නෙත් නෑ.
6. අඩිය

Source – jdfoodproducts.com / pintarest.com
පාන් කන්න හොඳම දෙයක් තමයි අඩිය. අඩිය කිවුවෙ ගෙදර දවල්ට කාපු කරෝල ඇතිලියෙ අඩිය. දිවුල් ජෑම් බෝතලේ අඩිය වගේ ඒව. ඒවයෙ පාන් කෑල්ල හූරගෙන කනකොට එන සොමිය පොෂ් කල්චර් එකේ කෑමකින් කිට්ටු කරන්නවත් බෑ.
7. හවසට පාන් ගේන හැටි

Source – mechaeldabarera.com
ඉස්සර දැන් වගේ චූන් පාන් නෑ. පාන් මාමා හවසට නෑ. ඉතිං කඩේ යන්නම වෙනවා. ගිහිල්ල යාළුවොත් හම්බෙලා පාන් ගෙඩිය දාපු බෑග් එක වන වන පාර පුරා එන හැටි දැක්කම පාරෙ යන වැඩිහිටි මිනිස්සු කෑ ගහනව පාන් ගෙඩිය වැටෙයි කියල. ඒත් අපේ ප්රැක්ටිස් එක පරද්දවන්න පාන් දාපු බෑග් එකට බෑ.. පාන් ගේන එකේ තව වාසි තියෙනවා. පාන් ගෙනල්ල ඉතුරු සල්ලි උස්සන හැටිත් කලාවක්. ඒක ඉගෙනගන්න ඕන.
8. තම්බපු පාන්

Source – flickr.com
තම්බපු පාන් ගැනත් අපිට තියෙන්නෙ සුවිශේෂී මතකයක්. ඉස්සර එළිපහලියෙ සෙල්ලම් කරද්දි අහල පහල බේකරියක් එහෙම තියනව නම් අපේ සෙට් එක කරන්නෙ සල්ලි එකතු කරන් ගිහින් තම්බපු පාන් ගන්න එක. වාටි කරවෙලා නැති, බනිස් ගාණට සොෆ්ට්වට තියන මේ පාන් වල තිබ්බේ පුදුම රසයක්. හැබැයි මේ පාන් කෑවම බඩේ අමාරුව එනවය කියලා අම්මලා නම් කැමතිම නෑ අපි ඒව කනවට.
Cover Image Source – youtube.com
Leave a Reply