කුස්සියට හොඳ පිහියක් ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

කුස්සියට පිහියක් ගැනීම ආලින්දයට ටීවී එකක් ගැනීමට වඩා වැදගත් දෙයක්. මොකද හොඳට කැපෙන, අපිට වැඩකරන්න ආස හිතෙන පිහියක් කුස්සියේ වැඩ වඩාත් ලේසි කරනවා. චෙෆ් නයිෆ්, එහෙම නැතිනම් කිචන් පිහි ගත්තාම වර්ග ගණනාවක් තියෙනවා. මේ පිහි තොරාගනිද්දි සළකා බලන්න ඕනි කරුණු කිහිපයක් අපි බලමු. මොකද හොඳම වර්ගයේ පිහි නම් ටිකක් මිලෙන් අධිකයි. ඒත් මේ දේවල් බලලා ඒ අනුව අදාළ හොඳ පිහියක් මිලදී ගත්තොත් අපිට කාලයක් එය පාවිච්චි කරන්නට හැකි වේවි.

 

 

1. පිහි බර

ලොකුවට බර තියෙන පිහි වලින් මස් මාළු වගේ තද දේවල් කපන්න ලේසියි. මේ පිහියේ බර රටින් රටට වෙනස් වෙනවා. ජර්මානුන් හදන පිහි ජපනුන්ගේ පිහි වලට වඩා බරයි. කුඩා එළවළු වර්ග කපන්නට ගන්න පිහි ජාති බර අඩුයි. ඉතින් පිහියක් මිලදී ගැනීමේදි කුස්සියේ වැඩිපුර ඉන්නේ කාන්තා පාර්ශවය නිසා ගොඩක්ම බර පිහි නැතුව එයාලගේ කැමැත්ත අනුව පිහියක් තෝරාගන්න එක හොඳයි.

 

 

2. බැලන්ස්

පිහියේ බැලන්ස් එකට එහි මිට සහ සැකැස්ම බලපානවා. ඔබ පිහිය පාවිච්චි කරන විදිහ අනුව බැලන්ස් එක බලපානවා. අපේ කාන්තා උදවිය නම් මේස උඩ හිටවලා කපන පිහි පාවිච්චි කරනවා. එහිදී පිහිය කියන එක ස්ථාවරයි. අපි එළවළු ඒක උඩ තියලා කපනවා. එතකොට අමුතුවෙන් ඒකේ බැලන්ස් එක බලන්න උවමනා නැහැ. ඒත් සාමාන්‍ය ලෑල්ලක් උඩ තියලා එළවළු කපනවා නම් අපි කපන විදිහට අනුව බැලන්ස් එක වැදගත් වෙනවා.

 

 

3. සයිස් එක

ගෙදර තියෙන එකම පිහියෙන් එළවළුත් කපලා, මස් මාළුත් කපලා, පොලුත් බිඳින්න ගියොත් ඒ පිහියේ ආයුකාලය අඩුවෙනවා. සාමාන්‍ය පිහියේ ප්‍රමාණයට පිහියේ දිගත් ඇතුළත්. කුස්සි පිහි වල සාමාන්‍ය දිග අඟල් 6 සිට 8 දක්වා අගයක් ගන්නවා. පිහිය යොදාගන්නා ද්‍රව්‍ය අනුව පිහියේ උස තීරණය වෙනවා. පිහියේ දිග වැඩි වුණාම සාමාන්‍යයෙන් දේවල් ගොඩක් කපන්න පුළුවන්. ඒ වගේ ගොඩක් එකපාර තියලා කපලා හුරු අයට අඟල් දහයේ විතර දිග පිහිත් තියෙනවා. යාබද රටවල් දෙකක් වුණත් ප්‍රංශයේ උයන වැඩට ගන්න සාමාන්‍ය පිහිය ජර්මානුවන් පාවිච්චි කරන එකට වඩා මදක් දිගයි.

 

 

4. මිට ස්වභාවය

පිහියක මිට කියන සාධකය වැදගත්. ඉස්සර කාලේ කම්මල් පිහි වල නම් මුලින්ම සිද්ද වෙන දෙයක් තමයි මිට ගැලවිලා යන එක. දැන් මිට ගැහීමේ තාක්ෂණය දියුණු වෙලා. ඇතැම් පිහි වල මිටත් ලෝහ වලින්ම එනවා. මේ පිහි මිට ප්ලාස්ටික් සහ පදම් කළ ලී වලින් ඇති විට පිහිය පිරිසිදු කරගන්නට වඩාත් පහසුයි.

 

 

5. ලෝහ වර්ගය

මේ පිහි නිපදවීමේදී විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා. වඩාත් ශක්තිමත් පිහි නිපදවීමේදි වානේ තහඩු කිහිපයක් එක මත එක තබා තැලීමේ තාක්ෂණය යොදාගන්නවා. ස්ටේන්ලස් ස්ටීල් හෙවත් මළ නොකන වානේ පිහි වල අවපැහැගැන්වීම අඩුයි. ඒත් ඒවා මුවහත් තියන්න අමාරුයි. යකඩ සහ වානේ වලින් තැනූ ශක්තිමත් පිහි බරයි. ඒත් මුවහත අලුත් කරගන්නට ලේසියි. හොඳ චෙෆ් පිහියක් අවුරුදු කිහිපයක් ගියාට පස්සේ මදක් අව පැහැ ගැන්වුණාට ඒකෙන් පිහියට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඇතැම් පිහි වල මුවහත දෙපැත්තටම නැහැ. එවැනි විශේෂ පිහි මුවහත් කරද්දි ඒ ගැනත් සළකා බලන්නට ඕනි.

 

 

6. මුවහත් කරන විදිහ

පිහියක් ගැනීම වගේම ඒක මුවහත් කිරීමත් දැනගත යුතු දෙයක්. ගෙදර තිබෙන පිහියෙන් කපන්න අමාරු නම් අපි ඒක ටිකක් මුවහත් කරගන්නට ඕනි. එයින් සාමාන්‍ය පිහි මුවහත් කරගන්නට කුඩා ගිනිගලක් පාවිච්චි කරන්නට පුළුවන්. වානේ පිහි නම් ගලක ඇතිල්ලුවාහම හොඳට මුවහත් වෙනවා. හොඳ වර්ගයේ පිහි නිතර මුවහත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවායේ මුවහත වැඩි කාලයක් හොඳට තියෙනවා. ඒ වගේම පිහි මුවහත් කිරීමේදී පාවිච්චි කරන අය ගැනත් සැළකිලිමත් වෙන්නට ඕනි. දරුවනුත් පිහි පාවිච්චි කරනවා නම් හොඳින්ම පිහි මුවහත් කර තැබීම එතරම් හොඳ නැහැ.

 

 

7. මුවහත ස්වභාවය

මුවහත තරමක් රළු, හිරමනයක වගේ දැති දැති තියෙන පිහි පාන් කැපීම වගේ වැඩ වලට වඩාත් සුදුසුයි. ඒ වගේම තද දේවල් කපන්න මුවහත විවිධ ආකාරයෙන් පිහිටා තිබෙන පිහි තිබෙනවා. සාමාන්‍ය අපේ රටේ මාළු කපන්න ගන්න විශාල පිහි වල මුවහත තියුණුයි. ඒ වගේම දිගට තියෙනවා. මේ දැති දැති මුවහත තිබෙන පිහි ඒ අදාළ කාර්යයට පමණක් යොදාගන්නට ඕනි. ඒ පිහි මුවහත් කරන්නත් ටිකක් අමාරුයි.

 

 

පිහි මිලදී ගනිද්දි මේ දේවල් ගැන බැලුවොත් පිහි කෙටි කලකින් විසික් කරන්න වෙන එකක් නැහැ. ජර්මානු සහ ජපන් පිහි මෙහෙදි මිලදී ගන්න එක අමාරුයි. ඒ වගේම ඔරිජිනල් ඒවා හොයන්නත් අමාරුයි. ඉතින් පිහි ගැන ඔයාලට මේ හරහා යම් අදහසක් එන්නට ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *