ශ්‍රී ලංකාවෙන් බිහිවුණු වේගයෙන්ම ලකුණු රැස් කරන එක්දින පිතිකරුවන් 10 දෙනා මෙන්න

“ලංකාවෙන් බිහිවෙච්ච වේගවත්ම පිතිකරුවා කවුද?“

මේ ප්‍රශ්නය අහපු ගමන් ගොඩක් දෙනෙක්ගෙ ඔලුවට මුලින්ම එන උත්තරය අපි දන්නවා. ඒ තමයි සනත් ජයසූරිය. හැබැයි දත්ත අනුව ගත්තහම සනත් ජයසූරිය ශ්‍රී ලංකාවෙන් බිහිවුණු වේගවත්ම පිතිකරුවන් 3 දෙනා අතරවත් නැහැ. ඒ වගේම අපි එච්චර හිතන්නේ නැති සමහර ක්‍රීඩකයො අපි හිතනවට වඩා වේගෙන් ලකුණු රැස් කරලා තියනවා. අපි බලමුද එක්දින පිටියේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු වේගවත්ම පිතිකරුවන් 10 දෙනා කවුද කියල එහෙනම්.

 

1. තිසර පෙරේරා

ලකුණු රැස් කිරීමේ වේගය 112.34

Image Source – dnaindia.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ඉන්න ප්‍රවේගකාරීම පිතිකරුවා වෙන තිසර පෙරේරා තමයි ශ්‍රී ලාංකික එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ස්ට්‍රයික් රේට් එක, ඒ කිවුවෙ පන්දු සීයකදී රැස් කරන ලකුණු ප්‍රමාණය 100 ඉක්මවපු එකම පිතිකරුවා. අවාසනාවට තිසරගේ ඉහළ ස්ට්‍රයික් රේට් එක තවත් බබලවන්න තරම් ඔහුගේ ලකුණු සාමාන්‍ය ඉහළ අගයක නැහැ. ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තේ මුල් කාලෙදි තිසර ඉතාම අපරික්ෂාකාරී පහරවල්වලට ගිහිල්ලා අනවශ්‍ය විදිහට තමන්ගෙ කඩුල්ල පූජා කිරීම වෙන්න ඕනෙ.

 

2. මිලින්ද සිරිවර්ධන

ලකුණු රැස් කිරීමේ වේගය 98.46

Image Source – cricketworld.com

මිලින්ද සිරිවර්ධන තමන්ගෙ එක්දින ක්‍රිකට් ජීවිතය ඉතාම සාර්ථක විදිහට ආරම්භ කරපු ක්‍රීඩකයෙක්. මිලින්ද තුන් ඉරියවුවෙන් දක්වපු දස්කම් එක්ක බලද්දි වර්තමාන කණ්ඩායමේ ඔහුට ස්ථානයක් නැති වීම ගැනත් අපිට පුදුම හිතෙන වෙලාවල් තියනව. කොහොම වුණත් මිලින්දට ක්‍රීඩා කරන්න ලැබෙන්නෙ එක්දින තරඟ 26ක් විතරයි. ඒ තරඟ වලදි අර්ධ ශතක තුනක් වාර්තා කරන්න මිලින්ද සමත්වෙලා තියනවා. 2017 අවුරුද්දෙ පාකිස්ථානයත් එක්ක පවත්වපු එක්දින තරඟාවලිය අසාර්ථක වීමත් එක්ක මිලින්ද සිරිවර්ධනට එක්දින කණ්ඩායමේ තැන අහිමි වෙනව.

 

3. නිරෝෂන් දික්වැල්ල

ලකුණු රැස් කිරීමේ වේගය 93.56

Image Source – redbull.com

ෆෝම් එකට ආවම ලෙසට ගහන, ඒ තරමටම බැණුමුත් අහන අපේ වර්තමාන කඩුළු රකින ආරම්භක පිතිකරුවා වෙන දික්වැල්ල තමයි වේගවත්ම අංක තුන. මේ වෙද්දි ශතක දෙකකුත් එක්ක ලකුණු එක්දාස් පන්සීයේ සීමාව පහුකරන්න දික්වැල්ල සමත් වෙලා තියනවා. ඉතාම සාර්ථක ආරම්භ ලබාගන්නා අවස්ථාවලදීත් අනවශ්‍ය හදිසිය නිසා කඩුල්ල පූජා කළේ නැත්නම් දික්වැල්ලට මීට වඩා ඉහළ තලයක ඉන්න තිබ්බා කියන එක තමයි අපේ අදහස.

 

4. සනත් ජයසූරිය

ලකුණු රැස් කිරීමේ වේගය 91.25

Image Source – icc-cricket.com

වේගවත්ම 4 වැනියා හැටියට තමයි සනත් ජයසූරිය මේ ලැයිස්තුවට අවතීර්ණ වෙන්නෙ. හැබැයි ඉතින් එක්දින තරඟ 400කට වැඩි ගාණක් ක්‍රීඩා කරලා. 90 ගණන් වල තිබ්බ වෙනස් වෙනස් පන්දු රැකීමේ නීති සහ පිති භාවිතා කරලා මේ ලකුණු වේගය ලබාගෙන තියන නිසා අපිට සනත්ව මේ ලැයිස්තුවේ ඉහළ අය එක්ක නිවැරදි සැසඳීමකට ලක් කරන්න ටිකක් අමාරුයි. ඒ කිවුවෙ වර්තමාන ප්‍රවේගකාරී ක්‍රිකට් පිටිය ඇතුළෙ සනත් ක්‍රීඩා කළානම් සමහර විට මීට වඩා බෙහෙවින් ඉහළ ලකුණු වේගයක් ඔහු පවත්වාගෙන යන්න ඉඩ තිබ්බා කියන එකයි.

 

5. කුසල් ජනිත් පෙරේරා

ලකුණු රැස් කිරීමේ වේගය 90.77

Image Source – thepapare.com

සනත්ගෙන් පස්සේ ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ පොඩි සනා. කුසල් ජනිත් පෙරේරා. සනත් ජයසූරියගේ ප්‍රවේගකාරී පිතිකරණ විලාසය අපිට නිතරම සිහිපත් කරන කුසල් ජනිත් මේ වෙද්දි පිතිකරුවෙක් හැටියට ස්ථාවර, තරඟ ජයගන්නා ඉනිම් ක්‍රීඩා කිරීමේ තම හැකියාවත් පෙන්වමින් ඉන්නවා. කොහොම වෙතත් කුසල් ජනිත්ගේ ක්‍රීඩා ජීවිතේට තියෙන ලොකුම බාධාවක් තමයි ඔහු නිතර ආබාධ වලට ලක්වීම. මේ වෙද්දි එක්දින ශතක 4ක් එක්ක ලකුණු 2000 සීමාව පහු කරන්න කුසල් සමත්වෙලා තියනවා.

 

6. රුමේෂ් රත්නායක

ලකුණු රැස් කිරීමේ වේගය 86.80

Image Source – thehansindia.com

මේ ලැයිස්තුවේ ඉන්න පරණම ක්‍රීඩකයා වෙන්නෙ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක. ඔහු මුල්ම එක්දින තරඟයට සහභාගි වෙන්නෙ 1982 අවුරුද්දෙයි. පන්දු යවන්නෙක් හැටියට වැඩි දස්කම් දැක්වුවත් රුමේෂ්ට පිත්තෙනුත් දායකත්වයක් දැක්වීමේ හැකියාව තිබ්බා. පිතිකරණ ලැයිස්තුවේ පහළින් ඇවිත් වේගයෙන් ලකුණු රැස් කරලා නොදැවී හිටපු ඉනිම් සෑහෙන ගණනක් රුමේෂ් ක්‍රීඩා කරලා තියනවා. කොහොම වුණත් නිතර ආබාධයන්ට ලක්වීම නිසා රුමේෂ්ගේ ක්‍රිකට් දිවිය අඩු තරඟ ගණනකට සීමා වුණා.

 

7. තිලකරත්න දිල්ෂාන්

ලකුණු රැස් කිරීමේ වේගය 86.23

Image Source – youtube.com

තිලකරත්න දිල්ෂාන්ව අපි හුඟ දෙනෙක්ට මතක ඉතාම කඩිසරව ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක් හැටියට තමයි. ඒත් සැරටම ක්‍රිකට් බලපු ක්‍රිකට් පිස්සන්ට මතක ඇති තිලකරත්න දිල්ෂාන් තමන්ගේ මුල් එක්දින තරඟවලදි ඒ තරම් වේගයෙන් ලකුණු රැස් කරපු පිතිකරුවෙක් නොවෙන වග. පහුවෙන්න පහුවෙන්න තමයි දිල්ෂාන්ගේ පිත්ත ක්‍රියාත්මක වෙන වේගය වැඩි වුණේ. මේ ලැයිස්තුවට ඇතුළත් වෙලා ඉන්න වේගවත්ම පිතිකරුවන් 10 දෙනා අතරින් ඉහළම ලකුණු සාමාන්‍යයට හිමිකම් කියන්නෙත් තිලකරත්න දිල්ෂානුයි. එය ඉනිමකදී ලකුණු 39.27ක් වෙනවා.

 

8. ෆර්වීස් මහරූෆ්

ලකුණු රැස් කිරීමේ වේගය 86.01

Image Source – espncricinfo.com

තුන් ඉරියවුවෙන් කැපී පෙනුන අපේ වේග පන්දු යවන ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් එක්දින ලකුණු 1000 සීමාවත් පහු කරන්න සමත්වෙලා තියන ක්‍රීඩකයෙක්. පසුපෙළින් ඇවිල්ලා ආයාසයකින් තොරව හයේ පහරවල් ගහමින් ලංකා ඉනිමට ස්ථාවරත්වයක් ගේන්න මහරූෆ් නිතරම උපකාරී වුණා. කොයිතරම් වේගයෙන් ලකුණු රැස් කළත් මහරූෆ්ගේ සුපිරිම ඉනිම හැටියට අපේ මතකයේ රැඳෙන්නෙ ඔහු විසින් ක්‍රීඩා කරපු මන්දගාමීම ඉනිමක්. බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කරපු ඒ තරඟයෙදි ලකුණු 153ක් හඹාගෙන යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 6කට කඩුළු 5ක් බිඳ වැටෙනව. එතනදී කුමාර් සංගක්කාර එක්ක එකතු වෙලා, සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නගන මහරූෆ් අවසානය වෙද්දි නොදැවී ඉඳිමින් පන්දු 76කදී ලකුණු 38ක් රැස් කරලා ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙනයන්න සමත් වෙනවා.

 

9. ජීවන් මෙන්ඩිස්

ලකුණු රැස් කිරීමේ වේගය 85.07

Image Source – espncricinfo.com

විදෙස් විස්සයි විස්ස තරඟාවලි වල ස්ථාවරව ක්‍රීඩා කරලා නිතර දස්කම් දැක්වුවත් ජීවන් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිතර රැඳිල ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. කොහොම වෙතත් පිතිකරුවන්ට ලකුණු රැස් කිරීමට නිදහසක් නොදී පන්දු යවන්නටත්, නිදහසේ හයේ පහරවල් ගහමින් වේගයෙන් ලකුණු රැස් කරන්නටත් ජීවන් මෙන්ඩිස් දක්ෂ වුණා. එක් එක්දින අර්ධ ශතකයකුත් වාර්තා කරගෙන ඇති මෙන්ඩිස් මේ වන විට 36 වැනි වියේ පසුවන්නේ. සමහර විට මෙන්ඩිස්ට අඩු අවස්ථා හිමිවන්නට එයත් හේතුවක් වෙන්නට ඇති.

 

10. කුසල් මෙන්ඩිස්

ලකුණු රැස් කිරීමේ වේගය 84.82

Image Source – twitter.com

ලැයිස්තුව අවසන් වෙන්නේ තවත් මෙන්ඩිස් කෙනෙක්ගෙන්. ඒ තමයි මෑතකදී සමාජ ජාලා අතරත් උණුසුම් කතාබහකට මුල් වෙච්ච කුසල් මෙන්ඩිස්. මෙන්ඩිස් කියන්නේ වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවා නොවෙයි නම්, දක්ෂතම පිතිකරුවන් දෙතුන් දෙනාගෙන කෙනෙක් බව ඔබ කොතරම් ඔහුට අකමැති වුණත් ඔබ හිත යටින් හෝ පිළිගනීවි. ආයාසයකින් තොරව හයේ පහර එල්ල කරන්න හැකි මෙන්ඩිස් ස්ථාවරව ක්‍රීඩා කරන අවස්ථාවල අපිට ශ්‍රේෂ්ඨ අරවින්ද ද සිල්වාව පවා සිහිගන්වන්න සමත් වෙනවා. ඔහු බාහිර පුද්ගල මතවාදවලට වඩා තමන්ගේ ක්‍රීඩා ජීවිතයට වැඩි අවධානය යොමු කරලා ස්ථාවර ඉනිම් වැඩි වැඩියෙන් ගොඩනංවන්න උත්සාහ ගත්තොත් අද ඔහුට දොස් කියන ප්‍රේක්ෂකයන්ගේ හිත් වෙනස් වෙන දවස වැඩි ඈතක නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *