අපේ හිතට සතුට ගේන පුංචි පුංචි දේවල්

 

කාර් සහ බාර් පර්මිට්වලින්, අයිතිකාරයො නැති ගෙවල්වලින්, ඩොලර් බිලියන ගණංවලින් සතුටු වෙන්න අපිට ඉඩක් නැහැ. එහෙමයි කියල අපි සතුටු ​නොවී ඉන්නෙත් නෑ. ඒ වගේම අපිට සතුටු වෙන්න මහ දේවල් ඕනෙත් නෑ. අපිට අපේ හිතට සතුට දැනෙන්න කොයිතරම් පොඩි දෙයක් ප්‍රමාණවත්ද කියලා පෙන්වන දෙයක් තමයි මේ කියන්න යන්නෙ. මේ ගැන නං ඕනම වැඩිහිටියෙක් එකඟ වේවි. අන්න ඒ නිසා මීට අමතරව ඔයාලගෙ හිතට සතුට ගේන දෙයක් තියෙනවනං අපිට කියන්න. ඒ වගේම මේ පුංචි පුංචි දේවල් එක්ක ඔයාලගෙ හිතට සතුට දැනුණු අත්දැකීම් තියෙනවානම් ඒවාත් අපිට කියන්න.

 

1. දුවල මහන්සියි

Image Source – giphy.com

ඈත ඉඳන් සද්දෙ ඇහෙද්දි සරමෙන් කලිසමට බැහැලා, හොඳ සැන්ඩ්ල්ස් දෙකක් දාගන්නව. මොකද ඉතිං දුවන්න ලේසි එතකොටනෙ. ඊටපස්සෙ ගේට්ටුව කඩාගෙන එළියට පනින්නෙ යකෙක් ව​ගේ. ඔය විදියට මගක් දුවනකොට මතක් වෙනව පර්ස් එක ගත්තෙ නෑ කියල. ආයෙ ගේ ඇතුළට එද්දි වයිෆ් අහනව මොකෝ යකෙක් වැහිලද කියල. ඒ වගේ තමයි ඉතිං. ආයෙ දුවනව පාරට. දුවද්දි එයා අපිව පහුකරගෙන ගිහින්. හයර් එකක් යනව කියල හිතාගෙනනෙ ඉතිං එයා යන්නෙ. එයා පස්සෙන් දුවගෙන යද්දි නයිටි ඇඳන් දුවන ගෑණු, සරොං කැඩි කැඩි දුවන මිනිස්සු පහුවෙද්දි හිතට තවත් සතුටුයි. අන්තිම මොහොතෙ තමයි චූන් එක දැනෙන්නෙ. ඇයි ඉතිං චූන් පාන් ත්‍රීවීලරේ නවත්තගත්තම පුදුම ආශ්වාදයක්නෙ හිතට තියෙන්නෙ. ඊට පස්සෙ ලොකු කං බලන්න ඕන. බෑග් ඉවරයි, මාරු සල්ලි නෑ, ඒ අන්තිම දෙක කලින් නෝනා කෙනෙක් ඕඩර් කරල තියෙන්නෙ වගේ ලොකු ලයින් ගොඩකට පස්සෙ මොනවහරි බනිස් ගෙඩි දෙක තුනක් අරගෙන එන්න පුළුවන්කම ලැබෙනවා. කොච්චර මහන්සි වුනත් හිතට කොයිතරං සතුටක්ද?

 

2. තේකක් ඕනද?

Image Source – medicalnewstoday.co

බිරින්දෑවරියන් කියන්නෙ රණ්ඩුවෙන්න හේතුවක් ඕන අය නෙමෙයිනෙ. ඒ අයට කම්මැලි හිතුනම, පාලු හිතනම, හිතට ප්‍රශ්නයක් ඇති වුනාම, බඩගිනි වුනහම, කතා කරන්න ඕන වුනාම, හුරතල් වෙන්න ඕන වුනාම ඇතුළුව බොහෝ අවශ්‍යතාවලදි එයාලා කරන්නෙ රණ්ඩු වෙන එක. මේ රණ්ඩුවල ස්වභාවය තේරුං අරගෙන ස්වාමියා කරබාගෙන හිටියොත් මිසක් එයත් එක්ක එකටෙක කියන්න ගියොත් මේවා සුන්නි-ෂියා වලියක් තරමට දිග්ගැස්සෙනවා. ඒ වෙලාවට ආයෙ සමාව ඉල්ලනව බොරු. අවුරුදු හතකට කලින් බස් එකේදි හැරිලා බලපු කොට සාය ඇඳපු කෙල්ලගෙ ඉඳන් අහගන්න වෙනව පුතෝ.

ඔන්න ඔය නිසාම බිරින්දෑ පොඩි වලියක් පටන්ගත්තු ගමන්ම හබියලා කරන්නෙ හ්ම්ම්ම්… කියල කතාව වෙනතකට හරවන එක. ඉතිං වයිෆ්ල ඉන්නව බිත්තරේ හිරවෙච්ච කිකිලියො වගේ. ඇයි ඉතිං මුං එක්ක රණ්ඩුවක් වෙන්නවත් නැහැනෙ. ඔන්න කොහොමහරි ඔහො​ම ඉඳල යම් පිරිමියෙක් රණ්ඩුවක් වුනොත් ගෑණුන්ට හරි සතුටුයි. මොකද ඉතිං ඕක ඉවර වෙන්නෙ ආසා කරන දෙයක් තෑග්ගක් විදියට හම්බුනාට පස්සෙනෙ. හැබැයි සමහර ඈයො රණ්ඩු වෙලා, තරහ වෙලා පිරිමියා විසින් කතා නොකර ඉන්න අවස්ථා තියෙනවා. අනේ අන්න එහෙම වෙලාවට වයිෆ්ම එනව ආයෙ තේකක් ඕනද කියල අහගෙන. එහෙම වෙලාවක් පිරිමියෙකුට රටක් රාජ්ජයක් දින්න වගෙයි. වෙන දෙයක් ඕනෙම නෑ.

 

3. මේකනං හොඳයි

Image Source – independent.co.uk

ඔෆිස්වල අපි කොච්ච​ර වැඩ කරනවද කියල අපිනෙ දන්නෙ. ඔය අස්සෙ ආතල් එකේ නින්දක් ගහගෙන ඉන්න බුවාලත් ඇති. එහෙමයි කියල අපි ඉරිසියා කරන්නෙ නෑ. ​මේ අපි ලබා උපන් හැටිනෙ. ඉතිං අපි කොහොමත් වැඩ කරනව. ඔන්න ඉතිං ඔහොම වැඩ කරා කියල අපිට මහ දේවල් ලැබෙන්නෙ නැහැනෙ. නිවාඩුවක් ඉල්ලුවම නිවාඩුවක් ලැබෙන්නෙ නෑ, පඩි වැඩි කරන්න කියල ඉල්ලුවොත් ඒක ලැබෙන්නෙ නෑ, කොටිම්ම ලියාගන්න පෑනක් කොළයක් නෑ කියල කිවුවොත් ඒකත් ගෙදරින් ගෙනත් වැඩ කරනකං තමයි බලං ඉන්නෙ. අනිත් එක ඉතිං අඩුවක් පාඩුවක් නැතුව අපිට ලැබෙන්නෙ දෝස්මුර සහ බැණුම් තමයි. හැබැයි කලාතුරකින් එක දවසක අහ්… මේකනං හොඳයි කියල ලොක්කගෙ කටින් කිවුවම අපිට දැනෙන්නෙ කියාගන්න බැරි සතුටක්. හිතාගන්නත් බෑ මෙයා මෙහෙම එකක් කිවුවද කියලත්. කට්ටිය දෙපාර හැරිලා බලනව. සමහර ඔෆිස්වල පාටිත් ඉල්ලනව.

 

4. යකෝ!

ඉඳල හිටල සතුටක් තියෙන්න කියල පිරිමි සෙට් එක කරන්නෙ පුංචං පහේ බාර් එකකට ඇදෙන එකනෙ. ඉතිං කාලෙකට පස්සෙ අඩියක් ගහන නිසා මුලින්ම ෆ්‍රයිඩ් පෝක් එකක්, චීස් ඔම්ලට් එකක් එක්ක මස් ඉස්ටුවකුත් ළං කරගෙන ආස විදියෙන් ෂැන්ඩි හදාගෙන ආසම රන් පැහැ මත් වතුර පිරුණු බෝතලේ වටකරගෙන හතර දෙනෙක් සෙට් වෙන්නෙ තවත් පැය තුන හතරක් යනකං එකම භාවනාවක බෝතලෙන් බෝතලේට යන මේ ගමන සිත් තැවුල් නැති, සාර්ථක මත් රාත්‍රියක් වේවා! කියන හැඟීමෙන්. හැබැයි සමහරුන්ට ඔය අස්සෙ ඔෆිස්වලින් කෝල් එනව. ඇවිල්ල බොසාලා වැඩ කියනව. තව උන්ට වයිෆ්ලගෙන් කෝල් එනව. ඇවිල්ල ​බොනව කියල දැනගත්තම රණ්ඩු වෙනවා. ඔය විදියට මත් වෙලා ලාමක වෙච්චි මනසත් තැලිලා පොඩි වෙලා යනව. හැබැයි හැමෝගෙම හිතට කාලාන්තරයකින් පස්සෙ දැනෙන සතුටක් අපි නොහිතන වෙලාවක එන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? බාර් එකේ බිල අපි හිතුවට වඩා අඩු වුනොත්! සමහරුන්ට බිල බලල දෙයියනේ කියවෙන්න පුළුවන්. සමහරුන්ට ය​කෝ කියවෙන්න පුළුවන්. කොහොමින් කොහොම වුනත් හිතට සැපක්නෙ.

 

5. දෙයියනේ

Image Source – sltraditionaldishes.blogspot.com

අපි ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙ සාමාන්‍යයෙන් ගෙදරින් දුරස් වෙනවනෙ. උසස් අධ්‍යාපනේට හරි රස්සාවට හරි සෙට් වුනාම ගෙදර යන්න එන්න ලැබෙන වෙලාවත් අඩු වෙනව. ඒත් කාලෙකට පස්සෙ අපි එන්නෙ නැති හින්දම හිතේ කේන්තියත් ඊට වඩා ලොකු ආදරෙත් තියාගෙන අම්මලා එනව අපිව බලන්න. එක්කො බෝඩිමට. නැත්තං කසාද බැඳලා වෙනම පදිංචි වෙලා ඉන්න ගෙදරට. ඔහොම ආපු අම්මා අපිම නොහිතන වෙලාවක අපි මීට අවුරුදු දහයකට විතර කලින් කන්න ආසාවෙන් හිටපු දෙයක් කන්න හදල තිබුනම ඒක දැක්කම අපිට ඒකෙ සුවඳටත් කලින් දැනෙන දේවල් ටිකක් තියෙනව. ඒ තමයි අතීත මතක. අපි ඒ කාලෙ මේව රස කර කර කාපු හැටි. මේ කෑම මොකද්ද කියල අපිට හරියටම කියන්න බෑ. සමහරුන්ට කිරි කොස්. සමහරුන්ට පො​ලොස්. සමහරුන්ට මස්. සමහරුන්ට කරෝල හොදි. ඔයාල ආසම රස මතකයත් කියන්න අපිට.

 

6. ඇහැරෙද්දි

උදේ පාන්දර රස්සාවට යන්න තියෙන නිසා අපි හැමෝම අපි ආසා කරන සමහර මැච් නොබලා නිදාගන්නව. සමහරුන්ට මැච් බල බල ඉද්දි නින්ද යනව. තව සමහරු මැච් එක වෙනුවෙන් ඇහැරිලා ඉද්දි ටීවී එක දාගෙනම නින්ද යනව. ඔය කොහොම වුනත් පහුවදා උදේ ඇහැරුනාම තමුන්ගෙ ටීම් එක මැච් එක දිනුවා කියල ආරංචි වුනොත් හිතට ඒ තරං වෙනිං සතුටක් නොදැනේවි. හැබැයි ඔය ගමන්ම තමුන් ආසා නොකරනම ටීම් එක පැරදිලා තිබුනොත් තවත් කොච්චර ආසා හිතෙයිද? නිකමට හිතන්න දවසක උදේ ඇහැරෙද්දි අපි ඔස්ට්‍රේලියාව එක්ක තිබුණු මැච් එකක් දිනලා, ඉන්දියාව වෙස්ට් ඉන්ඩීස් ටීම් එකට පැරදිලා කියලා. කොයිතරං සතුටක්ද?

 

7. නොස්ටැල්ජික්

Image Source – wikihow.com

මෙවුව ඉතිං ගොඩක් වෙලාවට රස්සාවට යන්න අලුත් කාලෙ සිද්ධ වුනොත් මිසක් මෙහෙම දේවල් ගොඩක් කට්ටියට සිද්ධ වෙලා තියෙන්නෙ එයාලා ඉස්කෝලෙ යන කාලෙ තමයි. ඒ නිසා මේ කතාව බොහෝමයක් අපිට නොස්ටැල්ජික් මතකයක් වෙයි. ඉස්කෝලෙ ඉවර වෙලා සෙල්ලං කරලා ඇවිල්ල ගෙදර වතුර ටිකක් නාගෙන බත් ටිකක් කාලා හවස කාටූන් බල බල ඉද්දි නිදි මතක් එන නිසා ඔයත් ඇඳට ගිහින් තියෙනවද? පැය හතරක් පහක් විතර හොඳට නින්ද ගියාම ආයෙ ඇහැරෙද්දි හප්පා! දැන් ඉතිං ඉස්කෝලෙ යන්න එපැයි කියල මතක් වෙලා තියෙනවද? එහෙම්ම ගිහින් නාලා දත් මැදගෙන, ඉස්කෝලෙ ඇඳුම ඇඳගෙන සාලෙට එද්දි අම්ම කුස්සියෙ ඉඳන්, ඉක්මනට මේ කෑම එක කන්න පුතේ මටත් මේ ටික හෝදලා දාලා නිදියන්න කියල කිවුවම ඔයාටම පුදුම හිතිලා තියෙනවද? ඒ මදිවට වෙලාව බැලුවම තාම රෑ දහයයි කියල දැකල සතුටු හිතිලා තියෙනවද? ඒ මදිවට අද සිකුරාදා නිසා හෙටයි අනිද්දයිත් ඉස්කෝලෙ නෑ කියල මතක් වෙලා ඒ සතුට දෙගුණ තෙගුණ වෙලා තියෙනවද? මේ වගේ පුංචි දේවල් අපේ හිත් කොච්චර සතුටු කරලා තියෙනවාද?