ගුණදායක බීට් වලින් රසම රස කෑම රෙසිපි 7ක්

කෑවොත් කට රතුම රතු වෙන බීට් ගෙඩියෙන් හැමදාම හදන කරි එකට වඩා හදන්න පුළුවන් කෑම ගොඩක් තියනවා. නිව් අයිඩියාස් ඕනේ අක්කලා, අයියලා, නංගිලා ඉන්නවනම් මේ පැත්තට එන්න, අද කියලා දෙන්නෙ බීට් වලින් අලුත්ම රෙසිපි ටිකක්.

 

1. බීට්රූට් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් බීට්රූට් ගෙඩි 1
  2. සෝදාගත් හාල් කෝප්ප 2
  3. බේ ලීව්ස් 2
  4. තෙල් ස්වල්පයක්
  5. ගම්මිරිස් ඇට ස්වල්පයක්
  6. කරාබුනැටි 2-3
  7. සූදුරු තේ හැඳි 1
  8. ස්ටාර් ඇනීස් 1
  9. කුරුඳු පොතු 1
  10. කපාගත් අමුමිරිස් කරල් 2
  11. කපාගත් ළූණු ගෙඩි 1
  12. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  13. කහකුඩු තේ හැඳි 1/4
  14. මිරිස්කුඩු තේ හැඳි 1/2
  15. තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/2
  16. මින්චි කො​ළ ස්වල්පයක්

 

  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට බේ ලීව්ස්, ගම්මිරිස් ඇට, කරාබුනැටි, සූදුරු, ස්ටාර් ඇනීස්, කුරුඳු පොතු හා අමුමිරිස් ටික එකතු කරන්න. 
  • කලවම් කරන ගමන් ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවුනාම ඉඟුරු සුදුළූණු පේස්ට්, කහකුඩු, මිරිස්කුඩු, ග්‍රීන්පීස් හා මින්චි කො​ළ එකතු කරන්න. ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න.
  • චොප්කරගත් බීට්රූට් ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න. හාල් ටික දාලා කලවම් කරලා බත ඉදෙන්න ඇති ප්‍රමාණයට වතුර දාලා උයාගන්න.

 

2. බීට් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බීට්රූට් කිලෝ 1
  2. සීනි ග්‍රෑම් 750
  3. කරාබුනැටි 6-7
  4. කුරුඳු පොතු 4-5
  5. ඊස්ට් මේස හැඳි 1/2

 

  • බීට්රූට් ටික චොප් කරගෙන වතුර ලීටරයක් දාලා තම්බගන්න. මද ගින්නෙ විනාඩි 10ක් වගේ තැම්බුනාම සීනි ටික එකතු කරන්න. 
  • සීනි දියවෙනකල් හැඳිගාන්න. ලිප ඕෆ් කරලා තව හැඳිගාන්න. දැන් මේක පෙරාගන්න. මේකට තවත් වතුර ලීටර් එකක් දාගන්න. 
  • නිවෙන්න තියලා කරාබුනැටි හා කුරුඳු පොතු එකතු කරලා හැඳිගාන්න. දැන් ඊස්ට් ටික එකතු කරන්න. 
  • වීදුරු බෝතලේකට දාලා රෙදි කෑල්ලකින් හොඳට කට ගැටගහලා දවස් 14ක් ඉර එළිය නොවදින්න තියන්න. 
  • ඉන්පසු හොඳ කපු රෙදි කෑල්ලකින් පෙරලා ආයෙමත් පුණීලයකට පුළුන් දාලා තද කරලා වයින් ටිකෙන් ටික පෙරෙන්න දාන්න. 

 

3. බීට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බීට්රූට් ගෙඩි 5
  2. විනාකිරි කෝප්ප 1 1/2
  3. රතුළූණු ගෙඩි 10-15
  4. අමුමිරිස් කරල් 10-12
  5. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  6. අඹරාගත් අබ ස්වල්පයක්
  7. සූදුරු ස්වල්පයක්
  8. තලාගත් කරාබුනැටි 4
  9. එනසාල් ඇට 2
  10. සීනි මේස හැඳි 2
  11. ලුණු
  12. මිරිස්කුඩු තේ හැඳි 1
  13. කහකුඩු තේ හැඳි 1/2

 

  • බීට් ටික දික් අතට කපාගන්න. මැටි භාජනයක් ලිපේ තියලා විනාකිරි ටික දාගන්න. ඒකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක, අඹරාගත් අබ, සූදුරු, කරාබුනැටි, එනසාල් දාගන්න, සීනි එකතු කරන්න. 
  • කලවම් කරන ගමන් මිරිස්කුඩු හා කහකුඩු එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. ටිකක් උතුරගෙන එනකොට  බීට්, අමුමිරිස් හා රතුළූණු ටික දාලා කලවම් කරන්න. විනාඩියකින් වගේ ලිප ඕෆ් කරලා මේ මුට්ටිය හොඳට කට රෙද්දකින් ගැටගහලා දවස් 3කින් පසු බීට් පිකල් එ​ක කෑමට ගන්න. 

 

4. බීට් මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ග්‍රේට් කරගත් බීට් අල 2
  2. චොප්කරගත් රතුළූණු ගෙඩි 3
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. ලුණු
  5. ගම්මිරිස්කුඩු
  6. දෙහි යුෂ ටිකක්
  7. හීනියට ගාගත් පොල් කෝප්ප  1/4

 

  • ග්‍රේට්කරගත් බීට් වලට යන්තමට වතුර ටිකක් ඉහල ලිපේ තියාගන්න. 
  • රතුළූණු, අමුමිරිස්, පොල් එකතු කරලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා අනාගන්න. 
  • බීට් ටික තැම්බීගෙන එනකොට පොල් ටික එකතු කරල, පොල් මැලවෙනකම් කලවම් කරගෙන, ලිපෙන් බාල දෙහි කලවම් කරගන්න.

 

5. බීට් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ග්‍රේට් කරගත් බීට්රූට් ගෙඩි 2
  2. තම්බා පොඩිකරගත් අල ගෙඩි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. කහකුඩු තේ හැඳි 1/4
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. ගරම් මසාලා තේ හැඳි 1/2
  7. චාට් මසාලා තේ හැඳි 1/2
  8. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1/2
  9. රස අනුව ලුණු
  10. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්

 

කෝට් කරගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝන්ෆ්ලා මේස හැඳි 2
  2. පාන්පිටි මේස හැඳි 1
  3. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  4. ලුණු ස්වල්පයක්
  5. බිස්කට් කුඩු කෝප්ප 1/4
  6. බැදීමට තෙල්

 

  • බීට්වලට අල හා ළූණු  ටික දාලා කුළුබඩු සියල්ලම දාලා රස අනුව ලුණු එකතු කරලා කට්ලට් මිශ්‍රණය හදාගන්න. 
  • ඊළඟට කෝන්ෆ්ලා වලට පාන්පිටි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා වතුර ටිකක් දාලා බැටර් එක හදාගන්න. 
  • දැන් කට්ලට් මිශ්‍රණයෙන් පොඩි බෝල හදලා අතින් පැතලි කරලා, කෝන්ෆ්ලා බැටර් එකේ දාලා බිස්කට් කුඩු වල තවරගන්න. දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න. 

 

6. බීට් ෆ්‍රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බීට්රූට් ගෙඩි 2
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. ගම්මිරිස්කුඩු තේ හැඳි 2
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. දෙහි ගෙඩියක යුෂ
  6. ලුණු
  7. කෝන්ෆ්ලා මේස හැඳි 3
  8. බිස්කට් කුඩු කෝප්ප 1/2
  9. බැදීමට තෙල්

 

  • බීට්රූට් ටික සුද්ද කරලා දික් අතට තරමක් මහත කෑලි කපාගන්න. මේකට ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු හා මිරිස්කුඩු, දෙහි යුෂ ටික දාලා කලවම් කරගන්න. පැය භාගයක් මැරිනේට් වෙන්න තියන්න. 
  • මැරිනේට් උන බීට් ටික බාගෙට ස්ටීම් කරගන්න. දැන් මේක වෙනම ට්‍රේ එකකට දාලා කෝන්ෆ්ලා තවරගන්න. 
  • වෙනම භාජනයකට කෝන්ෆ්ලා ටිකක් දිය කරලා, බීට් කෑලි එකින් එක කෝට් කරලා, බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

7. බීට් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හීනියට කපාගත් කැරට් අල 1
  2. චොප්කරගත් පාස්ලි කෝප්ප 1/4
  3. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
  4. තම්බා පෙති කපාගත් බීට්රූට් අල 2

 

සැලඩ් ඩ්‍රෙසින් එකට

 

  1. ඔලිව්තෙල් මේස හැඳි 2
  2. දෙහි යුෂ මේස හැඳි 1
  3. පැණි මේස හැඳි 1/2
  4. මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1/2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • ඩ්‍රෙසින් එකට ඕන ඔක්කොම කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න. 
  • කැරට්, බීට්රූට්, ළූණුකොළ, පාස්ලි එකතු කරලා මේකට බීට්රූට් ටිකත් දාගන්න. දැන් හදාගත්තු පේස්ට් එක දාලා කලවම් කරගන්න. ලුණු රස අනුව දාගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *