2020 වසරේ දොරටවැඩි හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතා 7ක්

කොරෝනා වසංගතය තිබුණත් ගිය අවුරුද්දේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තිබ්බා ඔබට මතක ඇති. කොරෝනා හේතුවෙන් සමහරුන්ට ගියවර පොත් ප්‍රදර්ශනය මග හැරෙන්නටත් ඇති. ඉතින් අපි හිතුවා ගිය වසරේදී එළිදැක්වුණු හොඳම ස්වත්‍රන්ත්‍ර කෘති 7ක් ගැන ඔබට කියන්නට. මේ පොත් ඔබට මගහැරුණානම් සොයා ගෙන කියවන්නටත් අමතක කරන්න එපා. 

 

1. බියුරෝ 

12.12.12. මේක නම් නොකියවපු ලාංකික පාඨකයෝ නම් ඇත්තේ ගොඩාක් අඩුවෙන්. ඒ තරම් 12.12.12 පොත ජනප්‍රිය වුණා. ඒක ලියපු මංජුල සේනාරත්න මහතාගේ “බියුරෝ” කෘතිය පසුගිය සැප්තැම්බරයේ පිටවුණා. මේක පිට වෙලා කෙටිකලක් වුණත් මේකත් 12.12.12 තරම්ම, සමහර විට ඊටත් වඩා ජනප්‍රිය වුණා…

 

2. කෝමළ මාණවක 

ශමෙල් ජයකොඩි කියන්නෙ වර්තමානයේ එකිනෙකට වෙනස් කතා පුවත් සහිත කෘති කිහිපයක් බිහිකරපු කතුවරියක්. ගිය වසරේ ඇය ලියූ “කුමර කොබෙයි” කෘතිය ස්වර්ණ පුස්තක අවසන් වටයටත් නිර්දේශ වුණා. ඇගේ අලුත්ම නවකතාව තමයි කෝමල මාණවක. ඒ නමින්ම ඔබට කතාවේ තේමාව ගැන සිතුවිල්ලක් හදා ගන්නත් පුළුවන් ඇති…

 

3. කඳඅරනී 

නිශ්ශංක විජේමාන්න “හඳ පළුව තනි තරුව” පොතින් සම්මානනීය වුණ කතුවරයෙක්. හඳ පළුව තනි තරුව ජාති ආගම් භේදය ගැන ගැඹුරින් නමුත් ලස්සනට ලියවුණු පොතක් වුණා. ඔහුගේ අළුත්ම පොත “කඳඅරනී” කෘතියට පාදක වෙන්නේ වැදි ජනතාව ගැන පුළුල් ගවේෂණයක්. ඒක රසවත්ව ඉදිරිපත් කරන්න කතුවරයා සමත් වුණා. පොත කියවන්න කම්මැලියි වගේ නම් යූ ටියුබ් එකේ මේ පොතේ ඕඩියෝ එක තියනවා. ඔබට ඒක අහන්නත් පුළුවන්…

 

 

4. අයි. ඩී 

මොහාන් රාජ් මඩවල කියන්නෙ ලංකාවේ ආන්දෝලනාත්මක කතා මවපු නවකතාකරුවෙක්. මාගම් සෝළිය, ආදරණීය වික්ටෝරියා, ලොවීනා, රැජන, කලම්බෝ කියන නවකතා වලට පස්සේ ඔහු ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසයේ එළි දක්වපු පොත තමයි “අයි. ඩී.” කලින් පොත් පහටම වඩා වෙනස් කතා පුවතක් තමා මෙිකෙ තියෙන්නේ. මොහාන් රාජ් අයි. ඩී නවකතාව හරහා ඩිජිටල් ලෝකේ තුළ නැතිවුණු අපේ අයි. ඩී එක හොයාගන්න අපිට ආරාධනාවක් කරනවා…

 

5. සිලෝනාගමනය 

යුග දෙක තුනක් තිස්සේ විවිධ තේමාවලින් යුක්ත වෙච්ච පොත් රැසක් බිහි කරපු නවකතාකාරිනියක් තමයි සුනේත්‍රා රාජකරුණානායක. “සිලෝනාගමනය” නම් වූ ඇගේ නවතම කෘතියත් එළි දැක්වුණේ ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසයේදීමයි. මේ කෘතියට පාදක වෙන්නේ 18වන සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව සිටි වකවානුවේ කතාවක්…

 

6. බාණ කුසුම් 

“බාණ කුසුම්” කියන්නේ මල් හී සැරයට. මේ මල් හී සැරය ලියවුනේ කත්‍යානා අමරසිංහ කතුවරියගේ පන්හිඳෙන්. මේක ඇගේ පස්වෙනි ස්වතන්ත්‍ර නවකතාව. මීට අමතරව ඇය පරිවර්තන කිහිපයක් කරලත් තියනවා. ඇය විසින් පරිවර්තනය කරන ලද පොලියානා පොත් තුන එහෙම ගොඩාක් ජනප්‍රිය වුණා. බාණ කුසුම් කෘතිය තුළ ලිංගික ගැටළු, සමලිංගික නිදහස, ආදරය වගේ පැති ගණනාවක් ගැන කතාකරන්න කතුවරිය සමත් වෙලා තියනවා…

 

7. අපොයියාව

මේක යොවුන් නවකතාවක්. මෙහි කර්තෘ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් ගැන ආයේ හඳුන්වාදීම අනවශ්‍යයි කියලා අපි හිතනවා. සෙංකොට්ටං කෘතිය හරහා සම්මානනීය, ජනප්‍රියම කතුවරයෙක් වෙන්න ඔහු සමත්වුණා. මේ යොවුන් නවකතාවට පාදක වුණේ පත්තරයක ප්‍රහේලිකාවක් පුරවලා ජයග්‍රහණය කරපු ළමයෙක් උත්තර හොයා ගත්ත විදියයි. සරල කතාවක් වුණත් ලොකු දෙයක් තියන පොතක් හැටියට මේ පොත හඳුන්වන්න පුළුවන්…

 

ගිය අවුරුද්දේ ගොඩාක් හොඳ පොත් රැසක්ම ආවා. මේ ඒවායින් කිහිපයක් විතරයි. ඔයාලා කියවපු, ගිය අවුරුද්දේ ආපු කැමතිම කෘතීන් ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා…

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *