නිතරම ගන්න එළවළුවක් වෙන ලීක්ස් වෙනස් විදියට හදාගන්න මෙන්න රෙසිපි

එළවළු ගන්න ගියොත් අනිවාර්යයෙන් අපි ගන්න එළවළුවක් වෙන ලීක්ස් ගැනයි අද අපි කතා කරන්න හදන්නෙ. කොත්තුවක්, එළවළු බතක් හදනකොට නොවරදවාම එකතු කරන ලීක්ස් වෙනස් විදියකට, ඉක්මණින් හදාගන්න හැටි අද අපි බලමු. මතක ඇතුව ප්‍රශ්න තියන අය පහළින් කමෙන්ට් එකක් දාන්න හොඳේ. 

 

1. චයිනීස් ලීක්ස් සොසේජස් ස්ටර් ෆ්‍රයි (Chinese leeks sausage stir fry) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සොසේජස් 2
  2. ලීක්ස් 500g
  3. තෙල් 
  4. චොප් කරගත් සුදුළූණු බික් 2 
  5. සෝයා සෝස් මේස හැඳි 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු 
  7. වතුර මේස හැඳි 2
  8. කෝන්ෆ්ලා තේ හැඳි 1
  9. තලතෙල් තේ හැඳි 1

 

 

  • සොසේජස් කෑලි වලට කපා ගන්න. 
  • ලීක්ස් ටික දික් අතට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා සොසේජස් ටික බැද ගන්න. බැද ගත් සොසේජස් ටික වෙන භාජනයකට දාන්න.
  • ඒ පෑන් එකටම සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. ඊළඟට ඒකට කපා ගත් ලීක්ස් ටික එක් කරන්න. ලීක්ස් ටික හොඳින් කලවම් කර ගනිමින් පිසගන්න. 
  • සෝයා සෝස්, ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ද එක් කරන්න. හොඳින් කලවම් කරමින් පිසගන්න. දැන් ඒකට වතුර එක්කරන්න. 
  • නැවත හොඳින් කලවම් කරමින් පිසගන්න. 
  • ඒකට කලින් බැදගත් සොසේජස් ටික දාගන්න. කෝන්ෆ්ලා වතුර ටිකක දියකරලා මේකට එකතු කරන්න. ඊට පස්සේ එයට තලතෙල් දාලා හොඳට කලවම් කරගන්න. 

 

2. අල සහ ලීක්ස් බේක් (Potato & leeks bake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා කපා ගත් අල ගෙඩි 4
  2. සෝයා ක්‍රීම් 200ml
  3. ලුණු කුඩු 
  4. ලොකු ලීක්ස් කරල් 2
  5. සුදුළූණු 
  6. චීස් කෝප්ප 1 
  7. ගම්මිරිස්කුඩු ස්වල්පයක් 
  8. සුප් කැටයක්
  9. තෙල්

 

  • පෑන් එකක් ගෙන එයට තෙල් දාලා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. 
  • එයටම කපාගත් ලීක්ස්, සුප් කැටය, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දාලා හොඳින් තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට එයට තම්බා ගත් අල ටික දාලා හොඳින් කලවම් කරන්න. ඒකට සෝයා ක්‍රීම් දාන්න. හොඳින් මික්ස් කරන්න. ඒක බේකින් ට්‍රේ එකකට දාලා මිශ්‍රණය උඩින් චීස් ඉහ ගන්න. දැන් සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න. 

 

3. ලීක්ස් පැටීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් ලොකු අල ගෙඩි 2
  2. ලුණු කුඩු 
  3. ගම්මිරිස් 
  4. ලීක්ස් 150g
  5. කහකුඩු ස්වල්පයක් 
  6. බිස්කට්කුඩු කෝප්ප 1/2
  7. චොප්කර ගත් සුදුළූණු බික් 3 
  8. බිත්තර 2 
  9. එළවළු තෙල් මේස හැඳි 2

 

  • ලීක්ස් ටික හොඳින් සෝදා ගෙන පොඩියට කපා ගන්න. දැන් ලීක්ස් ටික වෙනම භාජනයකට දාන්න. ඒකට වතුර ටිකක් දාලා මධ්‍යම ගින්නෙන් විනාඩි 10 ක් විතර තම්බ ගන්න. 
  • තම්බා ගත් අල ටික අරන් හොඳින් පොඩි කරගන්න. දැන් ලීක්ස් ටිකත් වතුර ටික පෙරාගෙන පොඩි කර ගත් අල දාලා තියන බෝල් එකකටම දාගාන්න. 
  • ඒකට කහකුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු,  බිස්කට් කුඩු, සුදුළූණු හා බිත්තර දාලා හොඳින් මික්ස් කර ගන්න. 
  • දැන් ඒ මිශ්‍රණයෙන් පොඩි පැටී හදාගෙන, නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා එයට එළවළු තෙල් දාලා රත් වුණාම, සදා ගත් පැටී දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 

 

4. ලීක්ස් බත් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සම්බා හෝ බාස්මතී හාල් කප් 2
  2. ලීක්ස් 150g
  3. තෙල් මේස හැඳි 1 
  4. බටර් මේස හැඳි 1 
  5. සූදුරු ස්වල්පයක් 
  6. ඉඟුරු සුදුළූණු පේස්ට් ස්වල්පයක් 
  7. බිත්තර 2 
  8. තෙල් 
  9. ලුණු ස්වල්පයක්
  10. ගම්මිරිස් ස්වල්පයක්

 

  • බත් උයා ගන්න භාජනයට තෙල් හා බටර් මේස හැන්දක් දාලා රත් වෙනකොට සූදුරු, සුදුළූණු ඉඟුරු පේස්ට් එක හා ලුණු කුඩු ටිකක් දාගන්න. 
  • හෝදාලා වතුර බේරාගත්තු හාල් ටික විනාඩි 5-6 ක් තෙම්පරාදු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා බත උයාගන්න.
  • පිස ගත් බත් එක නිවෙන්න තියන්න. ලීක්ස් හොඳට හෝදලා වතුර බේරෙන්න. ලීක්ස් ගහේ කොළ පාට කොටස හීනියට දිගට කපා ගෙන වෙනම තියන්න. සුදු පාට කොටස රවුම් හැඩයට හීනියට කපා ගන්න. 
  • දැන් භාජනයක් රත් වෙන්න තියලා එයට බටර් ටිකක් දාන්න. ඊළඟට බිත්තර දෙකක් ලුණු, ගම්මිරිස්කුඩු දාලා ස්ක්‍රැම්බල් කරගන්න. දැන් ලීක්ස් වල සුදු පාට කොටස දාලා තෙම්පරාදු කරගන්න. 
  • සුවඳ එනකොට හීනියට කපා ගත්තු කොළ පාට කොටසත් දාලා තව බටර් ටිකකුත් දාලා බත් එක දාගන්න. ලුණු,  ගම්මිරිස් අවශ්‍ය පදමට දාගන්න. 

 

5. ලීක්ස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලීක්ස් ඳඩු 3ක් 
  2. අල ගෙඩි 1
  3. ළූණු ගෙඩියක්
  4. චිකන් හෝ වෙජිටබල් ස්ටොක් කෝප්ප 1 
  5. සුදුළූණු බික් 4 
  6. බටර් මේස හැඳි 4
  7. බැදගත් පාන් පිටි මේස හැඳි 1
  8. දෙහි යුෂ ටිකක්

 

  • ලීක්ස්, අල, ළූණු පොඩියට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා එයට බටර් ටිකක් දාලා රත් වේගෙන එද්දි සුදුළූණු හා ළූණු ටිකක් බැදගන්න. 
  • එයටම ලීක්ස් දමා තරමක් තෙලෙන් තම්බාගන්න. පාන්පිටි ටිකද එකතු කරන්න. වතුර අවශ්‍ය ප්‍රමාණයට හා ස්ටොක් කෝප්පයද දමා පොඩියට කපාගත් අල ද එකතු කරන්න. සියල්ල මද ගින්දරේ පිස ගන්න. 
  • ඊළඟට ලිපෙන් බාලා බ්ලෙන්ඩ් කර ගන්න. අවසානයට රස අනුව ලුණු,  ගම්මිරිස් කුඩු හා දෙහි එක්කර ගන්න. 

 

6. රෝස්ටඩ් ලීක්ස් (Roasted leeks) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලීක්ස් ගහේ කඳ කොටස් හතරක් 
  2. ලුණු ස්වල්පයක් 
  3. ගම්මිරිස් ස්වල්පයක් 
  4. මිරිස් කුඩු තේ හැඳි එකක්
  5. ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක්
  6. බටර් ස්වල්පයක් 
  7. ග්‍රේට්කරගත් පාමසාන් චීස් 
  • ලීක්ස් ගහේ කඳ කොටස් හතර දෙකට මැද්දෙන් පලාගන්න. පරිස්සමට මේ ටික හෝදාගන්න. 
  • වෙනම බෝල් එකක් අරගෙන ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඔලිව් ඔයිල් දාලා හොඳට කලවම් කරන්න.  
  • බටර් ගා ගත්තු බේකින් ට්‍රේ එකක ලීක්ස් ටික පරිස්සමට අඩුක් කරන්න. ඊළඟට කලින් සාදා ගත් ස්පයිසි මික්ස් එක බ්‍රෂ් එකකින් ගාගන්න. මේක ෆොයිල් එකකින් වහලා සෙල්සියස් 180° ට විනාඩි 15 ක් බේක් කරගන්න. 
  • බේක් වුණාට පසුව එළියට අරගෙන පාමසාන් චීස් එයට උඩින් දාගෙන කරගන්න. නැවත එය විනාඩි පහක් විතර බේක් කරගන්න. 

 

7. ලීක්ස් තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලීක්ස් 500g
  2. තෙල් මේස හැඳි 2 
  3. කපාගත් ළූණු ගෙඩි 2 
  4. කපාගත් අමුමිරිස් කරල් 3 
  5. කරපිංචා ස්වල්පයක් 
  6. සෝදාගත් වියළි කූණිස්සො මිටක්
  7. කෑලි මිරිස් මේස හැඳි 2 
  8. සෝයාසෝස් මේස හැන්දක්
  9. ඔයිස්ටර් සෝස් මේස හැන්දක්
  10. සීනි තේ හැඳි 1/2
  11. ලුණු කුඩු ස්වල්පයක් 

 

  • ලීක්ස් හොඳින් සෝදා ගෙන කුඩාවට කපා ගන්න. දැන් පෑන් එකක් ලිප තියලා එයට තෙල් දාලා රත් වෙන්න තියන්න. 
  • ඒකට කපාගත් ළූණු එකතු කරන්න. හොඳින් කලවම් කරමින් තෙම්පරාදු කරන්න. ළූණු එකට කපාගත් අමුමිරිස් දාන්න. නැවතත් එය කලවම් කරමින් තෙම්පරාදු වෙන්න තියන්න. 
  • ඒකටම කරපිංචා, කූණිස්සො හා කෑලි මිරිස් දාලා හොඳින් කලවම් කරන්න. 
  • හොඳින් තෙම්පරාදු වුණාම සෝස් වර්ග දෙක හා සීනි එකතු කරල කලවම් කරගන්න.
  • දැන් කපාගත් ලීක්ස් ටික එකතු කරන්න. ලීක්ස් යන්තම් මැලවෙනකම් හොඳට කලවම් කරන්න. එයට ලුණු කුඩු අවශ්‍ය පමණ රස බලා එක් කරන්න. නැවත හොඳින් කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *