ටයි කෝට් අඳිනවා නම්, ටයි කෝට් අඳින එකේ තියෙන සිරිත් විරිත් එහෙමත් ඉගෙන ගමු.

ටයි කෝට් කියන්නේ ඉතින් ඔය ෆිල්ම් වල පෙන්නන ඇමරිකාවේ හරි යුරෝපේ හරි වගේ අපි ගෙදරින් එළියට බහින්න අඳින ඒවා නෙවෙයිනේ. සමහර වෙලාවට ජොබ් එකට අනුව ටයි එක දැම්මත්, කෝට් එකක් නං අපි දාන්නේ විශේෂම අවස්ථාවකදී විතරයි. අතිබහුතරයක් කෝට් එකක් ඇන්දොත් ඉතින් කාගේ හරි -එක්කෝ තමන්ගේම හරි- වෙඩිමකට තමයි. ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් ඒ ඇරෙන්න ලංකාව වගේ උෂ්ණාධික රටක කෝට් දාගෙන ඉන්නත් බෑ.

හරි, දැන් අපිට වෙඩිමකදී හරි ලොකු මීටිමකදී හරි ඉවෙන්ට් එකකදී හරි ටයි කෝට් අඳින්න සිද්ධ වෙන්න පුළුවන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් ටයි කෝට් ඇඳලා ඉන්න විදිය දැක්කහම අපිට බැලූ බැල්මට දැනෙනවා එක්කෝ ටිකක් අපහසුතාවයකින් ඉන්නවා වගේ. එහෙම නැතිනම් ටයි කෝට් වලට හුරු නැති ගතියකින් ඉන්නවා වගේ. ආන්න ඒකට හේතුව, ටයි කෝට් කඩෙන් ගන්න පුළුවන් වුනාට, ටයි කෝට් ඇඳලා ඉන්න එකේ තියෙන කල්චර් එක, ටයි කෝට් වලට ආවේණික සිරිත් විරිත් කඩෙන් ගන්න බැරි වීම. ආන්න ඒ නිසා අපි හිතුවා, ටයි කෝට් දැමිල්ලේ තියෙන සරල කරුණු කාරණා ටිකක් බෙදාහදා ගන්න.

 

1. තමන්ගේ සයිස් එකට

සාමාන්‍යයෙන් මනුස්සයෙක් එක්කෝ කෝට් එකක් කඩෙන් ගන්නවා, කඩෙන් මස්සගන්නවා. ඒ වගේම සමහරු කරන තව ලේසි වැඩක් තමයි කෝට් එකක් රෙන්ට් එකට ගන්න එක. විශේෂයෙන්ම ඔය අවුරුද්දකට ඉවෙන්ට් එකකට දෙකකට වැඩියෙන් නැති කෙනෙක්ට ඔය රෙන්ට් එකට ගන්න එක වාසි වෙන්න පුළුවන්.

හැබැයි ඉතින් කෝට් එකක් රෙන්ට් එකට ගත්තත්, මස්සලා ගත්තත්, රෙඩිමේඩ් ගත්තත් මතක තියාගන්න ඕන අත්‍යාවශ්‍ය කාරණයක් තියෙනවා. කෝට් එක ගාණට, නීට් එකට තමන්ගේ ඇඟට ගැලපෙන්න ඕන. සාමාන්‍යයෙන් දෙන්නෙක් එක වගේ, එක සයිස් නෑනේ. අන්න ඒ නිසා තමයි කෝට් එකක් විශේෂයෙන්ම මහනකොට වුනත් සෑහෙන්න පරිස්සමෙන්, දශමෙට මෙෂර්මන්ට් ගන්නේ සහ, ෆිටෝන් එකක් පවා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම රෙඩිමේඩ් ගන්න කොට සහ කෝට් එකක් රෙන්ට් කරනකොට ඒක තමන්ගේ ඇඟට හරියටම ගැලපෙන්න ගන්න ඕන.

