සෙල්ලම් කරාම බයිස්කෝප් එකකට මූණ දාගන්නත් පුළුවන්ද ආයිබොවන්ඩ කියලා හිතෙනවා ක්‍රීඩකයෝ ගැන හදලා තියෙන චිත්‍රපට කන්දරාව ගැන හිතුණම. සිනමාවේ විශිෂ්ට නිර්මාණ ගොඩක් ක්‍රීඩකයන් හේතු කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ මේ තත්ත්වය ටිකක් අඩු වුණාට ලෝක සිනමාව ක්‍රීඩාව සිනමාවෙන් වෙන් නොකර ඒකේම වස්තු බීජයක් බවට පත් කරලා ඉවරයි. ඒ වගේ චිත්‍රපට කීපයක් තමයි මේ.
1. M.S. Dhoni: The Untold Story (2016)
ඉස්සෙල්ලාම අල්ලපු රටෙන් පටන් ගන්නයි යන්නේ. අපේ ක්‍රිකට් කණ්ඩායමේ දුර්වලතා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා නිසා අපි එක එක ක්‍රීඩකයන්ට එක එක පල් පාට් දානවා. විරාත් කෝලිට එහෙමත් අපේ වැඩි මනාපයක් නෑනේ. මොකද ඒ මිනිස්සුන්ට වැඩ පුළුවන්. මහේන්ද්‍ර සිං ධෝනි කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය කරපු ඒ වගේ සුපිරි වැඩ්ඩෙක්. මේ චිත්‍රපටය ඔහුගේ ජීවිත කතාව. තැනකට යන්න කට්ට කන හැටි ගැන කොළබොක්කටම වදින්න මේ චිත්‍රපටයේ පෙන්නලා දෙනවා. 2016 අවුරුද්දේ කලඑළි බැහැපු මේ චිත්‍රපටයට 7.8ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම Rotten Tomatoes 75%ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. ඉන්දීය ක්‍රීඩා චිත්‍රපටයක් විදියට ඒක ලොකු ජයග්‍රහණයක්. ධෝනි විදියට රඟපාන්නේ සුෂාන්ට් සිං රාජ්පුත්.
2. Pelé: Birth of a Legend (2016)
ක්‍රිකට්වලින් කෙලින් ම යන්නේ ෆුට්බෝල් වලට. අදටත් ෆුට්බෝල් කිව්වම අමතක කරන්න බැරි නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් පේලේ කියන නම ලොවෙත් අමතක කරන්න බැහැ. පාරේ ක්‍රිකට් ගහපු කොල්ලෝ රටේ ක්‍රිකට් ටීම් එකට ගිහින් සෙල්ලම් කරනවා වගේ ම පාරේ ඉඳන් ෆුට්බෝල් සෙල්ලම් කරලා රට වෙනුවෙන් සෙල්ලම් කරන්න වරමක් ලැබුණ කෙනෙක් තමයි පේලේ. බ්‍රසීලයේ මුඩුක්කු කොල්ලෙක් වෙලා ඉපදිලා අන්තිමේ බ්‍රසීලයේ ජාතික වීරයෙක් වුණ පේලේගේ චරිතයට පණ දෙන්නේ කෙවින් ඩී පෝලා.
3. Rush (2013)
ෆෝමියුලා ධාවන තරඟ කියන්නේ වෙනම ආතල් එකක්නේ. බලන් ඉන්නවා තරම් ඒක ලස්සන නැති බව පෙන්නලා දෙන චිත්‍රපටයක් තමයි මේ. ක්‍රීඩා ලෝකයේ අපි නොදන්න කොයි තරම් නම් හැලහැප්පීම් තියෙනවද? අපි දන්නේ ඉතින් කේක්ගෙඩිඅප්පුලා ටික වගේ ඉඳන් බලන් ඉන්න එකනේ. මෝටර් රථ ධාවන ශූරයන් වන නිකී ලෞඩා සහ ජේම්ස් හන්ට්ගේ ෆෝමියුලා තරඟ ජීවිතය ගැන විනාඩි 123ක් පුරා ධාවනය වෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන්නේ ක්‍රිස් හෙම්ස්වර්ත්.
4. Ali (2001)
බොක්සින්ග් ගැන උන්මාදයක් ඇතිකරන්න හේතු වුණේ මොහොමඩ් අලි. ඔහුගේ ජීවිත කතාව තමයි 2001 අවුරුද්දේ එළියට ආපු Ali. නළුවෙක් විදියට ආදරයක් දිනාගත්ත විල් ස්මිත් තමයි අලි විදියට රඟපාන්නේ. බොක්සින්ග් වළල්ලෙන් පිට අලිගේ ජීවිතය ගැන මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්න අපොහොසත් වුණාට මේ චිත්‍රපටය සම්මාන රාශියක හිමිකාරයෙක්.
5. Bhaag Milkha Bhaag (2013)
මේ චිත්‍රපටයේ නමින්ම තේරෙනවා දුවන ලයින් එකක්. ඉන්දියාවේ සාමාන්‍ය පුරවැසියෙකු ලබන සිව්වැනි ඉහළම පුරවැසි ගෞරවනීය සම්මානය දිනාගත්තු මිල්ඛා සිංගේ කතාව තමයි මේ. ඔහු දුවන්නෙක්. දුවන්නෙක් කියන්නේ එලෝ මෙලෝ නැතුව දුවන්නෙක්. මතකයට බර වැඩි අමිහිරි මතකයක් එක්ක ලෝකේ තියෙන නපුරෙන් ගැලවිලා දුවන සීක් ජාතිකයෙකුගේ හෘද සාක්ෂියක් විදියටත් මේ නිර්මාණය දකින්න පුළුවන්. ක්‍රීඩකයෙක් ගැන කළ නිර්මාණයක් වුණත් මේ චිත්‍රපටයෙන් දෙන තේමා නිමක් නැහැ. මිල්ඛාගේ චරිතයට පණ පොවන්නේ කවදත් අභියෝගාත්මක චරිතවලට පණ පොවන ෆර්හාන් අක්තාර්.
6. 42 (2013)
ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වඩා දේවල් ගැන කතා කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ. මේ චිත්‍රපටයේ කතා නායකයා ජැකී රොබින්සන්. ඔහු කළු ජාතිකයෙක්. ඔහු ජීවත්වුණ කාලවකවානුවේ වර්ගවාදයට එදිරිව ක්‍රියාවෙන් වැඩකිඩ පෙන්නපු වීරයෙක් තමයි මේ. බේස්බෝල් ක්‍රීඩා කරන්නන් අදටත් ජැකී රොබින්සන්ව දෙයියෝ වගේ අදහනවා. අංක 42 ජර්සිය පැළඳගෙන ජැකී වගේ වැඩකිඩ දාන්න රිදී තිරයෙන් පිටියට බැස්සේ බ්ලැක් පැන්තර් අයියා හෙවත් චැඩ්වික් බෝස්මන්.
7. Paan Singh Tomar (2012)
ලෝකේ සිද්ධ වෙන ගොඩක් දේවල් බයිස්කෝප් එකක් වෙලාම තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. පාන් සිං කියන්නේ හමුදා නිලධාරියෙක් විදියට සේවය කරපු අයෙක්. බාධක දිවීමේ තරඟ ඉසව්වෙන් ඉන්දියාවේ සත් වතාවක් ජාතික ශූරයා වෙන්නෙත් මොහු. විප්ලවකාරයෙක් වීමේ වරදට ඒ වගේ වැඩ්ඩෙක් අවසානයේ මුහුණ දෙන අත්දැකීම ලස්සනයි කියන්න නම් බෑ. එතකොට චිත්‍රපටයේ බලන්න කියලා කතාවක් නැතිවෙයි. කාලයක් යනකන් කතාබහට තුඩු දෙන චරිත භාරගන්න ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන නළුවා. හොඳම නළුවා විදියට අවස්ථා කීපයකදීම සම්මාන ලබන්න තරම් මේ චරිතය ඔහුට වාසනාව ගෙනාවා.
මේ චිත්‍රපට සියල්ලම අපේ රටේ ප්රේක්ෂකයන්ගෙන් ඈත්වුණ නමුත් එසේ නොවිය යුතු චිත්‍රපට කීපයක්. Dangal, Chak De India, Mary Kom වගේ හින්දි චිත්‍රපටත් The Fighter, Raging Bull, Invincible වගේ හොලිවුඩ් චිත්‍රපටත් ඔයාලා දැනටමත් දන්න විශිෂ්ට නිර්මාණ.
Cover Image Source – geekinsider.com
Leave a Reply