හිම මිදෙනා නගරේ…
රුව පෑව ඒ රූබරී…
ආදී හිම මිදුණු නගර ගැන කියවෙන ගීත ඇසෙන විට අපිටද හිම ටිකක් ඇත්තටම තියෙන තැනකට ගිහින් එන්නට අමුතු ආසාවක් ඇතිවේ. ජපානයට, උතුරු යුරෝපයට, රුසියාවට, නවසීලන්තයට, කැනඩාවට ගොස් හිම මිදුණු පරිසරය අපිට බලාගත හැකි වුවත්, ඒ සඳහා විශාල කාලයක් මුදලක් වියදම් කළ යුතුය. අනෙක් අතින් වීසා ලබාගැනීම ආදී කටයුතු අපහසුය. ලෝකයේ උසම කඳු පියස්ස වන හිමාලයේ, අපේ ශීත කාලය වන ජනවාරි දෙසැම්බර් කාලසීමාවේදී මීටර 3000-4000 උසැති කඳු මුදුන් පවා හිමෙන් වැසී යන්නේය. නේපාලය, භූතානය, පාකිස්ථානය සහ ඉන්දියාවේ හිමාල ආසන්න පළාත් නොවැම්බර්-පෙබරවාරි කාලයේදී තද ශීතලෙන් වෙලී යයි. එයින් හිම වලට කැමති අය යන එන සංචාරක ස්ථාන කිහිපයක්ම ජාත්‍යන්තර වශයෙන්ද ජනප්‍රිය වී තිබේ.
1. කාශ්මීරය

Source – yellowpeaks.com
ඉන්දියාව සහ පාකිස්ථානය දෙකඩ වූ 1947 සිට මේ දක්වා වරින් වර ගැටුම් ඇතිවන කාශ්මීරය මිනිසුන් අතර ගැටුම් තිබුනද පරිසරය අතින් සුන්දර පළාතකි. කාශ්මීරය දැනට පාකිස්ථානයේ අසාද් කාශ්මීරය සහ ඉන්දීය කාශ්මීරය වශයෙන් කොටස් දෙකකි. එයින් ඉන්දියාවට අලංකාර වූ භූ දර්ශන වලින් සපිරි කාශ්මීර කොටසක් ලැබී තිබේ. ගුල්මාර්ග්, සොනොමාර්ග් සහ පහල්ගම් ආදී පළාත් හි ශීත කාලයේදී මෙන්ම වෙනත් කාලවලදීද හිම මිදී පවතින නිම්නයන් වෙති. ජම්මු සහ ශ්‍රී නගර් ලෙස කාශ්මීරයේ අගනුවර දෙකකි. එයින් මුස්ලිම් බහුතරයක් වෙසෙන ශ්‍රී නගර් විලක් ආසන්නයේ පිහිටි කඳුකරයකින් වටවූ මනරම් නගරයකි. ඇතැම් ශීත කාලවලදී කාශ්මීරයේ ශ්‍රී නගර් නගර ආසන්නයේදීම හිම මිදී තිබෙනු දකින්නට හැකිය. කාශ්මීරයට ඇතුල් විය හැකි මාර්ග දෙකකි. එකක් නම් දිල්ලියේ සිට ජම්මු දක්වා ගොස්, එතැනින් රියෙක නැගී ශ්‍රී නගර් වෙත සහ අනෙකුත් අලංකාර ස්ථාන කරා පිවිසීමයි. අනෙක නම් ශ්‍රී නගර් වෙත දිල්ලියේ සිට කෙලින්ම ගුවනින් යෑමයි.
2. ලදාක් ලේ

Source – myindianstay.com
ලේ යනු ඉන්දියාවේ චීන පාකිස්ථාන දේශ සීමාවේ ඇති කාන්තාරමය නගරයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ලේ ලදාක් යනු ශීතල කාන්තාරයක් වීමයි. මෝසම් සුලං එන පැත්තට විරුද්ධ පැත්තේ පිහිටි ලදාක් හි කඳු බොහොමයක් සම්පූර්ණයෙන්ම ජීවයක් නැති දුඹුරු පැහැයෙන් යුක්ත වේ. ලේ නගරය හරහා ගලාබසින ග්ලැසියර දියවී වැටෙන දිය දහරාවෝ මිනිස්සුන්ටත් සතුන්ටත් ජීවය ටිකක් ඉතිරි කර පහළට ගලා යයි. ලක්ෂ දෙක තුනක ජනගහනයක් සිටින ලදාක් පළාත ලංකාවටත් වඩා විශාල වපසරියක පැතිරී පවතී. ඉන්දියාවේ හුදකලාම පළාතක් වන ලදාක් හි ජනයා මහායානික බෞද්ධයෝ වෙති. ලදාක් කරා පිවිසෙන මහා මාර්ග වන ශ්‍රී නගර් ලේ ලදාක් මාවත සහ මනාලි ලේ ලදාක් මාවත යන මාවත් දෙකම විවෘතව පවතින්නේ අවුරුද්දකට මාස 4-5ක් පමණි. ඇතැම් තැනකදී මීටර 5000 උසද ඉක්මවන එම මාර්ගයන්හි ඇතැම් කොටස් ශීත කාලයේදී සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යන්නේය.
3. මනාලි කුල්ලු

Source – holidaysplanners.com
කුල්ලු මනාලි දිල්ලියේ සිට පෑ 12-14කින් පිවිසිය හැකි සුන්දර පළාතකි. මනාලියේ පිහිටි, ලදාක් දක්වා දිවෙන මහාමාර්ගයේ ඇති රොතැන් පාස් නම් ස්ථානයේ කුඩා දේවාලයකි. ශීත කාලයේදී මෙම ස්ථානය හිමෙන් වැසී යන අතර අනෙක් කාලවලදීද සංචාරකයින් මේ කුඩා දෙවොල කරා ගොස් එම ස්ථානයේ සිරි නැරඹීමට අමතක නොකරති. ශීත කාලයේදී මනාලිය අවට කඳු හිමෙන් වැසී යන අතර, හිම අසිරි විඳීමට පැමිණෙන ඉන්දීය ධනවතුන්ගෙන් මනාලි බිම පිරීයයි.
4. සික්කිම් ඩාර්ජිලින්

Source – jetsetta.com
ඉන්දියාවේ නැගෙනහිර පළාතේ නේපාල කෙළවරේ පිහිටි සික්කිම් සහ ඩාර්ජීලින්ද හිම වැටෙන ජනේරුවේදී ශීතාධික පළාතකි. සික්කිම් වලට පිවිසීමට වඩාත්ම පහසු ගුවන් තොටුපල වන්නේ බග්ඩෝග්රාය. කොළඹ සිට යන්නේ නම් චෙන්නයි කල්කටා හරහා බග්ඩෝග්රා කරා කෙලින්ම ගුවනින් පිවිසිය හැකිය. සික්කිම් සඳහා ඇතුල්වීමට අවසර පත් ලබාගත යුතු අතර, සංචාරක මගපෙන්වන්නෝ විසින් සික්කිම් හි බෞද්ධ විහාරස්ථාන සහ සුන්දර ස්ථාන කරා සංචාරකයෝ රැගෙන යති. ලංකාවේද ජනප්‍රිය වූ එස් මහින්ද හිමිගේ උපන් ගම සික්කිම් පළාත වේ.
5. ශිම්ලා

Source – shanekaram.wordpress.com
ඉන්දියාවේ සුද්දා විසූ එදවස ඔවුන්ට ලන්ඩනයේ මෙන් දිල්ලියේ හෝ කල්කටාවේ හිම දකින්නට නොවීය. ඔවුන් ඒ සඳහා හිම සහ ශීතල අත්දැකීමට පහසුවෙන්ම තෝරාගත් එක් තැනක් වූයේ ශිම්ලා පළාතයි. ශීත කාලයට ශිම්ලාවේ ජනාකීර්ණ කඳු වැසී යන පරිදි හිම පතනය වේ. කල්කා සිට ශිම්ලා කරා දිවෙන කුඩා දුම්රියේ ගමනේදී ශීත කාලයේදී හිම පතනය වූ කඳුවැටි දර්ශනය වේ. ශිම්ලා නම් ලාංකික පිරිස් අතරද පතළ වූ සංචාරක පළාතකි.
6. නේපාලයේ පොකරා

Source – secret-retreats.com
නේපාලයේ පොකරා යනු කඳු වළල්ලකින් වට වූ කුඩා නගරයකි. නගරාසන්න ෆෙවා විල නගරයට එකතු කරන්නේ අමුතුම සොබා සෞන්දර්යමය වටිනාකමකි. ලොව පුරා අඩුමිල සංචාරකයින් අතර ප්‍රකට වූ පොකරා ශීත කාලයටද සංචාරකයින් අතර ජනප්‍රිය තැනකි. පොකරා නගරයේ ශීත කාලයට තරමක් දැනෙන ශීතලක් තිබුනත්, හිම මිදී ඇති කඳුවැටි දැකගන්නට නම් දින දෙක තුනක කඳු තරණයක් කළ යුතුය. එසේ කඳුකර ගමන් වලට නේපාලයේදී සැලකිය යුතු පහසුකම් ඇතිකර දී තිබේ. යන ගමන අතරමග නැවතී ගිමන් හැරීමට නැවතුම්පොළවල් වෙති. ඒවායේ ආහාර පාන මෙන්ම නවාතැන් පහසුකම්ද සපයනු ලැබේ. විවේක ගෙන, ගිමන් හැර, ආහාර පාන ටිකක් ගෙන, නිවිහැනහිල්ලේ වැනි වැනී පොඩි වෝක් එකක් කඳු පළාතක දැමීමට මේ පොකරා පළාත කියාපු තැනකි. එහිදී ශීත කාලයෙකදී නම්, කඳුකර තරණයකදී ඔබට කඳු මුදුන් වලදී අනිවාර්යෙන් හිම දැකගැනීමට හැකිවනු ඇත.
7. පාකිස්ථානයේ සියාරත්

Source – articleicon.com
සියාරත් යනු පාකිස්ථානයේ බලුකිස්ථානයේ ක්වේටා ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික කඳුකර පළාතකි. සියාරත්හි ජුනිපර් වනාන්තරය ලොව ඇති එවැනි වනාන්තර අතර ඉහළින්ම කියවෙන වනාන්තරයකි. පාකිස්ථානයේ ප්‍රථම අග්‍රාමාත්‍ය මොහොමඩ් අලි ජින්නා ගේ අවසාන කාලය ගත වූයේ සියාරත් හි දීය. හිමාලයේ බටහිර කෙළවර වන පාකිස්ථානයේද හිම මිදෙන අයස්කාන්ත කඳුවැටි කිහිපයක්ම පිහිටා තිබේ. එහෙත් පාකිස්ථානය නිතරම ත්‍රස්තවාදී කලබල ගැන නම කියවෙන රටක් නිසා එම සුන්දර සංචාරක ස්ථාන බටහිර සංචාරකයින් අතර එතරම්ම ජනප්‍රිය නැත.
රූපවාහිනියෙන් දකිද්දී සුන්දර වුවද, සීතල සහ හිම සැබැවින්ම අත් විඳීම කටුක අත්දැකීමකි. තද ඝන ඇඳුම් ඇඳගෙන දවසම ගත කිරීමට සිදුවීම, මුත්‍රා බරක් නිදහස් කරගන්නට හෝ එළියට පහලියට බහින්නට බැරි වීම, නාන්නට තබා අත පය හෝදාගන්නට ගියා වුවද අයිස් මෙන් සීතල වතුරේ වෙවුලන අත පය ඔබන්නට සිදුවීම සැබැවින්ම නිවර්තන කාලගුණයට හුරු වූ අප පීඩාවට පත් කරන සිද්ධීන් වේ. එහෙත් හිම ද ජීවිතයේ එක් වරක් හෝ ස්වාභාවිකව අත පත ගා තිබිය යුතු අත්දැකීමකි.
Cover Image Source – ghumakkarmasti.com
Leave a Reply