 

2. කෝට් එක ඇඳලා ඉන්නකොට

මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි කෝට් එකක් දාගෙන හිටගෙන ඉන්නවා නම්, හරි ක්‍රමේ තමයි කෝට් එකේ බොත්තම් පියවලා තියන එක. විශේෂයෙන්ම ඔය චාරිත්‍ර වාරිත්‍ර කෙරෙන වෙලාවට එහෙම ඉන්න එක තමයි හරි ක්‍රමේ. හැබැයි අපි වාඩිවෙනකොට එහෙම බෑ. එහෙමම වාඩි වුනහම කෝට් එක පපුව හරියෙන් ඉස්සිලා පොඩි අප්සෙට් ලුක් එකක් එනවා. අන්න ඒ නිසා වාඩි වෙනකොට කෝට් එකේ බොත්තම් ගැලෙව්වහම හරි. අපිටත් පහසුයි, ලුක් එකටත් හොඳයි.

එතකොට ඉවෙන්ට් එකේ ෆෝමල් වැඩ ඉවර වුණහම කෝට් එක බොත්තම් ගලෝලා ඉන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි අර අත් දෙකෙන් කෝට් එක පොඩ්ඩක් පිටිපස්සට කරලා අත් සාක්කුවේ දාගන්න එක තමයි ලස්සන. 

 

3. පොකට්ස්, වොලට්ස්!

ඔය කෝට් එකක් ඇන්දට පස්සේ, අපිට තේරෙනවා එක එක ඒවා ඕන නම් දාගන්න සාක්කු අම්බානෙකට තියෙනවා කියලා. කෝට් එකේම සාක්කු බරගාණක් තියෙනවා. ෂර්ට් එකේ සාක්කුවක් තියෙනවා. එතකොට කලිසමේත් සාක්කු හතරක් හෝ තුනක් තියෙනවා. දැන් ඕවැයි මොනවද දාන්නෙ? මුකුත් නෑ.

ඇත්තටම සූට් බූට් එටිකට් වල විදියට, සාක්කු බර වෙන විදියට පුරවගෙන ඉන්න එක අප්සට් වගේම වස කැතයි. ඒ නිසා සාක්කු පණහක් විතර තිබ්බා කියලා හැම දේම ඕවල ඔබාගන්න යන්න එපා. සාක්කු වල තියෙන්න ඕන අත්‍යාවශ්‍ය දේවල් විතරයි. ඒ වගේම අපි පිටුපස සාක්කුවක එහෙම දාගන්න වොලට් එක වුනත් අනං මනං වලින් පිරිලා, කැපී පේන විදියට සාක්කුවෙන් නෙරලා තියෙනවා නම් ඒත් කැතයි.

 

4. ෂර්ට් එකේ අත් පෙනුණට කමක් නැද්ද?

ඇත්තටම කෝට් එකක් දැම්මහම හරි විදියට නම්, අඟල් කාලක්, අඟල් බාගයක් වගේ කෝට් එකේ අත් වලින් ෂර්ට් එකේ අත් එලියට පැනලා තියෙන්න ඕන කියලා තමයි සූට් එටිකට් ගැන දන්න අය කියන්නේ. ඇත්තටම කෝට් එකේ අත් වලින් ෂර්ට් අත් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවට වඩා ලාවට පේන්න තියෙන එකේ අමුතු ගතියක් තියෙනවා. හැබැයි එකක්. එහෙමයි කියලා ඔය උඩින් කියපු අඟල් කාලක්, අඟල් බාගයක් වගේ ප්‍රමාණෙට වඩා කෝට් අතෙන් එළියට ෂර්ට් අත් ඇවිත් තියෙන එක නම් වස කැතයි.

 

5. ඇක්සසරීස්

යකාගේ හැටියට තමයි විමානේ තියෙන්න ඕන. අන්න ඒ නිසා, කෝට් කිට් එකක් අඳිනවා නම්, ඒකට හරියන්න අනික් අංගෝපාංග ගලපා ගන්න ඕන. මෙතනදී අපි ගමු මූලිකවම අත් ඔරලෝසුව, කෆ්ලින්ක්ස් සහ ටයි පින් එක. එතකොට කෆ්ලින්ක්ස් රත්තරන් පාට වෙලා ටයි පින් එක රිදී පාට වෙලා, ස්පෝර්ට්ස් වොච් එකක් දැම්මට හරියන්නෙ නෑ. සාමාන්‍යයෙන් කෆ්ලින්ක්ස් සහ ටයි පින් එකටම එන නිසා, එක්කෝ තමන් අඳින්න හිතන වොච් එකේ හැටියට කෆ්ලින්ක්ස් සහ ටයි පින් ගලපා ගන්න පුළුවන්. මොකද, ටයි පින් සහ කෆ්ලින්ක්ස් වලට මැච් වෙන්න අලුතින් වොච් එකක් ගන්න එක තේරුමක් නැති නිසා. 

අනික, කෝට් සූට් ඇන්දට පස්සේ අර තඩි රත්තරං, නිකල්, රිදී දම්වැල් එහෙම දාගෙන ඉන්නෙ නෑ. මාල වළලු මුදු පෙරාගෙන ඉන්නෙත් නෑ. එව්වා කැතයි. අනික සමහරු ඔය ලී වලින් හදපු මාල, අත් පළඳනා එහෙම දානවනේ. කෝට් කලිසම් සූට් කිට් එකකට එව්වා කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ. ඒවා එක්ක යන්න නම් කෝට් කිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා. ජැකට් කෝට් එකකට ඩෙනිම් එකක් වගේ. 

 

6. ටයි එකක්? බෝ ටයි එකක්?

ඇත්තටම ටයි එකක් තමයි ගොඩක් දෙනෙක් කෝට් කිට් එකකට දාන්නේ. හැබැයි අමතක කරන්න එපා. බෝ ටයි එක වුනත් කෝට් කිට් එකකට සෑහෙන්න ලස්සනයි. ඒ වගේම හොඳ ක්ලාසි ලුක් එකක් ගෙන එනවා. කොහොම හරි අපි කියන්න කැමති දෙයක් තමයි, ටයි එකක් හෝ බෝ ටයි එකක් කවදාහරි දාන්න බලාපොරොත්තුවක් හෝ තියෙන මනුස්සයෙක්, ටයි ගැටේ, බෝ ටයි ගැටේ දැනගන්න ඕන කියන එක. ඇත්තටම ටයි එකක් දාන්න ක්‍රම ගණනක්ම තියෙනවා. වින්ඩ්සර් නොට් එක හෝ ඩබල් වින්ඩ්සර් නොට් එක උදාහරණ දෙකක්. එහෙම හරියට ගැටගහපු ටයි නොට් එකක් නැතුව අර ඉලාස්ටික් එකකින් බෙල්ල වටේ එල්ලෙන ටයි හෝ බෝ ටයි ලේසි වුනාට කැතයි.  

 

7. රිමික්ස්

ඔව්, දැන් කාලේ කෝට් කිට් රිමික්ස් කරන එව්වා අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම ඒකේ ගැටළුවක් නෑ. හැබැයි ඉතින් රිමික්ස් කරන එකත් කලාවට කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, කෝට් කිට් එකට ටී ෂර්ට් එකක් අඳිනවා නම්, ඒකට කෝට් එකයි, ඒකට එන කලිසමයි ඇඳලා හරියන්නෙ නෑ. ඒක කැතයි. ටී ෂර්ට් එකක් ඇන්දොත් වඩාත් ගැලපෙන්නේ ඩෙනිම් කලිසමක් සහ් කැෂුවල් ලුක් එකක් තියෙන කෝට් එකක්. ඇත්තටම අපි කෝට් කෝට් කිව්වට, කෝට් වලත් විවිධාකාරයේ ප්‍රභේද තියෙනවා කියලා දැනගෙන ඉන්නත් ඕන.

අනික් කාරණාව, රිමික්ස් කරනවා කියලා ෆෝමල් කෝට් කිට් එකකට රනින් ෂූස් හරි ඩෙක්ස් හරි දාලා හරියන්නෙත් නෑ. මේ කිව්වේ හරියට කලාවට කෝට් කිට් රිමික්ස් කරගැනීම ගැන උදාහරණ කීපයක්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *