කුඩා ළමයින්ගෙ විනෝදාංශයක් හැටියට සළකපු වීඩියෝ ගේම්ස් මේ වෙද්දි විප්ලවීකරණයට ලක්වෙලා. කෝටි ගණන් මුදල් උපයන වෘත්තියක් වගේම සමහර වැඩිහිටියන්ගේ ජීවන රටාවක් බවටත් මේ ගේම් ගැහිල්ල අද වෙද්දි පත්වෙලා තියනවා. බොහොම අහිංසක පහේ විනෝදාංශයක් හැටියට පෙනුනත්, වීඩියෝ ගේම් ලෝකයේ බිහිවෙන හැම වීඩියෝ ගේම් එකක්ම එහෙමද කියලා අපිට සැක හිතෙන විදිහේ ගේම්සුත් ඉඳ හිට හරි එළියට එනවා. ඒ සමහර ඒවා අතිශය ආන්දෝලනයටත් ලක් වෙනවා. මේ කියන්නේ ගේම් ඉතිහාසයේ ඒ විදිහේ ආන්දෝලනයට සහ තහනමට ලක්වුණු ගේම්ස් 7ක් ගැන.
1. Night Trap
Sega සමාගම නිර්මාණය කරලා, 1992 අවුරුද්දේ එළියට ආපු “Night Trap” ගේම් එක ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් වුණා. මේ ගේම් එක Movie Game ටයිප් ගේම් එකක්. ඒ කිවුවේ, මේ ගේම් එකේ චරිත නිරූපණය කළේ සැබෑ නළු නිළියන්. මේ අයගෙ කලින් රූගත කරපු දර්ශන තමයි අපි ගේම් එකේ ගන්න තීරණ අනුව අපිට පෙන්වුවෙ. මේ ගේම් එක ආන්දෝලනයට තුඩු දෙන්න හේතු වුණේ ඒක ලිංගිකත්වය සහ ප්රචණ්ඩත්වය ඉස්මතු කරපු නිසයි. තවත් පැහැදිළිව කියනවනම් මේ ගේම් එකේ හිටපු කාන්තා චරිත සියල්ලක්ම සරාගී යුවතියන් වුණා. මේ අයට කරදර කරන්න එන පිරිසකගෙන් එයාලව බේරගන්න එක තමයි ගේම් ක්‍රීඩකයාට පැවරුණේ. නමුත් අඩනිරුවත, සරාගී දර්ශන, කාන්තා හිංසන දර්ශන මේකට ඇතුළත් වෙලා තිබුණු නිසා මේ ගේම් එකට දැඩි විරෝධයක් එල්ල වුණා. මේ නිසා මේ ගේම් එක විකුණන එක නවත්වන්න Sega සමාගමට සිද්ධ වුණා.
2. Manhunt 2
2007 අවුරුද්දේදි සුප්‍රකට රොක්ස්ටාර් (Rockstar) සමාගම විසින් තමයි මේ ගේම් එක එළියට දැම්මේ. අතිශය ප්‍රචණ්ඩකාරී ගේම් එකක් වුණු මේ ගේම් එකෙන් ක්‍රීඩකයට මෙහෙයවන්න තිබුණේ පිස්සන් කොටුවකින් පැනලා යන මිනිස්සු දෙන්නෙක්ව. මේ දෙන්නව හසුරුවලා අතිශය දරුණු ගණයේ මිනීමැරුම් සිද්ධ කරන්න ගේම් එක ගහන ක්‍රීඩකයට ඉඩ සලස්වල තිබ්බා. ප්රචණ්ඩත්වය ඉහවහා ගිය මේ ගේම් එකට බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කීපයක්ව අප්‍රසාදය පළකරල එය තහනම් කරන්න කටයුතු කරනු ලැබුවා. එම නිසා ගේම් එක නිර්මාණය කරපු රොක්ස්ටාර්ලට සිද්ධ වුණා මේකේ ප්රචණ්ඩත්වය ටිකක් අඩු කරලා ගේම් එක නැවත නිකුත් කරන්න.
3. Ethnic Cleansing
එක්සත් ජනපදයේ නැෂනල් අලයන්ස් කියන වර්ගවාදී සංවිධානය විසින් නිර්මාණය කරවපු මේ ගේම් එක නමේ හැටියටම පිළිකුල් සහගත එකක්. මේකේ තියෙන්නෙ කළු ජාතිකයින්, යුදෙවුවන් වගේ අමෙරිකානු නොවන වෙනත් ජාතීන්වල මිනිස්සුන්ව මරන්නයි. අන්තිමට ඊශ්‍රායල අගමැතිවරයාව මරන්නත් මේ ගේම් එකෙන් පැවරෙනවා. අතිශය දුර්වල විදිහට නිර්මාණය කරපු බාල ගණයේ ගේම් එකක් වුණත්, එහි අන්තර්ගතයේ තිබ්බ පිළිකුල්සහගත බව නිසා මේ ගේම් එක දැඩි දෝෂදර්ශනයට ලක්වෙනව.
4. Mortal Kombat
Mortal Kombat කියන්නේ අපි කාගේත් ප්‍රියතම කතා මාලාවක් සහ වීඩියෝ ක්‍රීඩාවක් කියන එක අවිවාදිතයි. එකිනෙකාට වෙනස් බලයන් තියන, බොහොම වර්ණවත් සටන්කරුවන්ගේ චරිත රැසක් එක්ක එන මේ වීඩියෝ ක්‍රීඩාව හැබැයි තරමක් ප්‍රචණ්ඩකාරී බවත් නොකියාම බැහැ. දශක තුනක විතර ඉතිහාසයක් තියන මෝටල් කොම්බැට් පළවෙනි ගේම් එක 1992 දී එළි දැක්වූවාට පස්සේ ඒකට දැඩි විරෝධතාවයක් එල්ල වුණා. ඒකට හේතුව එහි සටනක් අවසානයේ සතුරාව මරන්න භාවිතා කරන ක්‍රම වල තිබ්බ බිහිසුණු බවයි. වීඩියෝ ක්‍රීඩා කුඩා ළමයින්ගේ විනෝදාංශයක් හැටියට පැවතුණු ඒ කාලේ මේ ලේ වැගිරෙන ප්රචණ්ඩ වීඩියෝ ක්‍රීඩාවට දෙමවුපියන් දැඩි ලෙස දෝෂාරෝපණයන් එල්ල කළා.
5. Bully
‘බුලීන්’ නැත්නම් අන්අයට හිංසාකිරීම කියන්නේ අද වෙද්දී ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන මාතෘකාවක්. 2006 අවුරුද්දේ බුලීන් තේමා කරගෙන රොක්ස්ටාර්ල හදපු “Bully” ගේම් එකත් ඒක එළියට ආපු කාලේ දැඩි කතාබහකට ලක්වෙන්න සමත් වුණා. පාසැලක ඉන්න නහරකාර බුලීස්ල එක්ක හැප්පෙන්න තියන ගේමක් වුණ මේකෙදි පාසල් දරුවන් අතර තියන ප්රචණ්ඩත්වය, ලිංගික ක්‍රියාකාරකම් ආදිය ඉස්මතු කරන නිසා මෙය ක්‍රීඩා කරන දරුවන්ට වැරදි ආදර්ශයක් යන බව කියමින් දෙමවුපියන්, ගුරුවරුන් සහ නොයෙක් සමාජ සංවිධාන මෙයට විරෝධතාවය පළ කළා. නමුත් විඩියෝ ක්‍රීඩා විචාරකයන් අතර නම් නොමඳ පැසසුමට ලක්වෙන්න මේ ගේම් එක සමත් වුණා.
6. Postal 2
පෝස්ටල් ගේම් සීරීස් එක කියන්නේ ප්රචණ්ඩත්වය වෙනම මානයකට ගෙනිච්ච ගේම් සීරීස් එකක්. හැබැයි හොඳම වැඩේ කියන්නේ මේ ගේම් එක කිසිම ප්රචණ්ඩ ක්‍රියාවක් නොකර වුණත් නිම කරන්න පුළුවන් වීමයි. නමුත් මේක ක්‍රීඩා කරපු බහුතරයක් තෝරාගත්ත ප්රචණ්ඩත්වයේ මාවතේ ගියොත් ඉතාම බිහිසුණු අපරාධ සිද්ධ කරන්න ගේම් එක ක්‍රීඩා කරන්නාට ඉඩ ලැබෙනව. පෝස්ටල් ඩියුඩ් කියන චරිතය හසුරුවමින් එදිනෙදා රාජකාරි කීපයක් නිම කරන ගමන් නිමක් නැති ප්රචණ්ඩ ක්‍රියා කරන්න ලැබෙන මේ ගේම් එක රටවල් රැසක තහනම් වෙනවා. නවසීලන්තය මේ ගේම් එකට කොච්චර තහංචි පැනවුවද කියනවනම්, මේ ගේම් එක ළඟ තබාගන්න අයව අත්අඩංගුවට ගන්නත්, දඩ ගහන්නත් ඔවුන් ක්‍රියාකරල තිබ්බා.
7. The Guy Game
මේ ගේම් එකනම් වැඩිහිටි පිරිමි පාර්ශවය ඉලක්ක කරගෙන නිර්මාණය කරපු එකක්. 2004 අවුරුද්දේ ප්ලේස්ටේෂන් ගේම් එකක් හැටියටයි මේක එළියට ආවෙ. මේ ගේම් එකත් විඩියෝ අනුසාරයෙන් දිගහැරෙන මූවි ගේම් ටයිප් එකක්. මේකෙදී බිකිනි ඇඳුමින් සැරසුණු තරුණියන් පිරිසකගෙන් ප්‍රශ්න කීපයක් අසනු ලබනවා. ඒවාට ඒ තරුණියෝ දෙන පිළිතුරු මොනවාද කියලා තෝරන්න තමයි ගේම් එක ක්‍රීඩා කරන අයට පැවරුණේ. මේ පිළිතුරු නිවැරදිව අනුමාන කිරීමට හම්බවෙන තෑග්ග විශේෂ එකක්. ඒ තමයි පිළිතුරු නිවැරදි වුණොත් ඒ වීඩියෝවේ ඉන්න තරුණියන් තම පියයුරු නිරාවරණය කර පෙන්වීම.
කොහොම නමුත් මේ ගේම් එක නිකුත් වෙලා ටික කලකින්ම එයට නීතිමය ප්‍රශ්නයක් පැණ නැගෙනව. එයට හේතුව වෙන්නේ මේ ගේම් එකේ එක් දර්ශනයකට පෙනී ඉන්න තරුණියක් තමන් මෙයට පෙනී හිටියේ එය වීඩියෝ ක්‍රීඩාවකට යොදාගන්නා බව නොදැන බව කියමින් නඩු පැවරීම නිසයි. ඇය ඒ වන විට බාලවයස්කාර තරුණියක් වීම නිසා මේ චෝදනාව තවත් බරපතළ එකක් බවට පත්වනවා. අවසානයේ මේ ගේම් එකේ නිෂ්පාදකයන්ට සිද්ධ වෙනවා ගේම් එක බෙදාහැරීම නවතා එම තරුණියගේ දර්ශන ඉවත් කරන්නට.
Leave a Reply